“කවුරුහරි මාව හැප්පුවා” පූරන්ගේ අනපේක්ෂිත මතකය

4538
©dailymail.co.uk

නිකලස් පූරන්ව නොදන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු මේ මොහොතේ මිහිපිට සිටිය නොහැකිය. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 103කින් ලකුණු 118ක් රැස්කළේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ අතිරේක කඩුලු රකින්නෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වන පූරන් ය. මීට වසර 4කට පෙර ඔහුට සිදු වූ අනපේක්ෂිත සිදුවීම ගැන ඔබ දැන සිටියේ නම්, පූරන්ගේ වත්මන් ක්‍රීඩා ශෛලිය ඔබව විශ්මයට පත්කරන්නට තිබුණි.

ඔහුගේ දෙපා බිඳී ගොස් තිබුණි ©sportswallah.com

“මම පුහුණුවීම් වලින් පස්සේ වැරදි පාරක ගෙදර එමින් හිටියේ. කවුරුහරි මාව හැප්පුවා.” පූරන්ගේ නිජබිම වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ට්‍රිනිඩෑඩ් රාජ්‍යය එතරම් සාමකාමී බිමක් නොවේ. අපරාධකරුවන්, ස්ත්‍රී දූෂකයන් සහ පාතාල සාමාජිකයින්ගේ නොයෙක් ක්‍රියාකාරකම් වලට ප්‍රසිද්ධියක් උසුලන කොදෙව් දූපත් වලින් ජාත්‍යන්තර තලයට පැමිණීම පවා සුවිශේෂීය. ලෝක මට්ටමේ ක්‍රිකට් දස්කම් ඇති ක්‍රීඩකයන් වන්නට හැකියාව  ඇති බොහොමයක් දෙනා මේ වන විට ද එහි වෙනත් අපරාධ කටයුතු වලට සම්බන්ධ වී ජීවිතය ගැටගසමින් සිටියි. එහි මාර්ග අනතුරු ද බොහොමයකි. පූරන්, ඩේලි මේල් වෙබ් අඩවිය හරහා මෙසේ අවධි කර තිබුණේ එවන් මතකයකි.

“මට එච්චර මතකයක් නැහැ. කාරෙකේ හැප්පෙනකොටම මට ඇහැරුණා. පස්සේ ගිලන් රථයක් ඇවිත් මාව රෝහලට අරන් ගියා. මම ලොකු වේදනාවක හිටියේ. මට ඕන වුනේ ඔවුන් මගේ සිහිය නැති කරලා දාන එක විතරයි.”

“මම ඊළඟ දවසේ නැගිටිනකොට මගේ කකුල් දෙකම ආධාරක දෙකකින් තමයි තිබුණේ. ඒවා හිරිවැටිලා තිබුණේ. මට පොඩ්ඩක්වත් ඒවා තියෙනවා කියලවත් දැනුණේ නැහැ. මම රෝහලේ හිටපු දවස් 12ටම මම හිටියේ වේදනා නාශක ගනිමින්.”

ඒ වන විටත් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි පූරන් තම ක්‍රිකට් ක්‍රීඩා අනාගතය ගැන වෛද්‍යවරයාගෙන් විමසුවේය.

“වෛද්‍යවරයා කිව්වා මම නැවත ක්‍රිකට් ක්‍රීඩා කරන එක ගැන ඔහුට සහතිකයක් දෙන්න බෑ කියලා. මම නැවත හරියට දුවයි ද කියලවත් ඔහුට සහතිකයක් තිබුණේ නැහැ. මගේ බ්ලඩ් ප්‍රෙෂර් (රුධිර පීඩනය) එකත් වැඩි වුනා. මං හිටියේ කරදරෙන්. මම දෙවියන්ට යාච්ඤා කරමින් හිටියා. ඒකෙන් තමයි මම ජීවත් වුනේ.” ඔහු කියයි.

පූරන්ව ශල්‍යකර්ම දෙකකට ලක්කරනු ලැබීය. එකකින් ඔහුගේ වම් දණහිස් පොල්කටුවේ පිපිරීම ගැන ද අනෙකින් ඔහුගේ දකුණු වළලුකරේ බිඳීම ගැනද අවධානය යොමුකෙරිණි. දකුණු කකුල ඉදිමී තිබීම හේතුවෙන් එහි ශල්‍යකර්මය පළමු එකට පසුව සිදු විය.

ශල්‍යකර්මවලින් ඇතිවූ විශාල කැළල් ද සමඟින් ඔහුව රෝද පුටුවකට වැටුනේ දෙපා පුනරුත්ථාපනය වෙනුවෙන් මාස 06ක පමණ කාලයක් ගතවන නිසයි. ඒ වන විටත් විශාල ක්‍රිකට් බලාපොරොත්තු සමඟ පුහුණුවෙමින් සිටි යෞවනයෙකු වූ පූරන්ගේ මනස පහතට වැටිණි.

පිහි ඇනුමින් දිවි බේරා ගත් ටෙනිස් ශූරිය – පෙට්‍රා ක්විටෝවා

තම කුඩා පා පැදියෙන් ටෙනිස් පුහුණුවීම් වලට යන ඒ …………

“ප්‍රතිකාර වලට යද්දී මානසිකව ඒක ගොඩක් අමාරු වුනා. මුලදී මගේ මාංශ පේශී ගොඩක් දුර්වල වෙලා තිබුණේ. ඒ නිසා මුලින්ම මට මගේ  දණහිසේ මාංශ පේශී ශක්තිමත් කරගන්න වුනා. පස්සේ චිකිත්සකවරයාට ඒක නමන්න වුනා, මොකද ඒක නැමුණේම නැහැ. ඒක ලොකු වේදනාවක්.” ඔහු මතකය අවධි කරයි.

