ශ්‍රී ලංකා යොවුන් පිළට ප්‍රථම එක්දින තරගයේ ඉලක්කය වරදියි

848
SL U19 vs SA U19

දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම් එක්කාසු කොට ගනිමින් පැවැත්වුනු තරග 10කින් සමන්විත තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (01) එතරම් වාසනාවන්ත දිනයක් නොවීය. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රථම තරගයට සහභාගි වූ ඔවුන්ට එහිදී කඩුලු 7ක පරාජයක් අත්විඳින්නට සිදුවූ බැවිනි.

සුපුරුදු ප්‍රහාරය කොදෙව්වන්ටත්, ශ්‍රී ලංකාවට තවත් ජයක්

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම…

අද ඕඩ්ශෝන් තණතිල්ල මතදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක අවිශ්ක ප්‍රනාන්දු තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයේදී සිදුකළ ආකාරයෙන්ම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එදා එම තීරණය සුපිරි ජයග්‍රහණයක් සඳහා හේතු වූවත් අද තරගයේ වාසනාව පැවතුනේ දකුණු අප්‍රිකානුවන් සතුවයි.

මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 214කට දැවී ගිය අතර ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා ලෙස ක්‍රිශාන් සංජුල ලකුණු 53ක් රැස් කළේය. සමස්ථයක් වශයෙන් මුල්පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගත්තත් ශ්‍රී ලංකාවේ මැදපෙළ ශක්තිය දරා සිටින කමිඳු මෙන්ඩිස් සහ ශම්මු අශාන් යන දෙදෙනාම ලකුණු නොලබාම දැවී යාම නිසා ශ්‍රී ලංකාවට නැවත හිස එසවීම අතිශයින්ම අපහසු විය. පන්දු යැවීමේදී රුවාන් ඩි ස්වාඩ්, ඇලෙක්ස් කොහෙන් සහ ලුතෝ සිපම්ලා කඩුලු 2 බැගින් බිඳ හෙලීය.

ලකුණු 215ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම තැති ගන්වමින් ඉනිමේ ප්‍රථම පන්දුවේදීම ජේස් ක්‍රිස්ටන්සන්ව දවා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිළේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක නිපුන් රංසික සමත් විය. තවත් පන්දුවාර කිහිපයක් ගතවෙද්දී ක්‍රියාත්මක වුනු ප්‍රවීන් ජයවික්‍රම තවත් කඩුලු 2ක් දවා ගත්තේ ශ්‍රී ලංකාවට නැවතත් තරගයට පිවිසීමට යම් අවස්ථාවක් උදා කරමිනි.

නමුත් කලින් තරගයේදී තම කණ්ඩායම විඳ දරාගත් අවමානය මෙම තරගයේදී ද හිමි වීමට ඉඩ නොදුන් රේනාඩ් වෑන් ටොන්ඩර් සහ මිචෙල් වෑන් බූරන් ලකුණු 169ක නොබිඳුණු සබඳතාවයක් නිර්මාණය කළේ දකුණු අප්‍රිකාව ජය කණුව පසු කරන තුරුම තම සටන අත් නොහරිමිනි. වෑන් ටොන්ඩර් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 89ක් රැස්කල අතර ඊට නොදෙවෙනි ආකාරයේ විශිෂ්ට ඉනිමක නිරත වුනු වෑන් බූරන් නොදැවී ලකුණු 92ක් රැස් කළේය.

ඒ අනුව පන්දුවාර 48ක් ගතවෙද්දී කඩුලු 7කින් තරගය පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු යෞවනයින් සමත් විය. තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැටුව ගිය මිචෙල් වෑන් බූරන්ට හිමිවිය. තරගාවලි ජයග්‍රහණයක් පිලිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජයගත යුතු දෙවැනි එක්දින තරගය අනිද්දා (03) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 49): ක්‍රිෂාන් සංජුල 53, විශ්ව චතුරංග 37, අවිශ්ක ප්‍රනාන්දු 26, ජෙහාන් ඩැනියෙල් 23, ලුතෝ සිපම්ලා 2/30, ඇලෙක්ස් කොහෙන් 2/37.

දකුණු අප්‍රිකා යොවුන් පිළ – කඩුලු 3ක් දැවී ලකුණු 215 (පන්දුවාර 48): මිචෙල් වෑන් බූරන් 92*, රේනාඩ් වෑන් ටොන්ඩර් 89*, වැන්ඩිල් මක්වෙටු 20, ප්‍රවීන් ජයවික්‍රම 2/52, නිපුන් රංසික 1/31.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<