SABA Qualifiers 2026 ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙම මස අග දී

FIBA U18 Asia Cup, SABA Qualifiers 2026

74
SABA Qualifiers 2026

18න් පහළ පැසිපන්දු ආසියානු කුසලාන තරගාවලියට (FIBA U18 Asia Cup) සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන, දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීමට ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සූදානමින් සිටිනවා.

එළඹෙන මැයි 25 සිට 29 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය සඳහා තරග 12ක් ඇතුළත් වී තිබෙනවා.

මෙම තරගාවලිය කාන්තා සහ පිරිමි දෙ අංශයෙන් ම ක්‍රියාත්මක වීමට නියමිත අතර, පිරිමි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින සහභාගී වීමට නියමිතයි. එමෙන්ම මෙය එළඹෙන 18න් පහළ ආසියානු කුසලාන පැසිපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ක්‍රියාත්මක වන අතර, ආසියානු කුසලානය එළඹෙන අගෝස්තු 13 සිට 23 දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර කාන්තා සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින ක්‍රීඩා කිරීමට නියමිත අතර, කාන්තා ආසියානු කුසලානය (Division B) එළඹෙන ජුලි මස 13 සිට 19 දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙරට දී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකත්වය MAS Holdings විසින් දරනු ලබන අතර, Dialog Television සමඟ එක් වන Dialog Play App සහ ThePapare.com තරගාවලිය සඳහා නිල විකාශන අයිතිය හිමි කර ගෙන තිබෙනවා.

මීට අමතරව තරගාවලිය වෙනුවෙන් ඇමරිකානු විදේශ තානාපති කාර්යාලයේ විශේෂ සහය ද හිමි වී තිබෙන්නේ ඇමරිකාවේ 250 වැනි නිදහස් සැමරුම ඉලක්ක කර වෙනුවෙනුයි. එමෙන්ම ඊට අමතර වශයෙන් Wilson, Munchee, Lemonade, Vaaj Wellbeing, Mercantile Services Basketball Association, Nel Farms සහ Pegasus Reef Hotel වැනි ආයතන රැසක් මෙම තරගාවලිය වෙනුවෙන් සිය අනුග්‍රාහකත්වය ලබා දී තිබෙනවා.

මෙම තරගාවලියේ සියලු තරග Dialog Television හි ThePapare නාලිකාව හරහා HD තාක්ෂණය ඔස්සේ නැරඹීමට ඔබට හැකියාව ලැබෙනු ඇති අතර, ඊට අමතරව දේශීය මෙන්ම විදේශීය ඕනෑම ක්‍රීඩා රසිකයකුට Dialog Play App එක හරහා හෝ ThePapare.com වෙබ් අඩවිය හරහා මෙම තරගාවලිය සජීවී ව දැක බලා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති. මෙහි දී කැමරා 08ක දායකත්වය යටතේ ඉතා ඉහළ තත්වයේ විකාශනයක් තහවුරු කිරීමට ThePapare සූදානමින් පසු වනවා. එමෙන්ම තරගාවලිය පිළිබඳ සියලු යාවත්කාලීන කිරීම ඔබට සමීප කිරීමට ද Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>