මේ වන විට උද්ගතව ඇති ‘Coronavirus’ වසංගත තත්වය හේතුවෙන් ඉන්දියාව ඇතුළු ලෝකය පුරා ක්‍රීඩාවල ව්‍යුහමය වෙනස්කම් රාශියක් ඉදිරියේ දී සිදු විය හැකි බව වාර්තා වේ. 

ඒ අනුව විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ‘Coronavirus’ වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස හටගෙන ඇති ආර්ථික පසුබෑම හරහා ඉන්දියාවේ මෙන්ම ලෝකය පුරා ක්‍රීඩා ක්‍ෂේත්‍රයන් මේ වන තෙක් කිසිවෙකු අපේක්‍ෂා නොකළ පරිදි වෙනස් වනු ඇති බවයි. 

එහි බලපෑම එක් එක් ක්‍රීඩාවට අඩු වැඩි වශයෙන් වෙනස් ආකාරයට බලපෑ හැකි අතර එහි දී ක්‍රිකට් ක්‍රීඩාව සලකා බැලූ කළ ඉදිරියේ දී එහි ආර්ථික සංයුතිය වෙනස්කම්වලට භාජනය වන අතරතුර ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටින කණ්ඩායම්වලට මූල්‍යමය විධිවිධාන කප්පාදු වීමේ ප්‍රවණතාවක් ද පවතින බව අනුමාන කෙරේ. තවදුරටත් හොකී වැනි සංසන්දනාත්මකව තරමක් අඩු ජනප්‍රියත්වයක් උසුලන ක්‍රීඩා ඉසව්වල අනාගතය අවිනිශ්චිත වී ඇත. 

මැච් දිනවන චන්දන

සංඛ්‍යා දත්තවලින් වැඩ පෙන්වීමට වඩා ක්‍රිකට් තරග දිනවීම යනු අපහසු කරුණකි………..

මේ පිළිබඳව Deloitte India සමාගමේ කොටස්කරුවකු වන Manish Desai මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ;

“ක්‍රීඩා සංගම්වලට මූල්‍ය ප්‍රතිපාදන සැලසෙන ප්‍රධානම ක්‍රමවේදය තමයි ඒ අදාළ ක්‍රීඩාවේ විකාශන අයිතීන් විකිණීම. නමුත් මේ වන විට ක්‍රීඩා ඉසව් නවතා තිබීමත් සමඟ ක්‍රීඩා සංගම්වලට ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව සංසන්දනාත්මකව හොඳ තත්වයක තියේවි. නමුත් බටහිර ඉන්දීය කොදෙව් දූපත්, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් ක්‍රිකට් සංගම්වලට ඔවුන්ගේ අදාළ විකාශන අයිතීන් ගිවිසුම් අලුත් කරගන්න බැරි වුනොත් ඔවුන්ට ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න සිදු වේවි.”

තවදුරටත් ඔහු මෙහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ක්‍රිකට් හැරුණු කොට අනෙක් ක්‍රීඩාවන්ට ඒවා තුළ පවතින මූල්‍ය පසුබිම හේතුවෙන් නැවතත් ඉන්දියාව තුළ සාමාන්‍ය තත්වයට පැමිණීම අපහසු කාර්යයක් වනු ඇති බවයි. 

ඒ අනුව පවතින ‘Coronavirus’ තත්වය මේ වන විට ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් මුළු ලෝකයේම ක්‍රීඩාවලට බලපා ඇති ආකාරය පිළිබඳව විමසා බැලිය යුතුය.

ක්‍රිකට් ක්‍රීඩාව

මෙම තත්වය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය අත්හැර දැමීමට සිදු වූ අතර තවදුරටත් මෙම වසරේ එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ද පැවැත්වීමේ හැකියාව පිළිබඳව දැඩි අවිනිශ්චිත තත්වයක් මේ වන විට උද්ගතව ඇත. 

කෙසේ නමුත් සමස්ත ක්‍රිකට් ක්‍රීඩාව සැලකිල්ලට ගත් කල ඔවුන්ට ඉදිරියේ දී වැඩි කාර්යභාරයක් පැවරෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඒ අනුව 2008 ආර්ථික අර්බුදයට මුහුණ දීම අරමුණු කරගෙන ඉදිරිපත් කරනු ලැබූ ‘the Big 3 revenue-sharing’ ආකෘතිය ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි අනුමාන කෙරෙන අතර ඒ හරහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වැඩි මුදල් ප්‍රමාණයක් ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වලට යොමු කෙරෙනු ඇත. 

කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් ICCයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු මෙන්ම දකුණු අප්‍රිකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා පරිපාලන නිලධාරියෙකු වන Haroon Lorgat ප්‍රකාශ කර සිටියේ මෙම ආකෘතිය හරහා කුඩා රටවල්වල කණ්ඩායම්වලට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

“මුදල් ලබා දීම අවහිර වුනොත් සමහර රටවල්වලට ඔවුන්ගේ මූලිකම වියදම්වලට අවශ්‍ය මුදල් සපයා ගැනීම පවා ඉතා අමාරු කටයුත්තක් වෙනවා. ඔවුන්ට ඊට අදාළව සහයෝගයක් නොලැබුනොත් ඒ රටවල් වලට විශාල පාඩු වලට මුහුණ දෙන්න සිදුවේවි.”

කෙසේ නමුත් Deloitte India හි Desai මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ මෙම තත්වය පිළිබඳව කලබල වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

“මෙම අර්බුදකාරී තත්වය අවසන් වූ වහාම ICCය බලයි ශ්‍රේණිගත කිරීම්වල පහළින් ඉන්න කණ්ඩායම්වලට නැවතත් ඉහළට එන්න කොහොමද අවශ්‍ය සහයෝගය දෙන්න පුළුවන් කියලා. අපිට මෙම තත්වය හමුවේ සමහරක් කණ්ඩායම්වලට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඔවුන්ව ඉදිරියට රැගෙන යන්න සිදු වෙනවා.”

ලොව පවතින ධනවත්ම ක්‍රිකට් සංගම්වලට ද මෙම තත්වය හරහා ප්‍රබල බලපෑමක් එල්ල විය හැකි අතර ඒ අනුව මෙම වසරේ අග භාගයේ දී පැවැත්වීමට නියමිතව ඇති ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය ‘Coronavirus’ තත්වය හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුවහොත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් සංගමයට ඩොලර් මිලියන 174ක දැවැන්ත පාඩුවක් අත්විඳීමට සිදු වනු ඇතැයි ඇස්තමේන්තු ගතකර ඇත. 

තවදුරටත් එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය අවලංගු කිරීමට සිදුවීමේ අවදානමක් ද මේ හරහා උද්ගතව ඇත. 

එමෙන්ම එළඹෙන IPL තරගාවලිය අත්හැර දැමීමට සිදුවුවහොත් ඒ හරහා අදාළ විකාශකයින්ට සහ අදාළ කණ්ඩායම්වල හිමිකාරීත්වය දරන ආයතනවලට අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 3,000ක දැවැන්ත පාඩුවකට මුහුණ දීමට සිදු වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මීට Star Sports ආයතනය සමඟ රූපවාහිනී විකාශන අයිතීන් වෙනුවෙන් එළඹ ඇති ගිවිසුමට අනුව ලබාගෙන ඇති රුපියල් කෝටි 1500ක මුදල නැවතත් එම ආයතනය වෙත ලබා දීමට සිදුවීමෙන් සිදු වන පාඩුව ද අන්තර්ගත වේ. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හෙලිකර ඇති ආකාරයට ඉන්දියාවේ දල දේශීය නිෂ්පාදනයට 2015 IPL තරගාවලිය හරහා රුපියල් කෝටි 1,150ක දායකත්වයක් ලැබී ඇති අතර ඒ අනුව මෙවර එම තරගාවලිය අත්හැර දැමීමට සිදුවුවහොත් ඒ හරහා ඉන්දියාවේ ආර්ථිකයට ද බලපෑමක් එල්ල වනු ඇත. Desai මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ මේ හරහා තරගාවලියට සම්බන්ධ කර්මාන්තවලට ද විශාල පාඩු අත්විඳීමට සිදු වනු ඇති බවයි.

“IPL තරගාවලිය අත්හැර දැමීමටත් වඩා ක්‍රීඩාවට සම්බන්ධ විවිධ විවිධ කර්මාන්තවලට සිදු වන පාඩුව හේතුවෙන් සමස්තයක් ලෙස මෙතැන දී ඉන්දියාවේ ආර්ථිකයට බලපෑමක් එල්ල වෙනවා. සහය සේවකයින්, තරගාවලියේ කාර්ය සම්පාදන ආයතන, ගුවන් සමාගම් සහ හෝටල් ඒ වගේ විශාල පාඩුවක් මුහුණ දිය හැකි කර්මාන්ත විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.”

මහේල පුහුණුකරුවෙකු ලෙස සාර්ථක වූ හේතු හෙළිකරයි

ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම නායකයන් කිහිපදෙනා අතරින් මහේල ජයවර්ධන ………

පාපන්දු 

‘Coronavirus’ වසංගත තත්වය හේතුවෙන් ඉන්දීය සුපර් ලීග් (ISL) පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය මාර්තු මස 14 වැනිදා Goa හිදී ප්‍රේක්‍ෂක සහභාගීත්වයකින් තොරව පවත්වන්නට සංවිධායකයින් හට සිදු විය. 

අනතුරුව ඉන්දියාවේ I-League පාපන්දු තරගාවලිය ද මාර්තු මස 15 වන දින නවතා දැමීමට සිදු වූ අතර පසුව තීරණය කෙරුණේ මෙවර තරග වාරයේ ඉතිරි තරග නොපවත්වා තරගාවලිය අවලංගු කර දැමීමටයි. ඒ අනුව එහි තවත් තරග 23ක් ඉතිරිව තිබිය දී ඒ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි Mohun Bagan පාපන්දු සමාජය තරගාවලියේ ශූරයින් ලෙස නම් කිරීමට කටයුතු කෙරිණ. 

ඒ අනුව මීළඟ තරග වාරය ආරම්භ වීමට තවත් මාස කිහිපයක්ම ඉතිරිව තිබිය දීත් මේ වන විට අදාළ ඉන්දීය පාපන්දු සමාජ ක්‍රීඩකයින් හුවමාරු කරගැනීමේ කටයුතු කෙරෙහි සිය අවධානය යොමුකර ඇත. 

තවදුරටත් එළඹෙන 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් තේරීමේ තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ ඉතිරි තරග ද මේ වන විට දින නියමයකින් තොරව කල් දමා ඇත. ඒ අනුව පිළිවෙළින් කටාර්, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරග මේ ආකාරයට කල් දමා ඇති අතර ඒවා නැවත ආරම්භ කරනු ලබන දිනයක් මේ වන තෙක් ප්‍රකාශයට පත්කර නොමැත. 

මෙම වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 17න් පහළ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ද මේ වන විට කල් දැමීමට තීරණය කර ඇති අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) දැනුම් දී සිටින්නේ එම තරගාවලිය පැවැත්වීමට අපේක්‍ෂා කරන නව දින වකවානු ඉදිරියේ දී ප්‍රකාශයට පත්කරනු ඇති බවයි. 

බැඩ්මින්ටන්

පසුගිය මාර්තු මස 15 වන දින අවසන් වූ All England Championship තරගාවලිය ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවසන් වරට සහභාගී වූ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර තරගාවලියයි. 

උද්ගතව තිබූ ‘Coronavirus’ තත්වය හේතුවෙන් ඒ වන විටත් ලෝක බැඩ්මින්ටන් සම්මේලනය (BWF) ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවිත අනතුරේ හෙළන බව පවසමින් ඔවුන්ට විවිධ විවේචන එල්ලව තිබුණි. 

ඒ අනුව එම තරගාවලියෙන් පසුව ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට තිබූ තරගාවලි සියල්ලම කල් දැමීමට හෝ අවලංගු කිරීමට කටයුතු කරනු ලැබීය. 

එහි දී The Swiss Open, India Open, Malaysia Open, Singapore Open සහ Polish Open යන තරගාවලි අවලංගු කිරීමට ඔවුහු තීරණය කරනු ලැබූහ. 

ටෙනිස් 

Fed Cup තරගාවලියේ playoff වටයේ දී පසුගිය අප්‍රේල් මස 17 සහ 18 දෙදින ඉන්දීය කණ්ඩායම Latvia කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනත් ‘Coronavirus’ තත්වය හේතුවෙන් එය කල් දමන්නට සංවිධායකයින් තීරණය කරනු ලැබීය. 

ඊට අමතරව ලොව පුරා තවත් තරගාවලි කල් දැමීම සහ අවලංගු වීම හේතුවෙන් තරගාවලි මත යැපෙන ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ආර්ථික වශයෙන් අපහසුතාවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි අනුමාන කෙරේ. 

“ඔබ ශ්‍රේණිගත කිරීම්වල පළමු 100 ඇතුළේ නැත්නම් ඔබට අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වෙනවා,” ඉන්දියාවේ හිටපු ටෙනිස් ක්‍රීඩකයෙකු වන Vijay Amritraj මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය. 

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 438 වැනි ස්ථානයේ පසුවන Sidharth Rawat මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ එළඹෙන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසය දක්වා ඉතිරි කර ගත් මුදල්වලින් ඔහුට ජීවත් විය හැකි නමුත් මේ තත්වය දිගින් දිගටම ක්‍රියාත්මක වුවහොත් ඉන් අනතුරුව ඔහුට ද ආර්ථික අපහසුතා වලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.  

