තරග පාවාදීමේ නීති ඉන්දියාවේ ලොකු වෙනසක් කරාවි

318

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල පවතින අඳුරු පැතිකඩක් වන තරග පාවාදීම් විටින් විට මාධ්‍යවල අවධානය දිනා ගනී.

ක්‍රීඩාව තුල මෙම දූෂණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් විශේෂිත වූ ඒකකයක් පිහිටුවා ඇත. ඒ දූෂණ විරෝධී ඒකකයයි. මෙම ඒකකය විසින් ක්‍රීඩාව තුල සිදු වන දූෂණ හා වංචා පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන අතර ඒවා වැළැක්වීම සඳහා නිරන්තරයෙන් නව නීති රීති ගෙන ඒම ද සිදු කරයි. 

‘අත්නොහරින පුජාරා’ නැවත පිටියේ වැඩ අරඹයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ (Anti-Corruption Unit – ACU) විමර්ශන සම්බන්ධීකාරක ස්ටීව් රිචඩ්සන් ක්‍රීඩාව තුල පවතින දූෂණ වැළැක්වීම සඳහා ගෙන එන නව තීරණ ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරු පැතිකඩ වෙනස් කරනු ඇති බවට විශ්වාසය පල කර තිබේ. 

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව තරග පාවා දීම හා එයට සම්බන්ධ දූෂණ පිළිබඳව නරක නාමයක් ලබාගෙන තිබෙන ස්ථානයකි.

ස්ටීව් රිචඩ්සන් විශ්වාස කරන්නේ තරග පාවාදීම පිළිබඳව වන නව නීති සම්පාදනය ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂයෙන් ඉන්දියාවේ ක්‍රීඩාව වෙනස් කරන මඟක් වනු ඇති බවයි. ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා එය වඩාත්ම ඵලදායී පියවරක් වනු ඇති බවත් ඔහු කියා සිටියා.

යුවරාජ් සහ ශාස්ත්‍රි twitter හි හාස්‍යජනක සටනක

2021 සිට 2023 දක්වා වසර තුනක කාලයක් තුළ ඉන්දියාව ප්‍රධාන ජාත්‍යන්තර ඉසව් දෙකක් වන විස්සයි විස්ස ලෝක කුසලානය සහ 2023 දී එක්දින ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දැරීමට නියමිතය.

මෙම ගෝලීය තරගාවලි යනු මුදලට තරග පාවාදීමේ නිරත වන ජාවාරම්කරුවන්  වඩාත්ම කැමති සිදුවීම් වේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පවතින සීමිත සම්පත් සමඟින් එම තරගාවලි ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කිරීම විශාල අභියෝගයකි.

“ඉන්දියාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගෝලීය ඉසව් දෙකක් පැමිණ තිබෙනවා. ඒ 2021 දී විස්සයි විස්ස ලෝක කුසලානය හා 2023 දී ලෝක කුසලානය. මේ වන විට කිසිදු නීති සම්පාදනයකින් තොරව ඉන්දීය පොලිසිය සමඟ හොඳ සබඳතාවයක් ගොඩනඟාගෙන තියනවා. 

නමුත් ඒවා ක්‍රියාත්මක වීම පිළිබඳව තරමක ගැටලුවක් තියනවා. ජාවාරම්කරුවන් හා මෙම දූෂණ සඳහා සම්බන්ධ වන පුද්ගලයන් වැළැක්වීම සඳහා අපට හැකි සෑම දෙයක්ම අපි කරනවා. අපි ඒ සඳහා ලොකු මහන්සියක් ගන්නවා. ඔවුන්ට මේ ක්‍රියා කරන්න ගොඩක් අමාරු වටපිටාවක් අපි නිර්මාණය කරලා තියනවා” රිචඩ්සන් උපුටා දක්වමින් ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කළේය.  

“නමුත් මේ සඳහා වන නීති සම්පාදනය ඉන්දියාව තුල ක්‍රීඩාව වෙනස් කරන සාධකයක් වේවි. අප සතුව දැනට ක්‍රියාත්මක වන පරීක්ෂණ 50ක් පමණ තියනවා.  ඔවුන්ගෙන් බහුතරයකට ඉන්දියාවේ දූෂිතයින් සමඟ සම්බන්ධතා තියනවා. එබැවින් ඉන්දියාව විසින් තරග පාවාදීමේ නීති හඳුන්වා දෙනවා නම් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සිදු විය හැකි වඩාත්ම ඵලදායී ක්‍රියාමාර්ගය එය වේවි.” 

පසුගිය වසරේ දී මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ගෙන ආ නව නීති මඟින් තරග පාවාදීම් සඳහා සම්බන්ධ වුවහොත් වසර 10ක සිර දඬුවමක් ලබා දීමට තීරණය කළේය. ඒ අනුව මෙම දූෂණ අපරාධකරණය කළ දකුණු ආසියාවේ පළමු ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා කරන රට බවට  ශ්‍රී ලංකාව පත්විය.

‘ඉන්දියාවට තරග පාවාදීම් සඳහා දඬුවම් කිරීමට නව නීති අවශ්‍ය ද?’ යන මාතෘකාව පිළිබඳ ක්‍රීඩා නීති හා ප්‍රතිපත්ති සම්මන්ත්‍රණයකට සමගාමීව පැවති කමිටු සාකච්ඡාවක දී රිචඩ්සන් පැවසීය.

මෙම දූෂණ සඳහා ක්‍රීඩකයන්ට වඩා දූෂකයින් වළක්වනු ඇති බව රිචඩ්සන් අවධාරණය කළේය. මෙම තත්ත්වය ඉන්දියාව තුල රිසි සේ සැරිසරමින් පවතින බවත් ඔහු කියා සිටියා. 

ගේල් CPL හැර යයි

“මට ඇත්ත වශයෙන්ම ඉන්දීය පොලිසියට හෝ ඉන්දීය රජයට අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු පිළිබඳව තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඔවුන් තරග පාවාදීම් සඳහා සෘජුවම සම්බන්ධ පුද්ගලයන්. ඔවුන්ගේ චෝදනා බරපතළ චෝදනා. ඔවුන් නිරන්තරයෙන් ක්‍රීඩකයන් වෙත පැමිණ තරග පාවාදීම්වලට සම්බන්ධ කිරීමට උත්සාහ කරන අය” යනුවෙන් රිචඩ්සන් පැවසීය.

“ඉන්දියාවේ මේ දූෂණ සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක රාමුවක් නොමැතිකම නිසා මේ වන විට පොලිසියට කළ හැකි දේ ඉතා සීමිතයි. ඔවුන්ට මගේ මහත් ගෞරවය හිමි වෙනවා මොකද ඔවුන් ලොකු උත්සාහයක් ගන්නවා පවතින නීති එක්ක මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන්න. නමුත් යථාර්ථය නම් ඉන්දියාව තුල මේ පවතින නීති ක්‍රීඩාවේ සිදු වන දූෂණ සඳහාම සැකසූ ඒවා නොවෙයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<