ශ්‍රී ලංකා A සංචිතයේ වෙනසක්!

435

ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා නම් කළ ටෙස්ට් සංචිතයේ සිටි වමත් දඟපන්දු ‍යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනියට එම තරග සංචාරය අහිමි වී තිබෙනවා. ඔහුගේ ආබාධ තත්වය තවමත් සුව වී නොතිබීම එයට හේතුවයි.

ශ්‍රී ලංකා A සමඟ සටනට ප්‍රබල ඉන්දීය කණ්ඩායමක්

මේ මස 25 වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ඉන්දීය A සංචිතය…

ලසිත් ඇඹුල්දෙනිය තම මංගල තරගයේ දී ම කඩුලු 5ක් දවා ගත් අතර එම දස්කම දැක්වූ ලොව සිව්වැනි ක්‍රීඩකයා මෙන්ම පළමු වමත් දඟපන්දු ‍යවන්නා ද වන්නේ ඔහුයි. ඇඹුල්දෙනිය දකුණු අප්‍රිකානු තරග සංචාරය අතරතුර දී ආබාධයට ලක්වූ අතර ඉන්පසු ඔහු කිසිදු ජාත්‍යන්තර හෝ දේශීය තරගයක් සඳහා සහභාගි නොවීය.

ඔහුගෙන් හිස්වූ සංචිතයට වමත් දඟපන්දු ‍යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මලින්ද පුෂ්පකුමාර මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 4කට සහභාගි වී ඇත. පසුගිය දේශීය ක්‍රිකට් තරගාවලිවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට මාලින්ද පුෂ්පකුමාර සමත් විය.

Photos: Media Briefing on Sri Lanka ‘A’ Team tour to India

2018/2019 තරගවාරයේ දී කොළඹ ක්‍රීඩා සමාජයට එරෙහි පැවති තරගයක දී දෙවන ඉනිමේ කඩුලු 10ම දවා ගනිමින් පිහිටවූ වාර්තාව ඒ අතරින් සුවිශේෂී වේ. 2018/2019 තරගවාරයේ වැඩිම කඩුලු ලාභියා බවට ද මාලින්ද පුෂ්පකුමාර පත්වන්නේ කඩුලු 63ක් ලබා ගනිමිනි.

එසේම මේ තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා A සිව්දින  සංචිතයට ඇතුළත්ව සිටි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද කොන්ද ආශ්‍රිතව ආබාධයකට ලක්වී සිටින නිසා ඒ වෙනුවෙන් යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුව ශ්‍රී ලංකා A සංචිතයට කැඳවා ඇත.

අශාන් ප්‍රියන්ජන් මෙම තරගාවලිය සඳහා නායකයා ලෙස කටයුතු කරනු ඇත.

සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම

සිව්දින ටෙස්ට් කණ්ඩායම

අශාන් ප්‍රියන්ජන් (නායක), පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම, සංගීත් කුරේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, නිරෝශන් දික්වැල්ල, අකිල ධනංජය, ලක්ශාන් සඳකැන්, මාලින්ද පුෂ්පකුමාර, චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර

ලෝක කුසලානයේ විස්තර කථනයට ශ්‍රී ලංකාවෙන් සුපිරි වැඩ්ඩෙක්

එළඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විස්තර කථනයට එක්වන විස්තර විචාරකයින් 24 දෙනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය (ICC)….

එක්දින කණ්ඩායම

අශාන් ප්‍රියන්ජන් (නායක), ධනුශ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, නිරෝශන් දික්වැල්ල, අකිල ධනංජය, ලක්ශාන් සඳකැන්, දසුන් ශානක, චාමික කරුණාරත්න, ඉශාන් ජයරත්න, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග 5කට සහභාගි වනු ඇත. තරගාවලිය මැයි මස 25 ආරම්භ වීමට නියමිතයි.

තරග කාල සටහන

සිව්දින ‍ටෙස්ට් තරග

  • මැයි 25 – 28 – පළමු සිව්දින තරගය බෙල්ගාම් හිදී
  • මැයි 31 – ජුනි 03 – දෙවන සිව්දින තරගය හබ්ලි හිදී

එක්දින තරග

  • ජුනි 06 – පළමු එක්දින තරගය බෙල්ගාම් හිදී
  • ජුනි 08 – දෙවන එක්දින තරගය බෙල්ගාම් හිදී
  • ජුනි 10 – තුන්වැනි එක්දින තරගය බෙල්ගාම් හිදී
  • ජුනි 13 – සිව්වැනි එක්දින තරගය හබ්ලි හිදී
  • ජුනි 15 – පස්වැනි එක්දින තරගය හබ්ලි හිදී

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය පිළිබඳව සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<