“අපි තාමත් හොඳ කණ්ඩායමක්” – Mehidy

Bangladesh vs Afghanistan 2023

2834

ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබීය දී ම තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ (09) සමත් වුනා.

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ පැවැත්වුණු අතර එහි දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 142ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් වුනා. මීට අමතරව තරගාවලියේ පළමු තරගය ද ලකුණු 17කින් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ඇෆ්ගනිස්තානය විසිනුයි. 

ඊයේ පැවැත්වුණු තරගයේ දී ඇෆ්ගනිස්තානය විසින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 331ක් ලබා ගැනීමට සමත් වූ අතර එහි දී Rahmanullah Gurbaz විසින් ලකුණු 145ක් සහ Ibrahim Zadran විසින් ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 256ක සබඳතාවක් පිහිටුවීමට සමත් වීම ද විශේෂත්වයක්. 

නමුත් ලකුණු 332ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ඉනිම ලකුණු 189ක දී නිමා වූ අතර තරගයෙන් අනතුරුව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Mehidy Hasan විසින් ප්‍රකාශ කළේ ලකුණු 332ක ඉලක්කය හඹා යාමට තරමක් විශාල වැඩි බවයි. 

“ලකුණු 331 ටිකක් වැඩියි. අපිට මුලින් සංවිධානාත්මක ව පන්දු යවන්න බැරි වුනා. අපිට ඔවුන්ට ප්‍රහාර එල්ල කරන්න බැරි වුනාට ඔවුන් ඒක කළා. 

අපේ මුල්පෙළ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කරලා හොඳ සබඳතා පවත්වමින් තරගය තරමක් ගැඹුරට අරගෙන ගියා නම් අපිට බලාපොරොත්තුවක් තියා ගන්න තිබුණා. 

ඒක සිදු නොවුනු නිසා අපිට තරගය තරමක් අසීරු වුනා. අපි අමතර ලකුණු 30-40ක් පමණ ලබා දුන්නා. අපිට ඔවුන් ව ලකුණු 280-290 අතර රඳවා ගන්න පුළුවන් වුනා නම් තරගයේ වෙනසක් වෙන්න ඉඩ තිබුණා.” 

නමුත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලබා ගත් විශිෂ්ට සහ වේගවත් ආරම්භය නිසා ඔවුන් ලකුණු 300යේ කඩඉම පවා පන්දුවාර 46ක් තුළ පසු කර යාමට සමත් වුනා. 

කෙසේ වෙතත් මෙම පරාජය නිසා බංග්ලාදේශය එක රැයින් නරක එක්දින කණ්ඩායමක් බවට පත් නොවනා බවයි Mehidy විසින් සඳහන් කරන්නේ. 

“අපි මේ තරගාවලියේ දුර්වල ලෙස ක්‍රීඩා කළොත්, ඒ නිසා අපි නරක කණ්ඩායමක් බවට පත් නොවෙන බව මම මීට පෙර මාධ්‍ය හමුවක දී සඳහන් කළා.  

අපේ වාර්තා ඉතාම හොඳයි, ඒ වගේම අපි ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා. අපේ කණ්ඩායම් සංයෝජන හොඳයි, ඒ වගේ ම අපේ ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කරනවා.” 

මෙම පරාජය තම ක්‍රීඩකයින්ට සිය වැරදි හඳුනා ගනිමින් ඒවා නිවැරදි කර ගැනීමට අවස්ථාවක් ලබා දුන් බව Mehidy විසින් සඳහන් කරනවා. එමෙන්ම එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් එළඹෙන ආසියානු කුසලානය සහ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා හොඳින් මුහුණ දීම සිය අභිප්‍රාය බවයි Mehidy විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. 

දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලබන අඟහරුවාදා (11) දිනට යෙදී තිබෙන අතර, ඉන් පසුව දෙපාර්ශවය අතර තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි. 

එම තරග පිළිබඳව ද උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<