ඉන්දීය T20 කණ්ඩායමේ දැවැන්ත වෙනසක් ඇති වන ලකුණු

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

16100

ලබන වසරේ සිට ජ්‍යෙෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු නැවත ජාත්‍යන්තර විස්සයි විස්ස තරග බිමේ දී දැක ගැනීමට නොහැකි වනු ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කරනවා.

මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානයට තවත් වසර දෙකක පමණ කාලයක් ඉතිරිව ඇති අතර, එම කාලය තුල Hardik Pandyaගේ නායකත්වයෙන් යුතුව නවක කණ්ඩායමක් ගොඩ නැගීමට BCCI විසින් බලාපොරොත්තු වන බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

ඉන්දීය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන Rohit Sharma, Virat Kohli සහ Ravichandran Ashwin වැනි අයව ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාවෙන් කෙමෙන් ඈත් වී යනු ඇති බවත්, ඒ සමඟින් ඉතිරි වසර දෙක තුල දී ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ විශාල සංක්‍රාන්තියක් සිදු වීමට ඉඩ ඇති බවත් BCCI ආරංචි මාර්ග මගින් දැන ගැනීමට ලැබී තිබෙනවා.

ඒ අනුව Ravichandran Ashwin සහ Dinesh Karthik විසින් සිය අවසන් විස්සයි විස්ස තරගයට ඊයේ (10) ක්‍රීඩා කර ඇති බවත්, Virat Kohli සහ Rohit Sharma යන අයට තම විස්සයි විස්ස අනාගතය පිළිබඳ තීරණයක් ගැනීමට ඉඩ ලබා දෙන බවත් BCCI ආරංචි මාර්ග හරහා දැන ගත් කරුණු අනුව News 18 වෙබ් පිටුව විසින් වාර්තා කරනවා.

ඊයේ එංගලන්තය ඉදිරියේ ලද අන්ත පරාජයෙන් අනතුරුව ඉන්දීය පුහුණුකරු Rahul Dravid විසින් ශෝකයට පත් ඉන්දීය නායකයා ව සනසන අයුරු මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

“BCCI එක කාටවත් කියන්නේ නැහැ විශ්‍රාම ගන්න කියලා, ඒක පෞද්ගලික තීරණයක්. නමුත් ඔව් 2023 වසරේ තියෙන කාර්ය බහුල විස්සයි විස්ස තරග කාලසටහන එක්ක ගොඩක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් එක්දින සහ ටෙස්ට් තරග වෙනුවෙන් ඔවුන්ගේ අවධානය යොමු කරාවි.

ඔබට විශ්‍රාම ගැනීමට අවශ්‍යතාවක් නැති නම්, විශ්‍රාම ගත යුතු නැහැ. නමුත් ගොඩක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඊළඟ වසරේ සිට විස්සයි විස්ස තරග වල දී ඔබට දැක ගැනීමට නොලැබේවී,” PTI (Press Trust of India) වෙත BCCI මූලාශ්‍ර මගින් ඒ බව පවසා තිබෙනවා.

Rohit, Kohli වැනි ජ්‍යෙෂ්ඨයන් පිළිබඳ තීරණයක් ගැනීමට තවම ඉක්මන් වැඩි බව මේ පිළිබඳ PTI විසින් ඉන්දීය ප්‍රධාන පුහුණු කරුගෙන් විමසූ විට පවසා තිබෙනවා.

අවසන් පූර්ව තරගය ඉවර වුනාත් එක්කම වගේ මේ දේවල් ගැන කතා කිරීම ඉක්මන් වැඩියි, මේ ක්‍රීඩකයින් අපි වෙනුවෙන් හොඳට ම දක්ෂතා දක්වපු අය. ඔබ කිව්වා වගේ අපිට අවුරුදු දෙකක් තියෙනවා දේවල් කරන්න.

ඉතාම හොඳ තත්වයේ ක්‍රීඩකයින් පිරිසක් මෙතන ඉන්නවා. ඒ නිසා ඇත්තටම ඒ දේවල් ගැන කතා කරන්න හෝ හිතන්න මේක නෙවෙයි වෙලාව. අපිට ඉදිරියේ දී ඕන තරම් තරග තියෙනවා. ඒ නිසා අපි ඊළඟ ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම ගොඩ නගන්න උත්සාහ කරමු.”

මේ අතර ලබන වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට පෙර, ඉන්දීය කණ්ඩායම  එක්දින තරග 25කට පමණ සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අතර ඔවුන්ට නියමිතව ඇති විස්සයි විස්ස තරග ප්‍රමාණය 12ක් පමණයි.

එයින් තරග තුනක් ලබන සතියේ නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියේ දී පැවැත්වෙනු ඇත. ඒම තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම තුල වෙනස් කම් රැසක් සිදු වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර Ashwin, Dinesh Karthik , Lokesh Rahul යන අයගේ මෙවර ලෝක කුසලාන දක්ෂතා පිළිබඳ වද මේ වන විට ඉන්දීය මාධ්‍ය හරහා දැඩි ලෙස කතා බහට ලක් වෙමින් පවතිනවා.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

News 18 ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<