තත්පර තුනක්, පැසිපන්දු තරගයක්, රන් පදක්කමක්

නොපෙරළු ඔලිම්පික් දිනපොත් (දෙවැනි කොටස)

285
Olympics

ශතවර්ෂ ගණනාවක් එපිටට ඇදී යන ඔලිම්පික් වංශ කතාවේ රසවත් සිද්ධීන් සෑහෙන ප්‍රමාණයක් අපට හමුවෙනවා. ඒ සමහර සිද්ධි ඔබ අහල තියනවා වගේම නැති වෙන්නත් පුළුවන්. ඉතින් අපි තීරණය කළා 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල අලලා එවන් සිදුවීම් ගොන්නක් “නොපෙරළු ඔලිම්පික් දිනපොත්” ලෙස ඔබ වෙත ගෙන ඒමට.

ඔලිම්පික් ඉතිහාසයේ පැසිපන්දු තරග ගැන කතා කරන තාක් කල්, බොහෝ දෙනෙකු 1972 මියුනික් ඔලිම්පික් අවසන් තරගය ගැන කතා කරනු ඇති. එය එතරම්ම ඉතිහාසයේ වඩාත්ම විවාදාත්මක හා සාකච්ඡාවට බඳුන් වූ පැසිපන්දු තරගවලින් එකක්.

1972 මියුනික් ඔලිම්පික් උළෙලට පැමිණෙන ඇමෙරිකා එක්සත් ජනපද පැසිපන්දු කණ්ඩායම, ඔලිම්පික් තරග 62ක් නොකඩවා ජයග්‍රහණය කර තිබුණා. ඔවුන්ගේ අනභිභවනීය වාර්තාව 1936 වසරේ ඔලිම්පික් ක්‍රීඩාවට පැසිපන්දු ක්‍රීඩාව හඳුන්වා දුන් වසර තරම් ඈතකට දිව යනවා. සත්‍ය වශයෙන්ම කිවහොත් ඔවුන් ඒ වන තෙක් කිසිවිටක දී ඔලිම්පික් උළෙලක දී තරගයක් පරාජය වී තිබුණේ නැහැ.

මියුනික් ඔලිම්පික් උළෙලට පැමිණි සෝවියට් රුසියානු පැසිපන්දු කණ්ඩායමත් සුළුවෙන් තැකිය හැකි කණ්ඩායමක් වුනේ නැහැ.

බොහෝමයක් දෙනා පුදුමයට පත් කරමින් අවසන් තරගයේ පළමු අර්ධය නිමා වන විට සෝවියට් රුසියානු කණ්ඩායම 26-21ක් ලෙස ඉදිරියෙන් සිටියා. ඇමරිකානු පැසිපන්දු රසිකයින් බලාපොරොත්තු වූවාට වඩා තියුණු තරඟයක් සෝවියට් රුසියානු කණ්ඩායමෙන් එල්ල වන බව සක්සුදක් සේ පැහැදිලි පෙනෙන්නට තිබුණා. 

කණ්ඩායම් දෙක අතර ලකුණු පහක පරතරය කෙමෙන් ලකුණු 10ක් දක්වා වර්ධනය වීමට පටන් ගත්තා. ඇමරිකානු කණ්ඩායමේ 63 වැනි ජයග්‍රහණය ඔවුන්ගෙන් ඈත්වන ස්වරූපයක් පෙන්නුම් කෙරෙමින් තිබුණා.

නමුත් ලෙහෙසියෙන් තරගය අත් හරින්නට ඇමරිකානුවන් සූදානමින් සිටියේ නැහැ.

තරගයේ අවසානයට එන්නට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමෙන් ලද දැඩි පීඩනය හේතුවෙන් සෝවියට් රුසියානු කණ්ඩායමෙන් තරගයේ ග්‍රහණය බුරුල් වන සෙයක් පෙනෙන්නට තිබුණා. 

එහි ප්‍රතිඵලය වූයේ නැවත වතාවක් ඇමරිකාව දෙසට තරගය නැඹුරු වීම. තරගයේ නිමාවට තත්පර දහයක් ඉතිරිව තිබිය දී  සෝවියට්වරුන් සහ ඇමරිකානුවන් අතර තිබුණේ එක් ලකුණක පරතරයක් පමණයි.

වචනයේ පරිසමාප්තියෙන්ම එය ඉතා තියුණු පැසිපන්දු තරගයක්.

ලකුණු 49-48ක් ලෙස තිබෙන අවස්ථාවක සෝවියට් රුසියානු කණ්ඩායමේ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් නිදහස් විදීම් දෙකක් ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමට ලැබෙනවා.

ඇමෙරිකානු ක්‍රීඩක ඩග් කොලින්ස් පළමු නිදහස් පහර සාර්ථක කර ගන්නවාත් සමඟ සෝවියට් රුසියානු කණ්ඩායම ‘හදිස්සි විවේකයක්’ ඉල්ලා සිටිනවා.

මේ අතර දී ම ඇමරිකානු ක්‍රීඩකයා දෙවැනි නිදහස් යොමු කිරීමත් පැස තුළට යොමු කරමින් ජයග්‍රාහී මාවතට ඇමරිකානු කණ්ඩායම රැගෙන එනවා.

ඇමරිකානුවන් උඩ පනිමින් තමන්ගේ රන් පදක්කම් ජයග්‍රහණය සමරන අතරතුර ‍රුසියානුවන් සිය දැඩි විරෝධය පළ කළේ තමන් ඉල්ලූ හදිස්සි විවේකය තමන්ට ලබා නොදුන් බවට චෝදනා කරමින්.

ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රීඩකයින් තමන්ගේ ජයග්‍රහණය සමරමින්. නමුත් ඔවුන්ගේ මේ සතුට වැඩි වේලාවක් තිබුණේ නැහැ.
ඡායාරූපය: AFP/Getty Images

ක්‍රීඩකයින්, ප්‍රේක්ෂකයින්, පුහුණුකරුවන් සියලුම දෙනා විශාල කෝලාහලයක් බවට අදාළ සිදුවීම පත් කරගෙන තිබුණා.

ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් ඇදී යන ගැටුම සමථයකට පත් කරන්නට නොහැකි තැන එවකට ජගත් පැසිපන්දු සම්මේලනයේ ලේකම් ආචාර්ය විලියම් ජෝන්ස් පිටියට පිවිසියා.

ආචාර්ය විලියම් ජෝන්ස්ගේ මතය වුනේ සෝවියට් රුසියානු කණ්ඩායමේ ඉල්ලීම සාධාරණ එකක් බව. එපමණක් ම නොවෙයි තරගය නැවතුණු වෙලාවේ සිට තත්පර දෙකක් ඔරලෝසුව පසුපසට කරකවා තරගය නැවත ආරම්භ කරන ලෙස ඔහු බලධාරීන්ට දැනුම් දුන්නා. ඒ අනුව තරගය නිමා කිරීමට තවත් තත්පර තුනක් ලැබුණා.

මේ අතරේ සෝවියට් රුසියානු කණ්ඩායම නැවත වතාවක් ඇමරිකානු දැල ආක්‍රමණය කළත් එය සාර්ථක වූයේ නැහැ. නැවත වතාවක් ඇමරිකානුවන් උඩ පනිමින් සිය ජයග්‍රහණය සමරන්නට වුකා. 

ඇමරිකාවට තවත් පැසිපන්දු රන් පදක්කමක්!

සියල්ල වෙනස් කරමින් මේ අවස්ථාවේ දී කියවුණේ නැවත ක්‍රීඩාව ආරම්භ කෙරුණ අවස්ථාවේ දී ආචාර්ය ජෝන්ස් උපදෙස් දුන් පරිදි ඔරලෝසුව තත්පර තුනක කාලයකට සකසා නොමැති බවක්.

ක්‍රීඩා පිටිය තුළ සිදු වන දේ ගැන මේ වන විට ඇමෙරිකානු ක්‍රීඩකයින් දැඩි ලෙස මැසිවිලි නගමින් සිටි ආකාරයක් දකින්නට ලැබුණේ.

තත්පර තුනක් සහිතව නැවත වරක් තරගය ආරම්භ කිරීමට විනිසුරුවරයාගේ සංඥාව ලැබීමත් සමඟම යුහුසුළුව ක්‍රියාත්මක වූ සෝවියට් රුසියානු ක්‍රීඩකයින් වහ වහාම ඇමරිකානුවන් ආක්‍රමණය කරන්නට පටන් ගත්තා.

ඇමෙරිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු අතරින් පන්දුව පැස තුළට යොමු කරගැනීමට සමත් වූ ඇලෙක්සැන්ඩර් බෙලොව් ලකුණු තත්ත්වය 51-50 ලෙස සනිටුහන් කරමින් රන් පදක්කම සෝවියට් දේශයට ලබා දෙන්නට සමත් වුනා.

සෝවියට් රුසියානු ක්‍රීඩකයින් ජයග්‍රහණය සමරමින්
ඡායාරූපය: Rich Clarkson/Time & Life Pictures/Getty Image

පරාජිත ඇමරිකානු එක්සත් ජනපද කණ්ඩායම ලිඛිතව ඉදිරිපත් කළ අභියාචනය විශේෂ ජූරියක් හමුවේ ප්‍රතික්ෂේප කෙරුණා. 

එම ජූරියෙන් බහුතරය සමන්විතව තිබුණේ කොමියුනිස්ට් රටවල්වලින් වීම ඇමරිකාවට අවාසියක් වූ බවයි කියවුණේ. විශේෂ ජූරියේ සිටි කියුබානු, පෝලන්ත සහ සෝවියට් රුසියානු නියෝජිතයන් ඇමරිකාවේ ඉල්ලීමට එරෙහිව සිය මනාපය පළ කළා. ඒ අනුව 3-2ක් ලෙස ඇමරිකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබුණා.

රිදී පදක්කම් ලාභීන් නැති ඔලිම්පික් වේදිකාව.
ඡායාරූපය: Bettmann/Corbis

ඉතිහාසයේ පළමු වරට පරාජයේ කටුක වේදනාව විඳ ගත් ඇමරිකානු එක්සත් ජනපද පැසිපන්දු කණ්ඩායම තමන් දිනා ගනු ලැබූ රිදී පදක්කම ද ප්‍රතික්ෂේප කරමින් ඉවතට ඇදී ගියා. පරාජිත ඇමරිකානු එක්සත් ජනපද කණ්ඩායම පදක්කම් ප්‍රදානෝත්සවයට පවා පැමිණියේ නැහැ.

ඉතාලියේ උපන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ආචාර්ය විලියම් ජෝන්ස් පසුකලෙක ප්‍රකාශ කළේ ” ඇමරිකානුවන් ඔවුන් හරි කියල හිතුවට, පරාජය ලබන හැටිත් ඉගෙන ගන්න ඕන.” යනුවෙන්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<