Kohli සිය ශතකයේ අයිතිය දවසේ වාසනාවට පිරිනමයි!

India vs Sri Lanka 2023

337

ඊයේ (10) ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ශතකයත් සමඟින් සිය එක්දින ජාත්‍යන්තර ශතක සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ දමා ගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli සමත් වූ අතර, තරගයෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කළේ සෑම තරගයක් ම තමන්ගේ අවසන් තරගය සේ සිතා තමන් දැන් ක්‍රීඩා කරනා බවයි.

2019 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ සැප්තැම්බර් මාසය වන තෙක් දින දහසකටත් අධික කාලයක් පුරාවට ම Virat Kohli විසින් ශතක ඉඩෝරයකින් පෙළෙමින් සිටි අතර නිමා වූ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව ශතකයක් ලබා ගනිමින් ඔහු එම ඉඩෝරය නිමා කිරීමට සමත් වුනා.

දැන් ඔහු සිය ශතක මල්ලට තවත් එක්දින ශතක දෙකක් පිට පිටම එකතු කර ගැනීමට සමත් වී ඇති අතර (ඊයේ ශතකය ද සමඟින්) නැවතත් ඔහු සිය පැරණි රිද්මයට අවතීර්ණ වෙමින් සිටින බව පෙනී යනවා.

“මම ඉගෙන ගත්ත එක දෙයක් තමයි බලාපොරොත්තු සුන් කර ගැනීම ඔබව කිසිම ඉලක්කයක් කරා ගෙන නොයන බව.”

ඊයේ තරගයෙන් අනතුරුව Virat විසින් සිය ක්‍රීඩා දිවියේ ගෙවූ අසීරුතම කාලසීමාව පිළිබඳ මතකය අවධි කරමින් පවසා සිටියා.

“තරගය තවමත් සරලයි. අපි උපයා ගන්න දේවල් සමඟ, අපේ ම බලාපොරොත්තු සමඟ, මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන දේවල් එක්ක, ක්‍රීඩාව පටන් ගන්න පිත්ත හෝ පන්දුව අතට ගනිද්දී හිටපු කෙනාට වඩා අපි වෙනස් වෙනවා. දේවල් සංකීර්ණ වෙනවා. එයින් ඔබව පීඩනයට පත් වෙනවා. ඔබ ඔබවම පහළට වැටෙන තැනකින් තබා ගන්නවා.

ඇත්තටම ඒක ඔබට උදව්වක් වෙනවා, ඔබ එතනට (ක්‍රීඩා පිටියට) ගිහින් කිසිම බයකින් තොරව ක්‍රීඩා කරනවා. හැම තරගයක් ම ඔබේ අවසන් තරගය වගේ හිතලා ක්‍රීඩා කරන්න ගන්නවා. ඒ දේවල් ගැන දුක් නොවී සතුටු වෙනවා. මේවා තමයි මම ඉගෙන ගත්තේ.

මට දේවල් නතර කර ගෙන ඉන්න බැහැ, ක්‍රීඩාව ඉදිරියට ම යනවා. ගොඩක් ක්‍රීඩකයෝ අතීතයේ ක්‍රීඩා කළා, මමත් හැමදා ම ක්‍රීඩා කරන්නේ නැහැ. ඉතින් මම මොනවද ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ. මේ දේවල් මම වටහා ගත්තා. මම දැන් ඉන්නේ සතුටු දායක වට පිටාවක, මම මගේ ක්‍රීඩාව රස විඳිමින් මට පුළුවන් තරම් කාලයක් ක්‍රීඩා කරනවා.”

ඊයේ තරගයේ දී පන්දු 87කින් ලකුණු 113ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ලකුණු 373ක් දක්වා ඔසවා තැබීමේ බර කරට ගත් Virat Kohli විසින් එසේ සිය අතීත අත්දැකීම්වලින් ඉගෙන ගත් දේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළා.

“මම අලුතින් සූදානම් වුන කිසිම දෙයක් නැහැ, මගේ සූදානම් වීම පෙර වගේමයි. මගේ චේතනාවන් ඒ විදිහමයි. සමහර වෙලාවට ඔබට අවශ්‍ය ගලා යාම ලැබෙන්නේ නැහැ, නමුත් අද මට දැනුණා මම පන්දුවට හොඳින් පහර එල්ල කරනවා කියලා. කඩුලු බිඳ වැටුනත් මම චේතනාන්විතව එක අන්තයක් ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ යෙදුණා.”

Kohliගේ ඉනිම අතරතුර දෙවතාවක් (ලකුණු 52 දී සහ 81 දී) ඔහු විසින් ලබා දුන් උඩ පන්දු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් ගිලිහී ගිය අතර වාසනාව සෑම විටම තමන් වෙනුවෙන් නොසිටින බැවින් මෙවැනි දින වෙනුවෙන් තමන් ස්තුතිවන්ත වන බව Kohli තව දුරටත් සඳහන් කළා.

“බලන්න, වාසනාව ලොකු කාර්යයක් ඉටු කරනවා. වාසනාව ඔබ වෙනුවෙන් හිටිය දවස් වල දී ඔළුව නවලා දෙවියන් වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න පුළුවන් ඔබට.

වාසනාව අපි වෙනුවෙන් නැති වුනාම අපි ටිකක් කලකිරෙනවා, නමුත් මේ වගේ සන්ද්‍යා වනුත් ඒ අතරේ මතකයේ තබා ගත යුතුයි.

ලකුණු 50 දී දැවී යන්න හිටපු මම ශතකයක් ලබා ගත්තේ වාසනාව නිසා, මම ඒ ගැන හොඳට ම දන්නවා. ඒ නිසා අද මට තිබුණු ඒ වාසනාව ගැන මම සතුටු වෙනවා සහ ස්තුතිවන්ත වෙනවා. වැදගත් ම දේ තමයි එයින් උපරිම ප්‍රයෝජනය ගැනීම.”

ඊයේ තරගයේ වීරයා බවට ද පත් වූ Kohli සිය ඉනිම පිළිබඳ එසේ සඳහන් කළා.

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<