ලෝක වාර්තා රැල්ලට තිත තබමින් ධාවන ශූරයා දිවියට සමු දෙයි!

World Athletics 2024

114
World Athletics 2024

පිරිමි මැරතන් ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ජාතික Kelvin Kiptum හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෑතකාලීන ව ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත් කැපී පෙනෙන ම ධාවකයකු ලෙස කරළියට පැමිණි Kiptum පසුගිය වසරේ ඔක්තෝබර් මස 08 වැනි දා සහභාගී වූ චිකාගෝ මැරතන් තරගයේ දී පැය 02 තත්පර 35ක කාලයක් තුළ සිය ඉසව්ව නිම කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

එම මැරතන් තරගය ඔහු ජාත්‍යන්තර වශයෙන් සහභාගී වූ තෙවන මැරතන් තරගය වූ අතර, එහි දී ඔහු පිහිට වූ ලෝක වාර්තාව පසුගිය පෙබරවාරි 06 වැනිදා World Athletic විසින් නිල වශයෙන් තහවුරු කළා.

නමුත් අවාසනාවන්ත ලෙස මෙයින් පසු ඔහුව නැවතත් කිසිඳු අන්දමකින් ජීවමාන ව දැක බලා ගැනීමේ අවස්ථාව ලෝකයට අහිමි ව යනු ඇති.

ඊයේ (11) රාත්‍රියේ බටහිර කෙන්යාවේ නගර දෙකක් අතර මාර්ගයක දී සිදු වූ මෝටර් රථ අනතුරක් නිසා Kiptumගේ දිවි ගමන නිමා වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහි දී Kiptum විසින් රථය ධාවනය කරමින් සිට ඇති බවත්, ඔහුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවත් එරට පොලිසිය විසින් වාර්තා කරනවා. මෙම අනතුරින් වාහනයේ ගමන් ගත් ඔහුගේ අනෙක් ගමන් සගයකු සහ දීර්ඝ කාලීන පුහුණුකරු වූ රුවන්ඩා ජාතික Gervais Hakizimana ද එතන දී ම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව මෝටර් රථයේ තවත් කාන්තාවක් ද සිට ඇති අතර, ඇය අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුරින් මියගිය Kiptumගේ පුහුණුකරු ද හිටපු මීටර් 3000 බාධක දිවීමේ ධාවකයකු වන නතර, මිය යන විට ඔහු 36 හැවිරිදි වියේ පසු වුනා.

2020 වසරේ දී මෙම යුගලයේ එක් වීම සිදු වී ඇති අතර, ඉන් පසුව Kiptum සිය ධාවන ජීවිතයේ හිණිපෙත්ත කරාම කෙමෙන් ළඟා වීමට ද සමත් වුනා.

මිය යන විට 24 වැනි වියේ පසු වූ Kelvin Kiptum සිය පළමු ජාත්‍යන්තර මැරතන් තරගය ලෙස 2022 වසරේ දෙසැම්බර් මස 04 වැනි දා පැවැත්වුණු Valencia මැරතන් තරගයට සහභාගී වූ අතර, එහි දී ඔහු 02.01.53ක කාලයක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මෙය මංගල මැරතන් තරගයක දී ක්‍රීඩකයකු විසින් වාර්තා කළ ලොව හොඳම කාලය ලෙස තවමත් වාර්තාවල සටහන් වී තිබෙනවා. එමෙන්ම එය එවකට එය ලොව සිව් වැනියට හොඳම ඉසව් නිමි කාලය ලෙස ද සටහන් වුනා. (දැනට එය ලොව හොඳම ඉසව් නිමි කාල අතරේ හත් වැනි ස්ථානයේ රැඳෙනවා.)

එයින් පසුව ඔහු විසින් සිය දෙවැනි මැරතන් තරගය ලෙස 2023 අප්‍රේල් මස 23 වැනි දා ලන්ඩන් මැරතන් තරගයට සහභාගී වූ අතර එහි නිමි කාලය සටහන් වුනේ 02.01.25ක් ලෙසයි. එය එවකට ලොව දෙවැනියට හොඳම ඉසව් නිමි කාලය ලෙස ද සටහන් වුනා.

මෙයින් පසුව සිය තෙවන මැරතන් තරගය ලෙස පසුගිය ඔක්තෝබර් 08 වැනි දා චිකාගෝ මැරතන් තරගයට සහභාගී වූ Kiptum විසින් පිරිමි මැරතන් ඉසව්වක් සඳහා පෙර පැවති ලෝක වාර්තාව තත්පර 34කින් ඉදිරියට ගෙන ඒමට සමත් වූ අතර, මෙම ඉසව්ව පැය දෙකයි එක් මිනිත්තුවකට අඩු කාලයක් තුළ නිමා කළ ලොව පළමු සහ එකම පුද්ගලයා බවට පත් වීමට ද සමත් වුනා.

චිකාගෝ මැරතන් තරගයෙන් පසුව Kiptum නැවත තරග බිමට පිවිසීමට නියමිත ව තිබුණේ එළඹෙන අප්‍රේල් මාසයේ දී වන අතර, එහි දී පැය දෙකේ සීමාව තරණය කිරීම ඔහුගේ එකම අභිප්‍රාය වී තිබුණා.

මෙම දක්ෂතා නිසා 2023 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයාට (පිරිමි මාර්ග ධාවනය සඳහා) හිමි සම්මානය ජයග්‍රහණය කිරීමට ද ඔහු සමත් වුනා.

එමෙන්ම මේ වන විට පිරිමි මැරතන් ඉසව්වෙන් වාර්තා වී ඇති හොඳම ධාවන කාල හතෙන් තුනක ම අයිතිය හිමි වී තිබෙන්නේ Kiptum හටයි.

නමුත් නැවතත් කිසිඳු දිනෙක Kelvin Kiptum ධාවන පිටියේ දී දැක ගැනීමට ප්‍රේක්ෂකයින් හට අවස්ථාවක් නොලැබෙණු ඇති.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

BBC සහ World Athletics ඇසුරිනි.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<