අනූපහේ කෙන්ට් ගිය අරවින්ද!

14753
Getty Images

අරවින්ද ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ අනර්ඝතම පිතිකරුවෙක්. අරවින්ද කියන්නේ සහජ හැකියාව උපරිමයෙන්ම තිබූ ක්‍රීඩකයෙක්. නමුත් ඔහුගේ ආවේගශීලි, අපරික්ෂාරී ක්‍රීඩා රටාව නිසා අරවින්දට සෑහෙන විවේචනයන්ට මුහුණ දෙන්නට සිදු වුනා.

අරවින්ද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ 2003 වසරේ අද වගේ දවසක. ඉතින් අපි හිතුවා අරවින්දගේ ක්‍රිකට් ජීවිතය වෙනස් කළ කාලසමයක් ගැන කතා කරන්න.

1995 වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය වෙනුවෙන් කෙන්ට් කණ්ඩායම නියෝජනය කරන්නට ලැබීම අරවින්දගේ ක්‍රිකට් ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බව කියන්න පුළුවන්.

කාල් හූපර් ජාතික කණ්ඩායම සමග කාර්‍ය බහුල වෙයි.

අරවින්දට කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කරන්නට ලැබෙන්නේ ඔවුන්ගේ නිත්‍ය විදේශ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන කාල් හූපර්ගේ සහභාගීත්වය එවර තරගාවලිය වෙනුවෙන් අවිනිශ්චිත බව කෙන්ට් බලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුවයි.

කාල් හූපර් ඒ වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ඔවුන්ගේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට සූදානමින් සිටියේ.

අරවින්දට ඉහළ රෙකමදාරුවක්.

කෙන්ට් ප්‍රාන්ත බලධාරීන්ට අරවින්දව මුලින්ම රෙකමදාරු කරන්නේ එවකට කෙන්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඩැරල් ෆොස්ටර් විසින්.

පසුව එයට කෙන්ට් කණ්ඩායමේ නායක මාක් බෙන්සන්ගේත් අනුමැතියත් ලැබෙනවා.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්, ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී සිටින අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකික අපිට තරමක් නුහුරුයි, ආගන්තුකයි. නමුත් අරවින්ද කල්පනා කරනවා තමන් කෙරෙහි කෙන්ට් ප්‍රාන්තය තැබූ විශ්වාසයට උපරිම සාධාරණයක් කළ යුතුයි කියා.

මොහොමඩ් අසාරුඩීන් සහ සහීර් අබ්බාස්ගෙන් වටිනා උපදෙස්.

අරවින්ද මේ ආකාරයෙන් කල්පනා කරමින් ඉන්න වෙලේ ඔහුට මොහොමඩ් අසාරුඩීන් මුණගැහෙනවා. ඒ සාජා නුවර දී. 1995 පෙප්සි ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට නායකත්වය දීමට ඔහු සාජා නුවරට පැමිණ තිබුණා.

1992 වසරේ ඩාර්බිෂයර් ප්‍රාන්තය වෙනුවෙන් අසාරුඩීන් හොඳ ප්‍රාන්ත තරගාවලියක් නිමා කළා. ඔහු අරවින්දට උපදෙස් මාලාවක් දෙනවා.

අසාරුඩීන් අරවින්දට තවත් වැදගත් කාරණයක් පවසනවා. ඒ හැකි නම් සහීර් අබ්බාස් මුණගැහෙන ලෙස.

ආසියානු බ්‍රැඩ්මන් නම් විරුදාවලිය සහිත අබ්බාස් එංගලන්ත ප්‍රාන්ත ක්‍රීඩාවේ පතාක යෝධයෙක්. එමෙන්ම පාකිස්තානය වෙනුවෙන් අබ්බාස් එංගලන්ත බිමේ උසස් දස්කම් දක්වා තිබෙනවා. ඒ වන විට අබ්බාස් සිටියේත් සාජා නුවර.

සහීර් අබ්බාස්ගෙන් අරවින්දට එංගලන්ත තණතිලි ගැන ක්‍රීඩා කළ යුතු අන්දම ගැන ඉතාම වටිනා තාක්ෂණික උපදෙස් රාශියක් ලැබෙනවා.

අසාර්ථක ආරම්භයක්.

සාමාන්‍යයෙන් එංගලන්ත ප්‍රාන්ත තරග ඇරඹෙන සමය අධික ශීතලකින් යුක්තයි. එය ශ්‍රී ලංකාව මෙන් උෂ්ණාධික රටකින් ගිය අරවින්දට ලෙහෙසි කාරණයක් වුනේ නැහැ.

එමෙන්ම අරවින්ද ක්‍රීඩා කළ මුල් තරග කිහිපයේ දී ම ඔහු දැඩි ලෙස අසාර්ථක වෙනවා. මේ නිසාම බොහෝමයක් කෙන්ට් ප්‍රේක්ෂකයින් අරවින්ද දෙස බැලුවේ යහපත් ඇසකින් නොවෙයි.

අරවින්දගේ අසාර්ථකත්වය කෙන්ට් නායක මාක් බෙන්සන්ට ගෙන ආවේ විශාල පීඩනයක්. කෙන්ට් ක්‍රිකට් රසිකයින් බොහෝ දෙනෙකු අරවින්ද තෝරාගැනීම ගැන සැකයක් උපදවා ගෙන සිටියේ.

කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම ©Getty Images | Patrick Eagar

අරවින්ද, 1995 ප්‍රාන්ත තරග වාරයේ ක්‍රීඩා කළ පළමු තරග කිහිපය අතරතුර දී ම ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ දරුණු වාග් ප්‍රහාරයකටත් ලක් වෙනවා.

“එංගලන්ත ප්‍රාන්ත ඉතිහාසයේ දුටු දුර්වලම විදේශීය පිතිකරුවා ඔබයි” ඔහු පවසනවා.

මෙම වාග් ප්‍රහාරය, අපහාසය අරවින්දගේ මනස වඩාත් ශක්තිමත් කරනවා.

අරවින්ද වර්ණ පෙන්වයි.

එංගලන්ත තරග සමයේ මැද කොටසට ළඟා වන විට කෙමෙන් කෙමෙන් එංගලන්තයට හිරු රැස් පතිත වන්නට පටන් ගන්නවා. ඒත් සමගම අරවින්ද සිය සුපුරුදු පිතිකරණ රිද්මයට පැමිණෙනවා.

අරවින්ද 1995 එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ තරග 16ක දී ලකුණු 1781ක් රැස් කර ගන්නවා. එයට අගනා ද්විත්ව ශතක දෙකක් ඇතුළත්.

අරවින්ද ද සිල්වා සහ ග්‍රැහැම් කවුඩ්‍රි ඩාර්බිෂයර් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 368 ක සම්බන්ධතාවයෙන් අනතුරුව

1995 බෙන්සන් සහ හෙජස් කුසලාන සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් මහා තරගයේ දී අරවින්ද පන්දු 95කින් ලකුණු 112ක් රැස් කර ගන්නවා. ඒ ලැන්කෂයර් කණ්ඩායමට එරෙහිව. එය අතිශයින්ම මනස්කාන්ත ඉනිමක්. නමුත් කෙන්ට් ප්‍රාන්තය පරාජයෙන් ගලවා ගන්න අරවින්දගේ ඉනිමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

අරවින්ද මෙම ශතකය රැස් කරන අවස්ථාවේ ඔහුගේ දෙමාපියන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ නරඹන්නන් අතර සිටියා.

“මගේ දෙමාපියන් එංගලන්තයේ සිටි දවස් කිහිපයේ මගේ ද්විත්ව ශතකයක්, ශතකයක් මග හැරුණා.  ශ්‍රී ලංකාවට රැගෙන යාමට හොඳ මතකයක් ඉතිරි කරන්නට අනිවාර්යයෙන්ම හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්නට මම හිතා ගත්තා.”

අරවින්ද අවසන් මහා තරගයේ අගනා ශතකයෙන් අනතුරුව පැවසුවා.

හැඟීම්බර සමුදීමක්.

වෘත්තීයමය ක්‍රිකට් කණ්ඩායමක් වුවත් අරවින්දට සමුදීමට යෑමේ දී කෙන්ට් කණ්ඩායමේ සාමාජිකයින් දැඩි ලෙස හැඟීම්බර වූ බව පැවසෙනවා.

“අරී, මට ලොකු පරමාදර්ශයක් වුනා. අරවින්ද ආපහු යන්න ගමන් මළු ලෑස්ති කරගන්න වෙලාවේ එකිනෙකා වැළඳගනිමින් මුළු කෙන්ට් කණ්ඩායමම සෑහෙන හැඟීම්බර වුනා.”

කෙන්ට් කණ්ඩායමේ සහෝදර ක්‍රීඩක ග්‍රැහැම් කවුඩ්‍රි අරවින්ද ගැන කිව්වේ එහෙම.

ජාතික කණ්ඩායමේ මෙහෙවරට පාකිස්තානය බලා.

අරවින්ද කෙන්ට් ප්‍රාන්තයේ ක්‍රීඩා කරන අවසන් දින කිහිපය ගෙවෙන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සිටියේ පාකිස්තානයේ සංචාරයක නිරත වෙමින්.

සාර්ථක එංගලන්ත ක්‍රිකට් සමයක් නිමා කරමින් අරවින්ද මැන්චෙස්ටර් නුවරින් ගුවන් ගත වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පෙෂාවෝර් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට සටන් කරමින් සිටියා.

සිය නිත්‍ය උපනායකයා නොමැතිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සමඟ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් ලැබුවා.

දෙවැනි ටෙස්ට් තරගය ඇරඹුණේ ෆයිසලාබාද් නුවර දී. මෙම ටෙස්ට් තරගයේ මුල්ම ඉනිමේ අරවින්ද ලකුණු නොලබා දැවී ගියා. ඒ සක්ලේන් මුෂ්ටාක් නම් නවක පාකිස්තානු දඟපන්දු යවන්නා හමුවේ.

නමුත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී අරවින්ද අගනා ශතකයක් රැස් කර ගන්නවා. අරවින්දගේ සාමාන්‍ය අපි දකින ස්වභාවයට වඩා තරමක් ඉවසිලිමත් ඉනිමක්. මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානය පරදවා අනගි ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

කෙන්ට් ප්‍රාන්තය සමඟ තරග සමයක් ගත කිරීම තමාට ජාත්‍යන්තර තලයේ දී මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට ශක්තිය ලබා දුන් බව අරවින්ද පසුව ප්‍රකාශ කළා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<