“ඒක හොඳම අත්දැකීමක් නොවුනත් ඒ අනතුර නිසා මම පුද්ගලයෙකු වශයෙන් සහ ක්‍රීඩකයෙකු වශයෙන් තවත් හොඳ වුනා. මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.”

ඔහු කෙතරම් දේවල් උගෙන ඇත්දැයි ඔබට 2019 ලෝක කුසලාන තරගාවලියේ ඔහුගේ පිතිකරණය දෙස නැරඹීමෙන් අවබෝධ කර ගත හැකිය. ශ්‍රී ලංකාවට එරෙහිව පීඩනය යටතේ ලකුණු 118ක් වාර්තා කළ ඔහුගේ ඉනිම නිමා නොවන්නට ඔවුන්ට ජය ගැනීමට පවා අවස්ථාවක් තිබුණි. ඒ ඔහුගේ මංගල එක්දින ශතකයයි.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව වේගවත් ශතකයක් වාර්තා කළේය.

“සමහර වෙලාවල් වලදී මං ක්‍රිකට් එච්චර ගණන් ගත්තේ නෑ. නමුත් දැන් මට ඕන හැම තරගයක්ම එන්ජෝයි කරන්න. මම ඉගෙන ගෙන තියෙනවා සිදු වෙන්න යන දේවල් කාටවත් කියන්න බෑ කියන එක.” තවමත් 23 හැවිරිදි වියේ පසුවන පූරන් මෙවන් අත්දැකීම් ප්‍රමාණයක් එක සිදුවීමකින් උගෙන ඇත්නම් එය ඉතා ප්‍රශංසනීය මෙන්ම ආදර්ශමත් වේ.

“මට නැවත ක්‍රීඩා කරන්න බැරි වෙයි කියලා හිතුණු හැමවෙලේම, මාව නැවත එතෙන්ට ගෙනියන්න පුළුවන් මගේම හිතටයි කියලා මම මට කියාගත්තා. ඒක මම විශ්වාස කළා.” ඔහු ඔහුව පමණක් නොව ඔහුගේ පෙම්වතිය සහ පවුල ද ඒ ගැන විශ්වාස කරන්නන් ලෙස පවත්වා ගන්නට කටයුතු කළේය. ඔහු කියා සිටියේ වයස අවුරුදු 21 දී තමන් බටහිර ඉන්දීය කොදෙව් ජාත්‍යන්තර කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බවයි.

2016 දී ඔහු බලාපොරොත්තු වූ අවස්ථාව පැමිණියේය. එහෙත් ඔහු බුද්ධිමත් විය යුතුව තිබුණි. කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍යව තිබුනේ 20-20 ක්‍රීඩකයෙකි.

ඔහු 20-20 ක්‍රීඩකයෙකුට වඩා හොඳ තාක්ෂණයක් ඇත්තෙකි.

“මගේ ඇඟ ඕවර 40කට විතර ලැස්ති වෙලා තියෙද්දී මට ඕවර් 50 තරග ක්‍රීඩා කරන්න ඕන කියලා මට කියාගන්න බැරි වුනා. ඉතින් මම බුද්ධිමත් තීරණයක් ගත්තා.”

“මම ශක්තිමත් විය යුතු වුනා. වෙනස් දක්ෂතා වලට පුහුණුවෙන්න වුනා වගේම ඒ කිකට් රටාවේ සාර්ථක වෙන්න සිදු වුනා.”

එහෙත් ඔහුගේ මීළඟ තීරණය එතරම් බුද්ධිමත් වූයේ නැත. දේශීය ක්‍රිකට් තරගාවලිය අත්හැර බංගලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලිය තෝරාගැනීම නිසා මාස 06ක තහනමක් ඔහුට හිමි වූයේ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයෙනි. එහෙත් ඉන්පසුව ඔහු යළිත් හරි පාරට වැටුනේය.

පසුගිය දෙසැම්බරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති T-10 තරගාවලියේ දී අතිසාර්ථක පිතිකරුවෙකු වූ පූරන් යෝක්ෂයර් කණ්ඩායම සමඟින් ද ගිවිසුමකට එළඹ ඇත.

ලොව විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු මෙතෙක් සාර්ථක පිතිකරුවෙකු බව ඔප්පු කොට ඇත. ප්‍රදර්ශනාත්මක දස්කම් වලට දක්ෂ බටහිර ඉන්දීය කොදෙව්වන් අතුරින් ඔහු ද එක් අයෙකි. කොදෙව් ජාන වල බලයෙන් පිටියෙන් පිටතට පහරක් එල්ල කිරීම ඔහුටද කජු කනවාක් මෙන් පහසු ය.

උස, හැඩිදැඩි වේගපන්දු යවන්නන් සමඟින් 2019 ලෝක කුසලානයට දැවැන්ත ආරම්භයක් ලබාගත්තත් කොදෙව්වන් තරගාවලියෙන් ඉවත් විය.

Video – ක්‍රිකට් තුන් ඉරියව්වේ සදාකාලික විශිෂ්ටයා – Garfield Sobers

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, තනිවමත් ක්‍රීඩකයන් තිදෙනෙකි…

“අපේ ක්‍රීඩකයෝ අනෙකාව සතුටු කරන්න කැමතියි. හැමෝටම ’80 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කරපු විදියේ ලක්ෂණ තියෙනවා. අපට ඕන ඒ ප්‍රචණ්ඩ බවින් ඉදිරියට යන්න.”

ලෝක කුසලානයෙන් ඉවතට විසිවුවද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සන්නාමයට ආදරය දක්වන ඔබ අප සැමදෙනා ද පතන්නේ ඒ ප්‍රචණ්ඩ කොදෙව් ක්‍රිකට් කලාව නොමැරී පවතීවා යන්න යි..

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<