ගේල් CPL හැර යයි

1212
Chris Gayle

බටහිර ඉන්දීය ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව ESPNCRICINFO වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණි.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාලව ක්‍රීඩකයන් ලැයිස්තුගත කිරීමට නියමිතව තිබුණේ ජුනි මස 24 වැනිදා නමුත් එයට දිනකට පෙර තමා පෞද්ගලික හේතූන් මත තරගාවලියෙන් ඉවත් වන බව ගේල් තම කණ්ඩායම වන St. Lucia Zouks හි පාලනාධිකාරියට දැනුම් දී ඇත.

මෙවර තරගාවලිය එළඹෙන අගෝස්තු මස 18 සිට සැප්තැම්බර් 10 දක්වා ට්‍රිනිඩැඩ් හා ටොබෑගෝ හිදී පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර ඇති අතර එයට තවමත් නිල අවසරය ලැබී නැත.

පිතිකරුවෝ සුපිරි ආරම්භයක් ගන්න ඕන – ෆිල් සිමන්ස්

ක්‍රිස් ගේල් මෙවර තරගාවලිය සඳහා Jamaica Tallawahs කණ්ඩායමේ සිට St. Lucia Zouks වෙත පැමිණ තිබුණි. 

ගේල්ගේ මෙම තීරණය තමන්ට ලැබුණු බව Zouks කළමනාකාරිත්වය නිල වශයෙන් තහවුරු කර ඇත. ගේල් ඔවුන් වෙත එවූ ඊමේල් පණිවුඩයේ පෙන්වා දී ඇත්තේ ඔහුට විවේකයක් අවශ්‍ය බවත්, තම පවුල සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බවත්ය.

Jamaica Tallawahs සමඟ ඇති වූ දරුණු ගැටුමකින් පසු ගේල් පසුගිය අප්‍රේල් මාසයේ දී Zouks සමඟ ගිවිසුම් අත්සන් කළේය. ඔහු Tallawahs සමඟින් 2013-16 සහ 2019 වසරවල ක්‍රීඩා කළ අතර  සාන්ත කිට්ස් සහ නෙවිස් කණ්ඩායම සමඟ 2017-18 වසරවල රැඳී සිටියේය. St. Lucia Zouks කණ්ඩායම ගේල් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ නියෝජනය කරන තුන්වැනි කණ්ඩායම වනු ඇත.

ගේල්ගේ මෙම හදිසි තීරණය ක්‍රීඩකයන්ගේ ලැයිස්තුගත කිරීම් සඳහා වූ Zouks සැලසුම්වලට ප්‍රබල බලපෑමක් එල්ල කර ඇත. එම ලැයිස්තුගත කිරීම Covid-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා රටවල් විසින් පනවා ඇති සංචාරක සීමාවන් හේතුවෙන් පළමු වරට online ක්‍රමවේදයකට ක්‍රියාත්මක වනු ඇත.

2020 වසර සඳහා වූ ක්‍රීඩක වෙන්දේසියේ දී ඇමරිකානු ඩොලර් 130,000 – 160,000 මිලකට සුවිශේෂී ක්‍රීඩකයකු ලෙස ගේල් මිල දී ගැනීමට Zouks කණ්ඩායම තීරණය කළේය. 

තවත් පාකිස්තානු ක්‍රීඩකයින් හත්දෙනෙක්ට කොරෝනා!

වසංගතය හමුවේ කැරිබියන් ප්‍රිමියර් ලීග් සංවිධායකයන් විසින් පසුගිය දා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. එලෙස කරන ලද වැටුප් කප්පාදුව ගේල්ගේ මෙම තීරණයට බලපා තිබේ ද යන්න තවමත් පැහැදිලි නැත. 

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙහෙයුම් කළමනාකරු මයිකල් හෝල් මහතා විසින් මෑතක දී සියලුම පාර්ශවකරුවන් වෙත යවන ලද නිල දැනුම්දීමක දී ඉහළ ආදායම් ලබන ක්‍රීඩකයින්ට 2019 කොන්ත්‍රාත්තුවට සාපේක්ෂව 30%ක් දක්වා වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ඉල්ලා තිබුණි. ගේල්ගේ ගෙවීම් සලකා බලන විය Zouks වෙතින් 30%ක කප්පාදුවකින් පසුව ද ඔහුට ඩොලර් 112,000ක් පමණ ලැබෙනු ඇත.

තරගාවලි සංවිධායකයන් විසින් කිසිදු තොරතුරක් හෙළි කර නොමැති වුවද තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හයේම ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය මෙම වැටුප් කප්පාදුව පිළිගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

ගේල්ට මේ වන විට 40 වියැති වන නමුත් ඔහුට වයස අවුරුදු 45 වන තෙක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව පවසා තිබේ. විස්සයි විස්ස තරගවල දී වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වුවද ගේල් පසුගිය වසර කිහිපය තුළ අඛණ්ඩතාව පවත්වා ගැනීමට පොරබදමින් සිටියේය.  

අවසන් වරට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ අවස්ථාවේ දී ඔහු තරග 10ක දී ලකුණු 243ක් රැස් කළේය. එයට එක් ශතකයක් ඇතුළත් විය. ගේල් 2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නොමැත.

මීට පෙර ක්‍රිස් ගේල් නියෝජනය කළ Jamaica Tallawahs කණ්ඩායම තම ගිවිසුම් කාලය අවලංගු වීමට පෙර තමා ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කිරීම සම්බන්ධයෙන් ගේල් එම කණ්ඩායමේ කළමනාකරණයට හා පුහුණුකරු වූ රම්නරේශ් සර්වාන් හට ප්‍රසිද්ධියේ චෝදනා කර තිබුණි. 

තම ක්‍රියාව තරගාවලියේ වෙළඳ නාමයට මෙන්ම බටහිර ඉන්දීය කොදෙව්වන්ට ද හානි පමුණුවනු ඇති බව ගේල් කැරිබියන් ප්‍රිමියර් ලීග් හි විනය කමිටුව හමුවේ පිළිගත් අතර සර්වාන්ට සහ Tallawahs කළමනාකාරිත්වයට එරෙහිව ඔහු පල කළ මුල් අදහස් වෙනුවෙන් පෙනී සිටියේය.

එම සිදුවීමත් සමඟින් ගේල් වටා පුළුල් කතාබහක් ගොඩනැගුණු අතර එම ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව ගැනීමෙන් පසුව ඔහුට විරුද්ධ විනය පරීක්ෂණ අවලංගු කෙරිනි. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයත් කොරෝනා ආක්‍රමණයට නතු වේ

ගේල්ගේ ඉවත් වීම පිළිබඳව අදහස් දක්වමින් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රකාශකයෙකු පැවසුවේ එම සංවිධායකයින් ගේල්ගේ තීරණය පිළිගත් බවයි.  

“පුද්ගලික හේතූන් නිසා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවීමට ක්‍රිස් තීරණය කර ඇති බව අපට දැනුම් දුන්නා. මෙම 2020 වසරේ ඉදිරි වැඩ සඳහා අපි ක්‍රිස්ට සුබ පතනවා. 2021 දී ඔහු නැවත කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙත පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

කෙසේ වෙතත් මෙලෙස තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ගේල් මාධ්‍ය වෙත තවමත් අදහස් දක්වා නැත. 

ESPNCRICINFO ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<