2021 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ දී

1013

තවදුරටත් පැතිරෙමින් පවතින නව කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් 2020 වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ‘ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය’ අත්හැර දැමීමට එහි විධායක කමිටුව තීරණය කර ඇත. එසේම එළඹෙන 2021 වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ද එහිදී තීරණය වී තිබීම සුවිශේෂී වේ.

“2020 ආසියානු ක්‍රිකට් කුසලානය අවලංගුයි” – ගංගුලි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් එම තීරණය ගෙන ඇත්තේ අද (09) දින වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති විධායක කමිටු රැස්වීමෙන් පසුවයි. 

මෙම නිවේදනය නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් වීමට පෙර ඊයේ (08) දිනයේ දී මේ වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවලංගු බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති වන සව්රව් ගංගුලි මහතා පවසා සිටියේ වික්‍රන්ත් ගුප්තා සමඟ පැවති Instagram සංවාදයක් අතරතුර දීය. 

එළඹෙන සැප්තැම්බර් මාසයේ දී මෙම ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන දේශපාලනික අර්බුදකාරී වාතාවරණය නිසාවෙන් ඉන්දියාව, පාකිස්තානයට නොපැමිණෙනු ඇත. ඒ නිසාවෙන් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ඔවුන්ගේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එම ඇරයුම පිළිගත් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එම සත්කාරකත්වය සඳහා සූදානම් බව පවසා සිටියේය. 

ඒ කෙසේ නමුත් නව කොරෝනා වසංගත තත්වය නිසා 2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවලංගු වන අතර 2021 සහ 2022 වසර සඳහා එහි සත්කාරකත්වයන් පිළිවෙලින් ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට හිමිව ඇත. 

කොදෙව්-එංගලන්ත කාසියේ වාසිය සිනහවකින් කෙළවර වෙයි

2008 වසරෙන් පසුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීමට පාකිස්තානයට අවස්ථාව උදාවී නොමැත. 2016 වසරේ දී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පළමු වරට විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ ක්‍රීඩා කළ අතර 2018 වසරේ දී එක්දින ක්‍රිකට් තරග ආකෘතියට එම තරගාවලිය පැවැත්විනි. 

ඊට අමතරව 2022 වසරේ චීනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩා තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා තිබෙන සූදානම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගන්නා ආකාරය පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්කර තිබේ. 

1984 වසරේ සිට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 1986, 1997, 2004 සහ 2010 යන වසර වලදී පැවති තරගාවලි සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දී ඇති අතර ඒ සත්කාරකත්වය ලබා දුන් අවස්ථාවන් හතරෙන් තුනක දීම ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<