ක්‍රිකට් ලකුණු පුවරු සරසන වළලු දැමූ අත්

720

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සේවය සලසන්නන් අතර කාන්තා ලකුණු සටහන්කාරිනියන් ද ඉටු කරන්නේ අමිල සේවයකි. මේ ඔවුන් ගැන ThePapare.com තබන සටහනකි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය කොතැන ද ලකුණු සටහන්කරණයේ ද ආරම්භය වන්නේ එතැන ය. පිතිකරුවන් ලබා ගත් ලකුණු, ලී කෑල්ලක එසේත් නොමැති නම් වැලි පුවරුවක, එකින් එක සටහන් කිරීම එකල සිරිත විය.

අද වන විට මේ සටහන් විවිධ ඉසව් පසුකරමින් පරිගණකය දක්වාම විකාශය වී ඇත. ඒ සෑම තැනකම කාන්තාවෝ ද සිටිති. ඊට ලෝක කාන්තාවන් සම්බන්ධ වූ වකවානුව ගැන නිවැරදිව පැවසීමේ දත්තයන් නොවූව ද ශ්‍රී ලංකාවේ නම් එය 2000 දශකයේ ආරම්භය දක්වා විහිද යයි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලකුණු සටහන්කාරිනියන් කොතෙකුත් සිටිය ද ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ලකුණු සටහන්කාරිනියන්ගේ ලැයිස්තුව හැඩ වෙන්නේ 10 දෙනෙක්ගෙන් පමණි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සුදුසුකම් ලබා ගත් ලකුණු සටහන්කාරිනියක් ලෙසින් භෞතීස්ම ලබා සිටින පිරිස ය. 

ඊට අමතරව මේ ලැයිස්තුවට පිවිසීමට සුදුසුකම් ලබා සිටින 5 දෙනෙක් ද වෙති. ඔවුන්, ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක වශයෙන් පැවති 2019/20 ලකුණු සටහන්කරණ විභාගයට සහභාගී වෙමින් සමත් වූවන් ය. 

ඔවුන් සමඟින් මේ ලකුණු සටහන්කාරිනියන්ගේ වගකීම වන්නේ ක්‍රිකට් තරගයක ලකුණු සටහන්කරණය නිවැරදිව පොතක, පරිගණකය හෝ වර්තමානය වන විට ජංගම දුරකතනයක් මගින් හෝ සිදු කිරීම ය. ඉන්පසුව එකී දත්තයන් ක්‍රිකට් ලකුණු සටහන් පුවරුව වෙත ලබා දීම ද එය නිවැරදිව සිදු කෙරෙන්නේ දැයි සොයා බැලීමත් සිදු කෙරෙන්නේ ඔවුන් මගිනි. ඒ අනුව ක්‍රිකට් ලකුණු පුවරුව සැරසීමේ සම්පූර්ණ වගකීම රැඳී ඇත්තේ මේ ලකුණු සටහන්කාරිනියක්ගේ ය. ලකුණු සටහන්කරුවන්ගේ ද වගකීම වන්නේ එයම මිස වෙනකක් නොවේ.  

අප මේ ලිපියෙන් ක්‍රිකට් ලකුණු සටහන්කාරිනියක් ගැන පමණක් අවධානය යොමු කරන බැවින් ඒ ගැන අවධානය යොමු කරමු. මේ සියලු දෙනා අතුරින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ලකුණු සටහන්කරණයේ යෙදීමට සුදුසුකම් ලැබූ තැනැත්තියෝ දෙදෙනෙක් වූ අතර ඉන් එක් අයෙක් මේ වන විට ජීවිතය හැර ගොස්ය. ඒ පූජානි ලියනගේ ය. 

“පූජානි ලකුණු සටහන්කරණ ක්‍රියාවලියේ දී හැම අතින්ම පරිපූර්ණයි. සංගමයේ සියලු සාමාජිකයන්ට ඇය පූර්වාදර්ශයක්. විශේෂයෙන්ම කාන්තා සාමාජිකාවන්ට. ක්‍රිකට් ලකුණු සටහන්කරණ පොතේ ද, Online ලකුණු සටහන්කරණයේ දී ද ඇය එක සේ දක්ෂතා දැක්වූවා. ඒ වගේම කාගෙත් හිත දිනාගෙන ඇය කටයුතු කරන්න දැනගෙන හිටියා. ඇය නැති වීම අපට විශාල පාඩුවක්” ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සභාපති සංජය ජයසිංහ මහතා ThePapare.com හා එක්වෙමින් පැවසුවේ ය. 

චේතනා සුරසිංහ, 2006 වසරේ සිට ක්‍රිකට් ලකුණු සටහන්කරණයේ යෙදෙන වෘත්තීය ලකුණු සටහන්කාරිනියකි. ඇය 2015 මැයි මස 13 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති ශ්‍රී ලංකා කාන්තා සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර තරගයේ දී ලකුණු සටහන්කරණයේ නිතර වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් ලකුණු සටහන්කාරිනියක් ලෙස කටයුතු කළ පළමු ශ්‍රී ලාංකිකාව වූවා ය. 

“ලකුණු සටහන්කාරිනියක් ලෙසින් සේවය සලසන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. බොහෝ දෙනෙක්ට මේ කාර්යය ඉතා පහසු කටයුත්තක් ලෙසින් පෙනෙන්න පුළුවන්. නමුත් එහි ඇති බැරෑරුම්කම සහ වගකීම කොතෙක් ද කියන එක ඒ අයට හැඟෙන්න, ඔවුන් ලකුණු සටහන් පොත අතට ගන්නම ඕන. කාන්තාවක් ලෙස මම සතුටු වෙනවා, මේ ක්ෂේත්‍රයේ ඉහළට ම එන්න ලැබීම ගැන” චේතනා සුරසිංහ පැවැසුවා ය.

චේතනා, පෞද්ගලික ආයතන කිහිපයක ද, ජාත්‍යන්තර පාසලක ක්‍රීඩා ගුරුවරියක් ලෙසින් ද කටයුතු කරමින් සිට මේ වන විට ඒ සියල්ලෙන් ඉවත්ව ලකුණු සටහන්කරණය තම වෘත්තිය ලෙසින් තෝරාගෙන එහි නිරත වන්නීය. 

“මම මේ ක්ෂේත්‍රයට පැමිණෙන්නේ පියාගේ ආශීර්වාදය ඇතිව. ඔහු ක්‍රිකට් විනිසුරුවෙක්. ඔහු තමයි මාව මෙතැනට එක්ක ඇවිත් නතර කළේ. මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන්. ඒත් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්නයි අපහසු. මොකද අපි අත්දැකීම් ලබා ගන්න නම්, වැඩි වැඩියෙන් පාසල් තරග කරන්න ඕන. ඒ වගේම ක්‍රීඩා සමාජ තරග කරන්න ඕන. ඒ සැම දේකටම සංගමයෙන් අවස්ථාවන් ලැබෙනවා. ඒ වගේම අපිට වැඩි හරියක් වැඩ කරන්න වෙන්නේ පිරිමි අය සමඟ. එතැන දී අපි අපේ ගෞරවයත්, ඔවුන්ගේ ගෞරවයත් රැක ගන්න ආකාරයෙන් හැසිරෙන්න ඕන. ඒ වගේම අපිට අවශ්‍ය ආකාරයට පහසුකම් නැති වෙන්න පුළුවන්. ඒත් අපි ආ කාරණය ඉටු කරන්න ඕන. ඒ නිසා අපිට සෑහෙන්න කට්ටක් කන්න වෙනවා. ඒක Scoring වල විතරක් නෙමේ කුමන ක්ෂේත්‍රයකත් එකයි කියලයි මට හිතෙන්නේ. Scoring කියන්නේ අපිට හොඳ ආර්ථික ශක්තියක් ලබා දෙන වෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා. ඒ ගැන මම අපේ සංගමය ස්තුතිවන්ත වෙනවා” චේතනා වැඩි දුරටත් පැවසුවා ය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමය හා එක්ව සිටිමින් ලකුණු සටහන්කරණයේ යෙදුණ සුවිශේෂී චරිතයකි, දේදුනු සිල්වා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්වන්ගෙන් දක්ෂතා දැක්වූ ඇය මේ වන විට ක්‍රිකට් විනිසුරුවරියක් ලෙසින් කටයුතු කළ ද, ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ භූමිකාවෙන් පසුව ඇයගේ ආරම්භය වූයේ ක්‍රිකට් ලකුණු සටහන්කරණයයි. 

“මගේ ක්‍රිකට් විනිසුරු දිවියට Scoring විශාල අත්වැලක් වුනා කියල කියන්න පුළුවන්. මගේ බලාපොරොත්තුව වුනේ 2013 වසර වගේ කාලය තෙක් ක්‍රිකට් සෙල්ලම් කරන්න. නමුත් 2012 පමණ වෙන විට මට කණ්ඩායමේ ස්ථීර තැනක් නොලැබෙන තත්ත්වයක හිටියේ. මම Full time ක්‍රිකට්වල හිටියේ. ක්‍රීඩිකාවක් ලෙස නොවුනත් මට අවශ්‍ය වුනේ ක්‍රිකට්වල කොතැනක හෝ රැඳිලා ඉන්න. ඊට පස්සෙ තමයි මම Scoring කළේ. විභාගයත් Pass වෙලා, ලැබෙන විවේකයෙන් දී Scoring කළා. ඊට පස්සෙ Umpiring කළා. එතැන දී මේ දෙකෙන් එකක් තෝර ගන්න වුනා. මම Umpiring තෝර ගත්තා. ඒකට හේතු වුනේ, මේ හරහා ICC විනිසුරුවරියක් දක්වා ගමනක් යන්න පුළුවන් කියන හැඟීම, හැම තැනින්ම ලැබීම. තවමත් මට එතැනට යන්න පුළුවන් වුනේ නැහැ. ඒත් Scoring වලින් ලැබූ දැනුම මගේ වර්තමාන ගමනට විශාල ලෙසින් දායක වුනා කියල නිහතමානිව කියන්න පුළුවන්” දේදුනු සිල්වා පැවසුවා ය. 

ක්‍රිකට් ලකුණු සටහන්කරණ පුවරුවට ගොඩවෙන කාන්තාවන් අතුරින් හර්ෂනි මධුවන්තිට හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී මේ වන විට දායකත්වය දක්වන එකම ලකුණු සටහන්කාරිනිය ඇය වන බැවිනි. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙනි. 

තවත් විශේෂාංග ලිපි:

“මම ක්‍රිකට් ගහන කාලේ සිටම ක්‍රිකට් Scoring වලටත් එකතු වුනා. ඒක එක්තරා කලාවක්. මම ඒ කලාවට ආසාවක් දැක්වූවා. ඒ නිසාම ක්‍රිකට් සෙල්ලම් කරන ගමන්ම Scoring ටිකෙන් ටික ඉගෙන ගත්තා. ක්‍රිකට් අතහැරෙද්දි මම Scoring වලට වැඩි වැඩියෙන් සම්බන්ධ වුනා. ඒ අනුව මට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු සටහන්කරණය කිරීම දක්වා පැමිණීමට හැකි වුනා. ඇත්තටම ඒක මම ලබපු සුවිශේෂී ජයග්‍රහණයක්. මගේ Scoring ගැන විශ්වාසය තබමින් මට මේ වගකීම ලබා දුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ එහි කළමනාකාරිත්වයට මගේ ස්තුතිය පුද කරනවා.”

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩයම නියෝජනය කරමින් ක්‍රීඩා කළ හර්ෂනී, ඊට පෙර පාලිනික් ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කළා ය. 2016 වසරේ සිට ක්‍රිකට් ලකුණු සටහන්කරණයේ නිරත වන හර්ෂනි, බහුතරයක් වූ පිරිමින්ගේ වූ ක්‍රිකට් ක්‍රීඩාවේ දී හරි හරියට ඔවුන් සමඟ කරට කර කටයුතු කරන්නියක් සේ ප්‍රසිද්ධ ය.

“අපිට වැඩි හරියක් කටයුතු කරන්න වෙන්නේ පිරිමින් සමඟ, ඒක ඇත්ත. ඒත් ඒක මට කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. ඔවුන් ක්‍රීඩා පිටියේ දී වගේම පිටතදීත් ඉතා හොඳින් සහයෝගය දක්වනවා. සහෝදර ලකුණු සටහන්කරුවන්, විනිසුරුවන්, තරග තීරකවරුන් ඇතුළු සියලුම දෙනා අපි සහෝදරයන් සේ කටයුතු කරනවා” හර්ෂනී පැවසුවා ය.

දර්ශනී වික්‍රමනායක උපපොලිස් පරීක්ෂකවරියක් ලෙසින් මේ වන විට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවය කරන්නීය. මාතලේ ක්‍රිකට් සමාජයේ කාන්තා ක්‍රිකට් කණ්ඩයම නියෝජනය කළ දර්ශනී, උතුරු මැද පළාත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කළා ය. ඊට පසුව කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙන දර්ශනී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංවර්ධිත සංචිතයේ පුහුණුව ලැබූ ක්‍රීඩිකාවක් ද වූවා ය. 

“මාතලේ ඉඳලා කොළඹ ඇවිත් ක්‍රිකට් ගහද්දී මට ආර්ථික පැත්තෙන් විශාල ශක්තියක් වුනේ, Scoring කිරීම. ශ්‍රී ලංකා සංවර්ධිත සංචිතයේ සිටිද්දී පවා මම  Scoring කළා. ආරම්භක දවස්වල Scoring කිරීම තරමක් අපහසු වුනා. නමුත් සංගමයෙන් අපිව මැච්වලට දැම්මේ පළපුරුදු කෙනෙක් සමඟ. ඔවුන් සෑම කෙනෙක්ම අපිට උදව් කළා. දැනට යෙදිල ඉන්න සේවය අනුව Scoring කරන්න ලැබෙන විවේකය අඩුයි. නමුත් ලැබෙන විවේකයක දී මැච් එකක් Scorer කරන්න ආසාවෙන් ඉන්නවා” දර්ශනී පැවසුවා ය. 

ඔවුන්ට අමතරව ආදි ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන නිලූකා අමරසේන, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන හර්ෂා ගුණසේන, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ශ්‍යාමලී කුසුම් කුමාරි ද ක්‍රිකට් ලකුණු පුවරුව සරසන ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සාමාජිකාවෝ ය.  

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ, බාලිකා ක්‍රිකට් තරගාවලි ලේකම් ලෙසින් කටයුතු කරන වර්තමානයේ කොළඹ 8, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියක් ද වන චම්පිකා ශිරෝමණී ද කලක් ලකුණු සටහන් පුවරුව සැරසූ ලලනාවක් ය. ඇය ද මේ වන විට ක්ෂේත්‍රයෙන් තරමක් දුරට දුරස්ව ඇත්තේ, පවතින අධික කාර්ය බහුලත්වය හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නිලධාරීනියන් සේ කටයුතු කළ දිප්ති ගුණරත්න සහ පද්මා කරුණාරත්න මේ වන විට ලකුණු සටහන් පුවරුවට ගොඩ නොවී සිටින්නේ ඔවුන්ගේ පැවති කාර්ය බහුලත්වය මත සංගමයේ සාමාජිකත්වය අහිමි වීමේ හේතුවෙනි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සුදුසුකම්ලත් ලකුණු සටහන්කාරිනියන්ගේ ලැයිස්තුව.

නම සාමාජික අංකය වර්තමාන තත්ත්වය
1 දීප්ති ගුණරත්න  0033/M/2003 සාමාජිකත්වය අහිමියි
2 පද්මා කරුණරත්න 0038/M/2003 සාමාජිකත්වය අහිමියි
3 චේනනා සුරසිංහ  0044/M/2006 ක්‍රියාකාරියි
4 පූජනී ප්‍රසාදිකා  0080/M/2010 මිය ගොස් ඇත
5 නිලූකා අමරසේන  0091/M/2013 ක්‍රියාකාරියි
6 චම්පිකා ශිරෝමණී 00102/M/2013 බාලිකා ක්‍රිකට් තරගාවලි ලේකම්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය/ නියෝජ්‍ය විදුහල්පතිනි
7 දර්ශනී වික්‍රමනායක  00133/ M/2015 උපපොලිස් පරීක්ෂක, ශ්‍රී ලංකා පොලිසිය
8 හර්ෂා ගුණසේන 00141 /M/2015 ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
9 හර්ෂනි මධුවන්ති 00152/M/2016 ශ්‍රි ලංකා ගුවන් හමුදාව
10 ශ්‍යාමලී කුසුම් කුමාරි  00159/M/2016 ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශ්‍රාමික

ක්‍රීඩා පිටියක ලකුණු පුවරුව කොයි කා අතිනුත් හැඩ විය හැකිය. එහෙත් හෙට දවසේ සිට එය වඩාත් හැඩ වැඩ වී ඔබට පෙනෙන්නේ ලලනාවකගෙන් ද, නොමැති නම් පිරිමියෙක්ගෙන් ද යන්න ඔබ හෙට දවසේ සිට විමසිලිමත් වනු ඇත. මේ කවුරුන් කළත් එහි වඩාත් වැදගත්ම අංගය වන්නේ “නිවැරදි දත්තයන්” ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙත ලබා දීම ය. ඒ පිරිමි/ගැහැණු වෙනසකින් තොරව, ඔවුන්ගේ මූලික පරමාර්ථය වී ඇත්තේ එයම වන නිසා ය. ඔබ සියලු දෙනාට අපගේ උපහාරය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<