“මේ තරගාවලිය එංගලන්තයට අභියෝගයක් වේවි” – Mickey Arthur

එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 2021

256

එංගලන්ත තරගාවලිය සඳහා තම කණ්ඩායම හොඳින් මුහුණ දෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු Mickey Arthur පවසා තිබේ. ඒ The Guardian පුවත්පත සමඟින් සාකච්ඡාවකට එක්වෙමිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දෙසැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගී වූ අතර එහි ටෙස්ට් තරග දෙකම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරගාවලි පරාජයකින් අනතුරුව අද (08) දින මෙරටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන සතියේ දී එංගලන්තය සමඟින් ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වීමට නියමිතය. 

එංගලන්තය අවසන් වරට මෙරට ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වූයේ 2018 වසරේ දීය. Joe Root යටතේ තරගාවලිය සඳහා සහභාගී වූ එංගලන්ත කණ්ඩායම තරග 3කින් යුත් එම ටෙස්ට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ වේගවත් පිතිකරණ රටාව නිසාවෙනි. 

ප්‍රබල ශ්‍රී ලංකා දඟපන්දු බලඇණිය හමුවේ Sweep පහර සහ Reverse sweep පහර වඩාත් ඵලදායී ලෙස යොදාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙරට දීම ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට එංගලන්ත කණ්ඩායම එහිදී සමත් විය. 

වසර කිහිපයක් තුළ පුහුණුකරුවක් කිහිපදෙනෙකු යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම, 2019 වසරේ අග භාගයේ දී Mickey Arthur වෙත පැවරිනි. සිය අත්දැකීම් වලින් ‘ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ දුර්වලතා මනාව හඳුනා ගැනීම ඔහුගේ ප්‍රධාන අභිප්‍රාය’ බව පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව Mickey Arthur පවසා තිබිනි. 

කෙසේවෙතත් දකුණු අප්‍රිකානු තණතීරු සහ වේගපන්දු ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සාර්ථක වීමට හැකියාවක් ලැබුනේ නැත. තරගාවලිය අතරතුර ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ආබාධ වලට ලක්වීම ද ශ්‍රී ලංකා පසුබෑමකට ප්‍රධාන හේතුවක් විය. කෙසේවෙතත් එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන එංගලන්ත තරගාවලිය තුළ තම කණ්ඩායම සාර්ථක වනු ඇති බව Mickey Arthurගේ මතයයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම විශාල පසුබෑමකට ලක්වුනා, 2018 වසරේ දී තරග 3-0ක් ලෙස පරාජය වීමත් එක්ක. ඔවුන් ඒ වගේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුනේ නැහැ. මේ වතාවේ අපි එල්ලවෙන සෑම ආකාරයකම අභියෝගයන් වලට සූදානමින් ඉන්නේ. අපි ගොඩක් ඉවසීමෙන්, ඥානාන්විතව ක්‍රීඩා කරන්න ඕනේ.”  

“කණ්ඩායම ගත්තම ඔවුන් මේ රටේ තත්ත්ව වලට ගොඩක් හුරු වෙලා ඉන්නේ. වේගවත් සහ ඉපිලීමක් සහිත පන්දු වලට වඩා මේ තණතීරු වල පන්දු වලට ඔවුන් සූදානම්. ශ්‍රී ලංකාවේ තත්ත්ව වලට ආවම අපේ කණ්ඩායම අනෙක් අවස්ථාවන් වලට වඩා විශාල, ශක්තිමත් කණ්ඩායමක් බවට පත්වෙනවා. ඔවුන් දන්නවා ක්‍රීඩා කරන්න ඕනේ කොහොමද කියලා.”  

Mickey Arthur දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ සහ පාකිස්තානයේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ. එංගලන්ත කණ්ඩායම 2018 වසරේ දී මෙරට සංචාරයට එක්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට දී සහභාගී වූ එකම ටෙස්ට් තරගාවලිය වූයේ පසුගිය 2019 වසරේ පැවති නවසීලන්ත තරගාවලියයි. එම තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව නිමා විය.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන්නන් වන ලසිත් ඇඹුල්දෙණිය, දිල්රුවන් පෙරේරා සහ නවක දඟපන්දු යවන්නා වන වනිඳු හසරංග මෙම තරගාවලිය තුළ සාර්ථක වනු ඇතැයි Mickey Arthur පවසා තිබිනි. 

“මම හිතනවා ගාලු තණතීරුව දඟපන්දු යවන්නන්ට ගොඩක් සුදුසු වේවි කියලා. අපිට සිදුවෙනවා ඔවුන්ගේ දඟපන්දු යවන්නන්ටත් මුහුණ දෙන්න. අපි ඒකටත් සූදානම් වෙන්න ඕනේ. Dom Bess සහ Jack Leach ක්‍රීඩා කරන ආකාරය මම දැකලා තියෙනවා. ඔවුන් මේ තණතීරු වල බලපෑමක් ඇති කරන්න පුළුවන් ක්‍රීඩකයන්.”  

එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Moeen Ali හට කොරෝනා වෛරසය ආසාධනය වී තිබීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති වටපිටාවක් තුළ එංගලන්ත දඟපන්දු බලඇණියේ වගකීම Bess හට සහ Leach හට පැවරී තිබේ.  

Ollie Pope තවමත් ආබාධයකින් සුවය ලබමින් සිටින අතර Rory Burns ද තරගාවලිය සඳහා සහභාගී නොවේ. එංගලන්ත ප්‍රබල ක්‍රීඩකයන් වන Ben Stokes සහ Jofra Archer ද මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබේ. 

“මම හිතන්නේ නැහැ එංගලන්තය අපිව සුළුකොට සලකයි කියලා.” Arthur තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය. 

එංගලන්ත පිතිකරණ උපදේශකයකු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ප්‍රබල ක්‍රීඩක Jacques Kallis එක්ව තිබීම විශේෂත්වයකි. 

“මම හිතුවේ නැහැ සතියක් තුළ Mark Boucher (දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු) සහ Jacques Kallis එක්ක තරග කරන්න ලැබේවි කියලා. Kallis කියන්නේ විශිෂ්ට උපදේශකවරයෙක්. ඔහු හැම එංගලන්ත ක්‍රීඩකයෙක්ගෙන්ම උපරිමය ගන්න පුළුවන් කෙනෙක්.”  

කෙසේවෙතත් එංගලන්ත නායක Joe Root පසුගිය වසර තුළ කිසිඳු ශතකයක් වාර්තා නොකිරීම විශේෂත්වයකි. 2021 වසර ඔහුට ශතකයකින් ආරම්භ කිරීමට හැකිවනු ඇත්දැයි Mickey Arthurගෙන් විමසා තිබිනි. 

“ඔහු ඉතාමත් විශිෂ්ට ක්‍රීඩකයෙක්. මට විශ්වාසයි ඔහු ගොඩක් ලකුණු රැස්කරාවි. ඒත් ඒ ඉන්දියාවට ගියාට පස්සේ.” Mickey Arthur පවසා තිබිනි. 

The Guardian පුවත්පත ඇසුරිනි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<