කෙසේ නමුත් Grand Slam තරගාවලි ගත් කල මෙම වසරේ Wimbledon තරගාවලිය අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කර ඇති අතර අනෙක් පසින් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 20 වන දින දක්වා කල් දමා ඇත. 

ලොව අංක එකේ පන්දු ඔසවන්නා – මීකා ක්‍රිස්ටෙන්සන්

ජාත්‍යන්තර වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වලට අනුව වර්තමානයේ ලොව අංක එකේ පන්දු ……

අනෙක් ඔලිම්පික් ක්‍රීඩාවන් 

ඔලිම්පික් ක්‍රීඩාවන් සමස්තයක් ලෙස කාණ්ඩ 5කට වර්ග කෙරෙනු ලබන අතර ඒ මත පදනම්ව එක් එක් ක්‍රීඩාවේ අදාළ ජාත්‍යන්තර සම්මේලනයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් මුදල් පිරිනැමීම සිදු කෙරේ.

එහි දී ඉහළින්ම ඇති කාණ්ඩයේ ක්‍රීඩාවන් සඳහා ඩොලර් මිලියන 40ක පමණ ප්‍රමාණයකුත්, පහළම කාණ්ඩයේ ඇති ක්‍රීඩාවන් සඳහා ඩොලර් මිලියන 7ක පමණ ප්‍රමාණයකුත් පිරිනැමෙන අතර පවතින තත්වය හමුවේ ඔලිම්පික් තරගාවලිය එළඹෙන 2021 වසරට කල් දැමීමත් සමඟ එම මුදල් ලබා දීම මෙවර ලබා නොදීමට කටයුතු කිරීමේ හැකියාවක් පවතී. ඒ අනුව මේ හරහා ඉන්දියාවේ ක්‍රීඩාවන් රැසකට බලපෑමක් එල්ල වනු ඇත. 

කෙසේ නමුත් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අදාළ දීමනාවන්, මාසික ගෙවීම් සහ පුහුණුවීම් සහ තරගාවලිවලට අදාළ මුදල් සුපුරුදු පරිදි ඉදිරියටත් ලබා දීමට එරට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කිරීමත් සමඟ ඔවුන්ට මෙම තත්වය හරහා දැඩි බලපෑමක් එල්ල නොවන නමුත් එරට ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන් කෙරෙන මුදල් කප්පාදුවකට ලක්වනු ඇති බව අපේක්‍ෂා කෙරේ. 

මලල ක්‍රීඩා

2022 වසරේ දී මාස දෙකක කාලයක් තුළ ප්‍රධාන පෙළේ තරගාවලි 3ක් පැවැත්වීමට සැලසුම් කර තිබීමත් සමඟ ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහි දී දැඩි කාර්යබහුල වනු ඇති බව නොඅනුමාන ය. 

ඒ අනුව ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය 2022 ජූලි මස 15 සිට 24 දක්වාත්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි මස 27 සිට අගෝස්තු මස 07 දක්වාත් අවසාන වශයෙන් ආසියානු තරගාවලිය සැප්තැම්බර් මස 10 සිට 25 දක්වාත් පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත. 

අනෙක් පසින් පසුගිය මාර්තු 13 සිට 15 වන දින දක්වා චීනයේ Nanjing හිදී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ගෘහස්ථ ශූරතාවලිය එළඹෙන 2021 මාර්තු මස 19 සිට 21 දක්වා කල් දැමීමට අදාළ සංවිධායකයින් තීරණය කරනු ලැබූ අතර තවදුරටත් පසුගිය අප්‍රේල් මස 17 වන දින ආරම්භ වීමට නියමිතව තිබූ Doha Diamond League තරගාවලිය ද කල් දැමීමට කටයුතු කෙරිණ. 

බොක්සිං

චීනයේ වූහාන් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ආසියා-ඕෂනියා ඔලිම්පික් තේරීමේ තරග ‘Coronavirus’ තත්වය හේතුවෙන් ජෝර්දානයේ Amman නුවරට මාරු කිරීමෙන් අනතුරුව එය පසුගිය මාර්තු මස 03 සිට 11 වන දින දක්වා පවත්වා අවසන් කරන්නට සංවිධාකයින් හට හැකි විය. 

එහි දී ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ අතර තරගාවලිය අවසානයේ ඔවුන් නැවතත් ඉන්දියාව වෙත පැමිණීමෙන් අනතුරුව පරීක්ෂාවට ලක්කොට නිරෝධායනය කරා යොමුකෙරුණේ නිරෝධායනයට ලක්කෙරුණු පළමු ඉන්දීය ක්‍රීඩා කාණ්ඩය ලෙස යි. 

