හයිද්‍රාබාද් ප්‍රබලයින්ට එරෙහිව දිල්ලියෙන් පෙරළිකාර ජයක්

1118
Sunrisers Hyderabad v Delhi daredevils

කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමඟ නිමාවුණු තරගයක් අතරතුර දී තම අයි.පී.එල්. ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාව (67) වාර්තා කර ගත් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිළ නැවත අළු ගසා දමා නැගී සිටිමින් ප්‍රබල සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කිරීමට ඊයේ (02) දිනයේ සමත් විය. ඒ සන්රයිසර්ස් පිළ ලබා දුන් ලකුණු 186ක දැවැන්ත ඉලක්කය සාර්ථකව හඹා ගොස් කඩුලු 6ක ජයක් තහවුරු කර ගනිමිනි.

ස්ටෝක්ස්ගේ ශතකය නිසා පූනේ පිළට අනපේක්ෂිත ජයක්!

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (01) පැවති තරග දෙකම අවසන් පන්දු වාරයේ පස්වැනි පන්දුව දක්වාම ඇදී ගිය..

කාසියේ වාසිය දිනා ගත් දිල්ලි වැඩ බලන නායක කරුන් නයර් තමන්ගේ බල කොටුව වන ෆෙරෝ ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව හයිද්‍රාබාද් කණ්ඩායමට හිමි කර දුන්නේය. ඒ අනුව ඉනිම ඇරඹූ ඩේවිඩ් වෝනර් සහ ශිකර් ධවාන් පළමු කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගූහ. පවර්ප්ලේ පන්දු වාර 6 තුල දී වේගවත් පිතිකරණයක යෙදුණු ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 66කි.

කලින් තරගයේ දී සුපිරි ශතකයක් (126) වාර්තා කළ ඩේවිඩ් වෝනර්ගේ පිත්තෙන් ඊයේ දිනයේ ලකුණු 30ක් ගලා ආවේය. ඒ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟිනි. ශිකර් ධවාන් පන්දු 17 දී ලකුණු 28යි. හයිද්‍රාබාද් ඉනිමේ අවසන් පන්දු වාර 8 තුල දී දිල්ලි පිතිකරුවන්ට දරුණු ලෙස පහර දුන් යුවරාජ් සිං හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 70ක් රැස් කළේය. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට වැයවුනේ පන්දු 41ක් පමණි. අනෙක් අන්තයේ සිටි මොයිසස් හෙන්රිකස් නොදැවී ලකුණු 25ක් ලබා ගනිමින් හයිද්‍රාබාද් ලකුණු පුවරුව 185ක් දක්වා ඔසවා තැබීමට සමත් විය. පන්දු යැවීමේ දී මොහොමඩ් ශමි කඩුලු 2කට හිමිකම් කීවේය.

ඒ අනුව දිල්ලි පිළට මෙම තරගය ජය ගැනීමට නම් ආරම්භක පන්දු වාරයේ සිටම ලකුණු 9කටත් වඩා වැඩි වේගයකින් ලකුණු රැස් කිරීම අනිවාර්ය විය. එය නිරන්තරයෙන් සිහියේ රඳවා ගත් දිල්ලි ආරම්භක පිතිකරණ යුගලය මුල් කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 40ක් එක් කළහ. යොවුන් ක්‍රීඩක සන්ජු සැම්සන් පන්දු 19කින් ලකුණු 24ක් රැස් කරද්දී අනෙක් අන්තයේ සිටි නායක කරුන් නයර් පන්දු 20කින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් විය. ජයග්‍රහණයක් පිළිබඳ සිහින පොදි බඳිමින් සිටි හයිද්‍රාබාද් පිළට මුල් වරට පීඩනය ගෙන දුන් ඔහුගේ වේගවත් ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 2කින් හැඩවිණි.

මෙවර තරගාවලියේ දක්ෂතා අතර සිටි රිශාබ් පන්ට් ලකුණු 34ක් ද, ශ්‍රෙයාස් අයර් ලකුණු 33ක් ද ලබා ගනිමින් දිල්ලි ඉනිම ගොඩ නැගීමට සහය වූහ. විශේෂත්වය වන්නේ දිල්ලි පිතිකරුවන් කිසිවෙකුත් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කර නොගත්තත් කණ්ඩායමේ සෑම පිතිකරුවෙකුම අවශ්‍ය ලකුණු වේගය කෙරෙහි සැලකිලිමත් වෙමින් වේගවත්ව පිතිකරණයේ යෙදීමයි. දිල්ලි පිළට මෙවන් දැවැන්ත ඉලක්කයක් හඹා යන්නට හැකියාව ලැබුණු සැඟවුණු රහස එය බවට පත්විය.

තරගයේ අවසන් කොටසේ දී පිත්ත අතට ගත් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කුරේ ඇන්ඩර්සන් නොදැවී ලකුණු 41ක් රැස් කරමින් හයිද්‍රාබාද් ජය උදුරා ගන්නට සමත් විය. පන්දු 24ක් පමණක් වැයවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. තරගය නිමාවන තුරුම අනෙක් අන්තය රැක ගෙන සිටි ක්‍රිස් මොරිස් පන්දු 7 දී නොදැවී ලකුණු 15ක් රැස් කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට මෙම තරගයේ දී පිතිකරණයේ යෙදීමට හෝ පන්දු යැවීමට අවස්ථාවක් උදා නොවීය.

තරගයේ වීරයා සම්මානය දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශමිට හිමි විය. ඉන්දියන්ස් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුසලතා පූර්ණ කණ්ඩායම් දෙකක් වන කල්කටා නයිට් රයිඩර්ස් සහ රයිසින් පූනේ සුපර්ජයන්ට් අතර පැවැත්වෙන උණුසුම් තරගය අද රාත්‍රි 8ට ඊඩ්න් ගාර්ඩ්න් හිදී ආරම්භ වීමට නියමිතයි. මෙම කණ්ඩායම් දෙකම මෙවර තරග වාරයේ විස්මිත ජයග්‍රහණ අත්පත් කර ගත් විශිෂ්ට කණ්ඩායම් දෙකක් වන බැවින් තරගයේ අවසන් ප්‍රතිඵලය කල් තබා අනුමාන කිරීම ඉතාමත් අසීරු වී ඇත.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් – කඩුලු 3ක් දැවී ලකුණු 185 (පන්දුවාර 20): යුවරාජ් සිං 70*, ඩේවිඩ් වෝනර් 30, ශිකර් ධවාන් 28, මොයිසස් හෙන්රිකස් 25*, කේන් විලියම්සන් 24, මොහොමඩ් ශමි 2/36, අමිත් මිෂ්ර 1/23.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – කඩුලු 4ක් දැවී ලකුණු 189 (පන්දුවාර 19.1): කුරේ ඇන්ඩර්සන් 41*, කරුන් නයර් 39, රිශාබ් පන්ට් 34, ශ්‍රෙයාස් අයර් 33, සන්ජු සැම්සන් 24, මොහොමඩ් සිරාජ් 2/41, බුවනේශ්වර් කුමාර් 1/33.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට