සුලෝහිත සංග්‍රාමයේ 116 වන දිගහැරුම සතිඅන්තයේ දී

116 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය

316
116th Kingswood-Dharmaraja Big Match

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ලෙසින් විරුදාවලිය ලත් ධර්මරාජ – කිංග්ස්වුඩ් මහා ක්‍රිකට් තරගය ටී. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් මෙම සතියේ දී පැවැත්වීමට නියමිත වනවා.

වසර 116ක ඉතිහාසයකට හිමිකම් කියන ධර්මරාජ – කිංග්ස්වුඩ් මහා ක්‍රිකට් තරගය මාර්තු 24 සහ 25 දෙදින මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ඔවුන්ගේ වසර 116ක පොහොසත් ඉතිහාසයට අනුව මෙම පාසල් දෙක අතර පැවති පළමු මහා තරගය 1893 දී පවත්වා තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාතේ පැරණිතම ක්‍රිකට් මහා තරගය බවට පත්වන්නේ ද මෙම සුලෝහිත සංග්‍රාමයයි.

සමාරම්භක තරගයේ දී ධර්මරාජ කණ්ඩායමේ නායකත්වය ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක හට හිමිව තිබූ අතර කිංග්ස්වුඩ් කණ්ඩායමේ නායකත්වය ඒ. ඊ. ස්පෙන්සර් වෙත හිමිව තිබුණා. එවකට ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ලෙස භාවිත කළ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවති බව ඉතිහාස වාර්තා තුල සටහන් වනවා.

>> Photos – Kingswood College vs Dharmaraja College | 116th Battle of the Maroons Hill Country – Press Conference

ඉන් අනතුරුව 1900 දශකයේ මුල් භාගයේ සිට මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයට මාරු කර ඇති අතර 2010 දී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත ගෙන යනු ලබනවා.

2011 වසරේ සිට අඛණ්ඩව ජයග්‍රහණ තුනක් වාර්තා කරමින් මහා තරගවල ආධිපත්‍යය පැතිරවීමට ධර්මරාජය සමත්ව සිටිනවා. කෙසේ වෙතත්, 2016/17 සහ 2018 යන වසර දෙකේ දී ම කිංග්ස්වුඩ් කණ්ඩායම පළමු ඉනිමේ ගෞරව දිනා ගැනීමට සමත් වුනා.

කිංග්ස්වුඩ් කණ්ඩායමේ අවසන් පූර්ණ ජයග්‍රහණය 1957 දී මොරිස් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් සටහන් වූ අතර එහි දී ඔවුන් කඩුලු 10ක පරතරයකින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනා. සුලෝහිත සංග්‍රාමයේ මෙතෙක් ක්‍රීඩා කර ඇති තරග 115ක දී ධර්මරාජය ජයග්‍රහණ 33ක් වාර්තා කර ඇති අතර කිංග්ස්වුඩ් කණ්ඩායම ජයග්‍රහණ 19ක් වාර්තා කර තිබෙනවා. එහි දී තරග 63ක් ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

2022/23 තරග වාරය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සැසඳීමක් කිරීම තරමක දුෂ්කර කාර්යයක් වන්නේ ධර්මරාජය 1 කාණ්ඩයේ ක්‍රීඩා කරන අතර කිංග්ස්වුඩ් කණ්ඩායම 2 කාණ්ඩයේ ක්‍රීඩා කරන නිසාවෙනි.

ධර්මරාජ විද්‍යාලය

පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසරු වන්නිනායක සුලෝහිත සංග්‍රාමයේ දී ධර්මරාජ විද්‍යාලයට නායකත්වය දීමට නියමිත වනවා. වර්තමානයේ දී ධර්මරාජයට හිමිව තිබෙන කුසලානය රැක ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වනවා.

ධර්මරාජ කණ්ඩායම පාසල් තරගාවලියේ දී මේ වන විට යහපත් දස්කම් දක්වා සිටිනවා. ධර්මපාල විද්‍යාලයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් ද, ත්‍රිත්ව කණ්ඩායම, සාන්ත පීතර කණ්ඩායම සහ සාන්ත ඇලෝසියස් කණ්ඩායම් වෙතින් පරාජයන් තුනක් ලබා ඇති ඔවුන්, මුහුණ දුන් තරග 15ක දී තරග 11ක් ම ජය පරාජයෙන් තොරව අවසන් කර තිබෙනවා.

පිතිකරණ අංශයෙන් පුලිඳු පෙරේරා ධර්මරාජ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වන අතර, ඔහු ලකුණු 1000 සීමාව පසුකරමින් ඉතා සාර්ථක තරග වාරයක් ක්‍රීඩා කරමින් සිටිනවා. ඔහු මෙම තරග වාරයේ දී ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් රැස්කර තිබෙනවා. ඔහුට අමතරව ඔනජිත් ද සිල්වා ලකුණු 500 සීමාවට ආසන්න ව සිටින අතර නිසල අබේරත්න ද ලකුණු 200 ඉක්මවා සිටිනවා.

