Messi සාර්ථකයි; ආජන්ටිනාව අසාර්ථකයි; සෞදියට සවුදිය!

පාපන්දු ලෝක කුසලානය 2022

8275
FIFA World cup Day 03

2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තවත් තරග හතරක් ඊයේ (22) සහ අද (23) අලුයම (ශ්‍රී ලංකා වේලාවෙන්) නිමාවට පත්වුනා.

ප්‍රබල ආජන්ටිනාව පරදවා සෞදි අරාබිය ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වෙද්දී, ඕස්ට්‍රේලියාව පරදවා ලෝක ශූර ප්‍රංශය ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුනා.

එමෙන්ම දිනයේ පැවති අනෙක් තරග වූ ටියුනීසියා – ඩෙන්මාර්ක් සහ පෝලන්ත – මෙක්සිකෝ තරග ජය පරාජයෙන් තොරව අවසන් වුනේ ගෝල රහිතවයි.

ආජන්‍ටිනාව සහ සෞදි අරාබිය

Lusail Iconic ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ 7 වැනි මිනිත්තුවේ දී සෞදි ක්‍රීඩකයෙකු සිදු කළ වරදක් නිසාවෙන් ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වුනා.

එම දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම ලබා ගත් සුපිරි ක්‍රීඩක Lionel Messi පන්දුව ගෝලයේ වම් කෙළවරින් දැල වෙත එල්ල කරමින් තරගාවලියේ ගෝල ලබා ගැනීම ආරම්භ කළා.

එම අර්ධය තුළ තවත් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට ආජන්ටිනා ක්‍රීඩකයින් සමත් වූවත් එම ගෝල සියල්ල ක්‍රීඩක අනිසි ස්ථාන ගත වීම් නිසාවෙන් අවලංගු කළේ ආජන්ටිනා ප්‍රේක්ෂකයින්ගේ සතුට තාවකාලිකව නතර කරමිනුයි.

තරගයේ පළමු අර්ධයේ දී කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට සෞදියට හැකි වුනේ නැහැ.

ආජන්ටිනා ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කරමින් 48 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා කරමින් සිය කණ්ඩායම තරගයට ගෙන ඒමට Saleh Al Shehriට හැකි වුනේ පන්දුව ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයා සහ ගෝල රකින්නා පසු කරමින් ගෝලයට එල්ල කරමිනුයි.

එම ගෝලයේ උණුසුම පහව යාමටත් පෙර ක්‍රියාත්මක වූ Salem Al Dawsari 53 වැනි මිනිත්තුවේ දී පන්දුව ගෝලයේ දකුණු කෙළවරින් ගෝලය තුළට එල්ල කරමින් දෙවැනි ගෝලය වාර්තා කළා.

ගෝල ද්විතවයකින් පසුබෑමකට ලක් වීමෙන් පසුව ආජන්ටිනා ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීමට උත්සහයන් කිහිපයක්ම දැරුවත් සෞදි ගෝල රකින්නාගේ දක්ෂ ගෝල රැකීම නිසා එම අවස්ථා වැළකී ගියා.

ඒ සමඟින් ආජන්ටිනා කණ්ඩායමේ තරග 36ක අපරාජිත ආධිපත්‍ය බිඳ හෙළමින් තරගාවලියේ පෙරළිකාර ජයක් ලබා ගැනීමට සෞදි ක්‍රීඩකයින් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 01 – 02 සෞදි අරාබිය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • ආජන්ටිනාව: Lionel Messi 10’ (P)
  • සෞදි අරාබිය: Saleh Al Shehri  48’ , Salem Al Dawsari 53’

ඩෙන්මාර්කය සහ ටියුනීසියාව

Education City ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය අවසන් වුනේ දෙපිලටම ගෝල රහිතවයි.

තරගය ආරම්භ වී මිනිත්තු 24ක් ගත වෙද්දී ගෝලයක් වාර්තා කිරීමට ටියුනීසියා ක්‍රීඩක Issam Jebaliට හැකි වූවත්, එය ක්‍රීඩක අනිසි ස්ථාන ගත වීමක් ලෙස සලකා අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කළා.

එම ගෝලයෙන් පසුව ගෝල ලබා ගැනීමට දෙපිලටම පළමු අර්ධය අවසන් වන තෙක්ම අවස්ථාවක් හිමි නොවූ අතර එම අර්ධයේ පන්දු පාලනය අතින් ඉදිරියෙන් සිටියේ ඩෙන්මාර්කයයි.

පළමු අර්ධයේ සිදු වූ අඩුපාඩු මග හරවා ගනිමින් දෙවැනි අර්ධයට පිවිසීමට අපේක්ෂා කළ ඩෙන්මාර්ක ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේ දී පෙරට වඩා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළත්, ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔවුන්ට මග හැරුණා.

