ගෙවුණු දවස සැප්තැම්බර් 08 – පාසල් ශූරතාවය ඉසිපතනයට

409

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ඉන්දීය කාන්තාවෝ විශේෂ තරගාවලියකට මෙරටට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග තුනකින් හා විස්සයි විස්ස ක්‍රිකට් තරග පහකින් සමන්විත කාන්තා ක්‍රිකට් තරගාවලියක් සැප්තැම්බර් මස 11 වැනිදා සිට 25 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් සමඟින් පමණක් තරග කිරීම වෙනුවෙන් මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර ඉන්දීය කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානයේ පසුවෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම එහි 8 වන තැන පසුවේ.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා – ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියට සියල්ල සූදානම්


රග්බි –

ඉසිපතන විද්‍යාලය ශූරතාවය දිනා ගනී

“NSBM Green 7s” වයස අවුරුදු 21න් පහළ පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (08) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. එම තරගාවලියේ ශූරතා කුසලානය දිනා ගන්නට ලකුණු 47-07ක් ලෙස විද්‍යාර්ථ විද්‍යාලය පැරද වූ ප්‍රබල ඉසිපතන විද්‍යාලය සමත් විය.

තරගාවලියේ පළඟ, බඳුන හා පලිහ කුසලාන සාන්ත ජෝසප් විද්‍යාලය, මහනුවර සුමංගල විද්‍යාලය  හා කොළඹ ආනන්ද විද්‍යාලය දිනා ගන්නා ලදි.

ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව පාසල (NSBM) විසින් සංවිධානය කළ මෙම තරගාවලිය, කාණ්ඩ 4ක් යටතේ A, B, C, හා D ලෙස පැවැත්විය. කාණ්ඩ වටය ලීග් ක්‍රමයට පැවතුණු අතර ඉන් මුල් ස්ථාන ගත් පාසල් පිළිමළුන් පිටු දැකීමේ වටය සඳහා මුහුණ දුන්හ.

සම්පූර්ණ වාර්තාව: ඉසිපතනය සත් සාමාජික ශූරතාව දිනා ගනිති


දැල්පන්දු –

දැල්පන්දු ක්‍රීඩිකාවෝ අවසන් මහා සටනට

ආසියානු දැල්පන්දු පිටියේ සිය බල පරාක්‍රමය නැවත විදහා දක්වමින් ලකුණු 55-46ක් ලෙස හොංකොං කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 11 ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ඊයේ (8) සමත් විය. තරගාවලිය සිංගප්පූරුවේ OCBC ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පළමු වටය දී සිංගප්පූරුව 74-61ක් හා පසුගිය වසරේ ශූරියන් වූ මලයාසියාව ලකුණු 62-59ක් ලෙස පරාජය වූ අතර කාණ්ඩ මට්ටමේ සිය අවසන් තරගයේ දී ඔවුන් හමුවේ හොංකොං කණ්ඩායම ලකුණු 71-48ක් ලෙස පරාජය විය.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හොංකොං පෙරළා අවසන් සටනට

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්