ධර්මරාජ කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය මෙහෙයවන්නේ නායක තිසරු වන්නිනායක වන අතර ඔහු මේ වන විට කඩුලු 43ක් දවාගෙන දක්ෂ පන්දු යැවීමක නිරතව සිටිනවා. පුලිඳු පෙරේරා සහ නිසල අබේරත්න පිළිවෙළින් කඩුලු 32ක් සහ 29ක් දවා ගනිමින් ඔහුට මනා සහයෝගයක් ලබා දෙමින් සිටිනවා.

චම්පික සිරිවර්ධන ධර්මරාජයේ ප්‍රධාන පුහුණුකරු වන අතර අමරජීව දිසානායක ඔවුන්ගේ කණ්ඩායම භාර ආචාර්‍යවරයා වනවා. ඊට අමතරව සාලිය සමරවික්‍රම ක්‍රීඩා භාර ආචාර්‍යවරයා (POG) වනවා.

ධර්මරාජ සංචිතය: තිසරු වන්නිනායක (නායක), ඉසුරු පන්නල (කඩුළු රකින් ක්‍රීඩක), දුලාර බන්දුලසේන, පුලිඳු පෙරේරා, මලීෂ රාජකරුණා, ඔනජිත් ද සිල්වා, නිසල අබේරත්න, අරෝෂ මහගෙදර, නවීන් ජයවීර, රුසිරු බණ්ඩාර, දක්ෂිත මනුකල්ප, කලණ හේරත්, ටිරන් වික්‍රමරත්න, කවිඳු ගුණරත්න, තරිඳු වර්ණකුලගේ, හිරුන් හිරිගීගනගේ, චමත් බණ්ඩාර, ෂෙහාන් මාරසිංහ, ඉරූෂා ජයවර්ධන, දිනුක මොරගම්මන

කිංග්ස්වුඩ් විද්‍යාලය

කිංග්ස්වුඩ් කණ්ඩායම මෙවර සුලෝහිත සංග්‍රාමයට පිවිසෙන්නේ 1957 වසරෙන් පසු පළමු වරට ජයග්‍රහණයක් වාර්තා කිරීමේ බලාපොරොත්තුවෙන්. අමේෂ් රූපසිංහ මෙවර ඔවුන්ගේ නායකත්වය දරනවා.

2022/23 වාරයේ දී කිංග්ස්වුඩ් විද්‍යාලය තරග 12කට ක්‍රීඩා කර ඇති අතර එහි දී සම්පූර්ණ ජයග්‍රහණ දෙකක්, පරාජයන් හතරක් සහ තරග හයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

15 හැවිරිදි කවිජ ගමගේ කිංග්ස්වුඩ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන අතර, ඔහු පානදුර රාජකීය කණ්ඩායමට එරෙහිව ලකුණු 160ක් වර්තා කරමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුනා.

ඔහු එක් ශතකයක් සහ අර්ධ ශතක 4ක් ඇතුළුව ලකුණු 750කට වඩා රැස් කරගෙන සිටිනවා. ඊට අමතරව කිංග්ස්වුඩ් කණ්ඩායම වෙනුවෙන් අබ්දුල් හකීම් අර්ධ ශතක 2ක් ලබාගෙන ඇති අතර නිකේෂල නානායක්කාර ද එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 250කට වඩා රැස්කර තිබෙනවා.

පන්දු යැවීමේ අංශයෙන්, ඔහුගේ මංගල වයස අවුරුදු 19න් පහළ තරගාවලියට ක්‍රීඩා කරන පා දඟපන්දු යවන ක්‍රීඩක කෙනුල පිහිලිඅංග, කඩුලු 36ක් ලබාගෙන සිටිනවා. ඔහුට අමතරව වමතින් දඟපන්දු යවන සඳරුවන් නවරත්න කඩුලු 30ක් දවාගෙන ඇති අතර නායක අමේශ් රූපසිංහ ද පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ කඩුලු 27ක් දවා ගනිමින්.

පියල් සල්ගාදු කිංග්ස්වුඩ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර නලින් රත්නායක සහ ලංකා ෆ්‍රැන්සිස් පිළිවෙළින් ඔවුන්ගේ කණ්ඩායම භාර ආචාර්‍ය සහ ක්‍රීඩා භාර ආචාර්‍යවරයා වනවා.

කිංග්ස්වුඩ් සංචිතය: අමේෂ් රූපසිංහ (නායක), ගෞරංග බණ්ඩාර (කඩුළු රකින ක්‍රීඩක), කවිජ ගමගේ, රවිඳු තරින්ද, නේනුක දිසානායක, මේනුක හේෂාන්, නදීෂ ජනිත්, අමිරු අමුණුපුර, මංජුල විජේතුංග, නිකේෂල නානායක්කාර, ආදිල් ෂෙරිෆ්, දිනුක් සඳරුවන්, සනුක කස්තුරි, බුද්ධික නාමකීර්ති, බරණ රත්නායක, අබ්දුල් හකීම්, කෙනුල පිහිලිඅංග, යෝජිත් හෙට්ටිආරච්චි, යෝසත් අබේකෝන්, රොනල්ඩ් ස්ටීවන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<