තරගයේ අවසන් අතිරේක (ආබාධ) කාලය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී දඬුවම් සීමාවට පැමිණි පන්දුවක් හිසින් ගෝලයට එල්ල කිරීමට ඩෙන්මාර්ක් ක්‍රීඩක Andreas Cornelius සමත් වූවත්, එය දක්ෂ ලෙස නවතාලීමට ටියුනීසියා ගෝල රකින්නාට හැකි වුනා.

ඒ අනුව මෙම තරගය ගෝල රහිතව අවසන් වුනේ තරගාවලියේ පළමු ජය පරාජයෙන් තොර තරගය ලෙසයි.

අවසන් ලකුණු තත්වය: ඩෙන්මාර්කය 00 – 00 ටියුනීසියාව


පෝලන්තය සහ මෙක්සිකෝව

ලෝක කුසලානය සඳහාම නිර්මාණය කළ සුවිශේෂී 974 ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ද ගෝල ලබා ගැනීමට කණ්ඩායම් ද්විත්වයටම හැකි වුනේ නැහැ.

තරග ආරම්භයේ සිටම තරමක ආධිපත්‍යක් රඳවා ගැනීමට මෙක්සිකෝ ක්‍රීඩකයින්ට හැකි වූවත්, පළමු අර්ධය තුළ ගෝල ලබා ගැනීමට ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදීමට පෝලන්ත ක්‍රීඩකයින්ට හැකි වුනා.

එම අර්ධය තුළ පෝලන්ත ක්‍රීඩකයින් ද ගෝල ලබා ගැනීමට කළ උත්සාහයන් අසාර්ථක වීම නිසා එම අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි.

දෙවැනි අර්ධයේ 58 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහර අවස්ථාවක් පෝලන්තයට හිමි වූ නමුත් එය එල්ල කිරීමේ වගකීම ලබා ගත් සුපිරි ක්‍රීඩක Robert Lewandowski හට එය සාර්ථක කර ගැනීමට නොහැකි වුනේ තරගයේ පෙරමුණ ගැනීමට තිබූ පහසු අවස්ථාවක් අපතේ යවමිනුයි.

අපතේ ගිය අවස්ථාවෙන් පසුව ද ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම මෙක්සිකෝ ගෝල රකින ක්‍රීඩක Guillermo Ochoaගේ කැපී පෙනෙන දස්කම් නිසා වැළකී ගියා.

තරගය අවසන් වන තුරුම ගෝලයක් ලබා ගැනීමට මෙක්සිකෝවට ද හැකියාවක් ලැබුණේ නැහැ,

අවසන් ලකුණු තත්වය: මෙක්සිකෝව 00 – 00 පෝලන්තය


ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව  

Al Janoub ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදවා ගෝල 4-1ක ජයක් ලබා ගැනීමට ලෝක ශූර ප්‍රංශයට හැකි වුනා.

වත්මන් ලෝක ශූරයින්ට තරග ආරම්භයේම පීඩනයක් එල්ල කරමින් ආරම්භ ගෝලය රැස් කිරීමට ඕස්ට්‍රේලයා ක්‍රීඩක Craig Goodwinට හැකි වුනේ තරගයේ නව වැනි මිනිත්තුවේ දී යි.

එම ගෝලයට පිළිතුරු ලෙස ක්‍රියාත්මක වූ ප්‍රංශ ක්‍රීඩක Adrien Rabiot තරගයේ 27 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ගෝල තත්වය සම කළා.

තරගයේ 32 වැනි මිනිත්තුව ගත වෙද්දී  Adrien Rabiot ලබා දුන් පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා පසු කරමින් ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායම පෙරමුණට රැගෙන ඒමට Olivier Giroudට හැකි වුනා.

වාසිදායක පළමු අර්ධයකින් පසුව දෙවැනි අර්ධයේ ඉහළ දස්කම් දැක්වූ ප්‍රංශය වෙනුවෙන් සුපුරුදු පරිදි ගෝලයක් රැස් කිරීමට Kylian Mbappeට හැකි වුනා. 68 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

එයින් සුළු මොහොතකට පසුව ක්‍රියාත්මක වූ Kylian Mbappe ලබා දුන් පන්දුවක් ගෝලය අසල සිට ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට Olivier Giroudට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ප්‍රංශය 04 – 01 ඕස්ට්‍රේලියාව

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • ප්‍රංශය: Adrien Rabiot 27’, Olivier Giroud 32’ & 71’, Kylian Mbappe 68’
  • ඕස්ට්‍රේලියාව: Craig Goodwin 9’

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<