කෙසේ නමුත් ජර්මනියේ Cologne නුවර දී එළඹෙන ජුනි මස 17 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ශූරතා තරගාවලිය අවලංගු කිරීමට කටයුතු කෙරිණි.  

හොකී

‘Coronavirus’ වසංගත තත්වය ව්‍යාප්ත වීමට පෙර ද ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නෙදර්ලන්තය සහ තවත් රටවල් ස්වල්පයක් හැරුණු කොට අනෙකුත් රටවල් වල හොකී ක්‍රීඩාව තරමක් අර්බුදකාරී තත්වයකට මුහුණ පා තිබුණි. 

ඒ අනුව ඉදිරිපෙළේ කණ්ඩායම් මුහුණ දෙන අර්බුද සහ මේ වන විට ලෝක හොකී සම්මේලනයේ (FIH) උද්ගතව ඇති තත්වයත් සමඟ හොකී ක්‍රීඩාවේ අනාගතය කෙසේ වේ දැයි අනුමාන කිරීම අපහසු වන නමුත් ඊට ඉදිරියේ දී ඉතා අපහසු කාලයක් එළඹෙනු ඇති බවට මත පළවී ඇත. 

මේ අතරතුර ඉන්දියාව සහ චීනය අතර පසුගිය මාර්තු මස 14 සිට 25 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා හොකී තරගාවලිය ද කල් දමන්නට තීරණය කෙරිණ. 

ක්‍රීඩාවේ නැවත ආරම්භය කෙසේ වෙයි ද?

“අපිට ‘Coronavirus’ වසංගතයේ අනතුරත් සමඟ ජීවත් වෙන්න සිදු වෙනවා,” බව පවසමින් Desai ප්‍රකාශ කර සිටින්නේ මෙම වසරට පෙර පැවති තත්වයට ක්‍රීඩා කටයුතුවලට ඉදිරියේ දී නැවතත් පැමිණීමට නොහැකි වන ඉඩකඩක් ද පවතින බවයි.

ඒ අනුව මේ හරහා කුඩා ක්‍රීඩාවන් වල මෙන්ම කුඩා ක්‍රීඩා තරගාවලිවල ද අවසානය ළඟා විය හැකි අතර විශ්ලේෂකයින් පවසා සිටින්නේ ප්‍රබල ක්‍රීඩා සන්නාමයන් වන IPL, Manchester United සහ NBA වැන්න මෙම තත්වය අවසානයේ විශාල බලපෑමකින් තොරව ඉදිරියට ඒමට සමත් වනු ඇති බවයි.

මේ පිළිබඳව Desai වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ අදාළ ක්‍රීඩා සංගම් සිය රටවල් වල රජයන් සමඟ ඉදිරිය පිළිබඳව සාකච්ඡා කර නිසා සැලැස්මක් සකසා ගැනීම නැවතත් යථාතත්වයට පැමිණීමේ පළමු පියවර විය යුතු බවයි. 

ඒ අනුව ක්‍රීඩාව නැවතත් යථාතත්වයට ගැනීමේ ක්‍රම දෙකක් පෙන්වා දෙන ඔහු එහි පළමු වැන්න ලෙස ඉදිරිපත් කරන්නේ ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගණ තුළට පැවැත්වීමට අවස්ථාව ලබා දී ඒවා තුළ සමාජ දුරස්ථභාවයට අදාළ සම්මතයන් පිළිපැදීමයි. 

කෙසේ නමුත් සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙම ක්‍රමය ප්‍රායෝගික නොවන බැවින් එය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොපවතින බවයි. 

ඒ අනුව Desai මෙහි දී පෙන්වා දෙන දෙවන ක්‍රමවේදය වන්නේ ඉදිරියේ දී මෙම තත්වය සම්පූර්ණයෙන් ම සමථයකට පත්වන තුරු ක්‍රීඩාංගණ තුළ ප්‍රේක්‍ෂකයින් රහිතව ක්‍රීඩා ඉසව් පැවැත්වීමයි. 

එහි දී නිවෙස් තුළට වී එම ක්‍රීඩා ඉසව් නරඹන ප්‍රේක්‍ෂකයින්ගේ එම අත්දැකීම ඉහළ නැංවීම සඳහා කෘතීම බුද්ධිය වැනි දියුණු තාක්ෂණයන් මෙන්ම නව විශ්ලේෂණ වැනි උපක්‍රම ද භාවිතා කිරීමට පියවර ගත  යුතු බව ඔහු මෙහි දී අවසාන වශයෙන් අවධාරණය කර සිටී. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<