කාන්තා දිනය දා සංඝමිත්තා සහ ගුවන් ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ

186

’රටකි, දැයකි, ලොවකි ඇය’’ යන තේමාව පෙරදැරිව මාර්තු 08 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් ක්‍රීඩාවේ නියැලෙන කාන්තාවන් දිරිගන්වමින් ඔවුන් ඇගයීමට ලක්කිරීම වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලියක් සහ ඊට සමගාමීව ප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරගයක් ඊයේ (08) සංවිධානය කරනු ලැබීය.

මෙම තරගාවලිය සඳහා කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 06ක් සහභාගී වූහ.

තරගාවලියේ ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ සංඝමිත්තා කණ්ඩායම විසින් දිනා ගත් අතර, අනුශූරතාව ද දිනා ගනු ලැබුවේ ගම්පහ දිස්ත්‍රික්කය ම නියෝජනය කළ ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම විසිනි. තරගාවලියේ තෙවැනි ස්ථානය ටොරිංටන් ක්‍රීඩා සමාජය විසින් දිනා ගනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් අතර පැවති ප්‍රදර්ශනාත්මක තරගයේ ශූරතාව හිමිකර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වූ අතර, අනුශූරතාව  යුද හමුදා ක්‍රීඩිකාවන් සතු වුනා.

තරගාවලියේ ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථානය සඳහා කුසලාන සමඟින් පිළිවෙළින් රු. 25,000/-ක්, 20,000/-ක් හා රු.15,000/-ක් බැගින් සහ ප්‍රදර්ශනාත්මක තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් රු. 25,000/-ක් සහ අනුශූරතාව සඳහා මුදලින් රු. 20,000/-ක් බැගින් වූ මූල්‍ය ප්‍රදානයන් සමඟ කුසලාන ප්‍රදානය කිරීමත් සිදු විය.

තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් සඳහා මුදල් තිළිණ ලබා දීම හා දිස්ත්‍රික් තුන නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම් 06 සඳහා මූල්‍ය ප්‍රදානයන් ලබා දීමත් මෙහි දී සිදු විය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<