ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් 5 වැනි ස්ථානයේ

377

දකුණු කොරියාවේ දී පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ දී ශූරතා කුසලානය සඳහා වූ අර්ධ අවසන් පූර්ව තරගය පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි අදියරේ දී ද පළඟ ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. ඒ අනුව මේ වන විට සත් සාමාජික රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව තවදුරටත් සීමිත වී ඇත.

ශ්‍රී ලංකාවට 5 වෙනි ස්ථානය

දකුණු කොරියාවේ දී පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළඟ ශූරතාවය සඳහා පැවති අවසන් තරගයේ දී…

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතා කුසලානය සඳහා වූ අර්ධ අවසන් පූර්ව තරගයේ දී හොං කොං කණ්ඩායම සමඟ තරග වැදුණු අතර එම තරගය ලකුණු 14-31ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට හොං කොං කණ්ඩායම සමත් විය.

එම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව දෙවන වරටත් තරගාවලියේ ශූරතා කුසලානය සඳහා වන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අසමත් විය.

කෙසේ නමුත් සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ 5 වෙනි ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගයේ දී මැලේසියානු කණ්ඩායම පරාජයට පත්කරමින් පළඟ ශූරතාවය දිනා ගනිමින් තරගාවලියේ දෙවැනි අදියර අවසන් කරන්නට සමත් විය.

ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයේ කිසිදු වෙනසක් සිදු නොවූ අතර ඔවුන් තවදුරටත් එහි 5 වෙනි ස්ථානයේ පසුවෙයි. තරගාවලියේ පළමු අදියරේ දී මෙන්ම දෙවන අදියරේ දී ද ලකුණු 5 බැගින් හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට හිමි කර ගෙන සිටින සමස්ත ලකුණු සංඛ්‍යාව 10කි.

දෙවැනි අදියර සඳහා සත්කාරකත්වය දැරූ දකුණු කොරියාව එහි දී අවසන් පූර්ව වටයේ දී හොං කොං කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර එහි දී ප්‍රබල ජපාන කණ්ඩායම පරාජයට පත්කරමින් දෙවැනි අදියරේ ශූරතාවය දිනා ගන්නට ඔවුන් සමත් විය. අවසන් තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 17-12ක් ලෙසයි.

ඒ අනුව අදියර 2ක් අවසානයේ ආසියානු සත් සාමාජික තරගාවලියේ ලකුණු සටහන මෙසේය;

Ranking Country 1st leg  2nd leg  Total

1        Japan            12         10         22

2       South Korea    8          12         20

3       Hong Kong    10           8          18

4       China             7           7          14

5       Sri Lanka       5            5         10

6       Philippines     4            2           6

7       Malaysia        2           4            6

8    Chinese Taipei  1            1            2

පසුගිය සති අන්තයේ දී දකුණු කොරියානු කණ්ඩායම වාර්තා කර ගත් ජයග්‍රහණයත් සමඟ තරගාවලිය මේ වන විට ජපානය, දකුණු කොරියාව සහ හොං කොං යන කණ්ඩායම් 3ටම විවෘතව පවතී.

කෙසේ නමුත් තරගාවලියේ සමස්ත ශූරතාවය හිමි කර ගනිමින් ලබන වසරේ දී පැවැත්වෙන සත් සාමාජික රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා ජපාන කණ්ඩායමට තරගාවලියේ 3 වෙනි අදියරේ දී අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් වේ.

කෙසේ නමුත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා දෙවැනි කණ්ඩායම බවට පත්වීමට දකුණු කොරියාව සහ හොං කොං කණ්ඩායම අතර ඉතා උණුසුම් තරගයක් පැවැත්වෙනු ඇත.

අදියර දෙකක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 10ක් පමණක් ලබා ගැනීමට සමත් වූ බැවින් ඔවුන්ට මේ වන විට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් නොමැති තරම් ය. එනිසා ශ්‍රී ලංකා කණ්ඩායමට කළ හැකි හොඳම දෙය වන්නේ සිය ස්ථානය සමස්ත 4 වෙනි ස්ථානය දක්වා ඉහළ නංවා ගැනීමට උත්සාහ දැරීම ය.

ඒ අනුව ඔක්තෝබර් මස 14 හා 15 දෙදින තුළ තරගාවලියේ 3 වෙනි අදියර කොළඹ දී පැවැත්වෙන අතර එහි දී සිය ක්‍රීඩාලෝලීන් ඉදිරියේ ඉහළ දස්කම් දැක්වීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා හොඳින් සූදානම් වීමට සිදු වනු ඇති බව නොඅනුමානය.    

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට