කුළුදුල් ජයග්‍රහණය සොයන වෙස්ලි සහ බෙනඩික්වරුන්

297

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර ජේම්ස් කාර්ට්මන් පියතුමන් අනුස්මරණය කරමින් පවත්වනු ලබන ශූරතා කුසලානය (James Cartman Trophy) වෙනුවෙන් තරග වදින වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 17 සහ 18 දෙදින කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දෙවිදුහල් අතර ක්‍රිකට් ඉතිහාසයේ ඔවුනොවුන් පළමු වරට වාර්ෂික මහා ක්‍රිකට් තරගයක දී හමුවෙන්නේ මීට වසර 127කට පෙර 1896 වසරේ දී. ඊට පසුව ඔවුන් නැවත හමුවෙන්නේ පසුගිය 2022 වසරේ දී දෙවිදුහල් ක්‍රිකට් ඉතිහාසය වසර 125ක් වෙද්දී. එලෙස වර්ණවත් වන දෙවිදුහල් අතර වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ එම තරග ද්විත්වය ම නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි. එබැවින් මෙම තරගයේ දී දෙපිලේ ම ක්‍රීඩකයෝ කුළුඳුල් ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් පිටියට පිවිසෙතැයි විශ්වාස කෙරේ.

මෙවර තෙවැනි වරටත් පැවැත්වෙන මෙම තරගයේ දී වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලිනාල් සුබසිංහ වෙත හිමි ව ඇති අතර සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චමත් චතුරංග වෙත හිමිව ඇත.

වෙස්ලි විද්‍යාලය

“මෙවර තරගයේ දී විද්‍යාලය වෙනුවෙන් උපරිම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් වඩාත් විශ්වාසවන්ත කණ්ඩායමක් ලැබිලා තියෙනවා. හොඳ ශක්තිමත් පිතිකරුවරුන්ගෙන් සහ වඩාත් විශ්වාසවන්ත පන්දු යවන්නන් රාශියකගෙන් සමන්විත අපේ කණ්ඩායම සමබර කණ්ඩායමක් ලෙසින් නම් කළ හැකියි. කොහොම වුනත් තරගයේ උපරිම වාසි ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා,” යැයි වෙස්ලි කණ්ඩායමේ නායක ලිනාල් සුබසිංහ ThePapare.com වෙත පැවසුවා.

4 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායම හා එක් ව සිටින ලිනාල් මෙවර පාසල් ක්‍රිකට් තරග වසරේ දී අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 500කට ආසන්නව ලබා ගෙන සිටින ඉදිරි පෙළ දක්ෂ පිතිකරුවෙක් ලෙසින් කටයුතු කරයි.

කණ්ඩායමේ උප නායකයා ලෙසින් කටයුතු කරනු ලබන්නේ දිසුල යාපා.

ඔහුට අමතරව වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දක්වන තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් සනිතු අමරසිංහ, චමත් ගෝමස්, ලක්ෂාන් සුදර්ශන සහ උවින් පෙරේරා හැඳින්විය හැකි අතර ශකේෂ් මිනොන්, රවිඳු සිගේරා සහ සනිතු අමරසිංහ පන්දු යවන්නන් අතුරින් කැපී පෙනෙන මෙහෙවරක් කරතැයි බලාපොරොත්තු විය හැකියි.

වෙස්ලි විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම් සංචිතය: ලිනාල් සුබසිංහ (නායක) දිසුල් යාපා (උප නායක) සනිතු අමරසිංහ, චමත් ගෝමස්, උවින් පෙරේරා, අශාන් ඉසිර, අනුග පහන්සර, රශ්මික අමරසිංහ, රුක්ෂාන් තරංග (කඩුලු රකින්නා) රවිඳු සිගේරා, ජේතන් වයමන්, ශාකේෂ් මිනොන්, නිලුපුල් ලියනගේ, ගීත් කෝරාළ, කින්නර සූරියආරච්චි, ප්‍රනීත් නිම්ශාන්, යාබේශ් බෙලෙසින්, ශ්‍රීරාම් ජීවන්, බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු සහ දෙනෙත් සිගේරා.

නිලධාරීන්: කීර්ති ගුණරත්න (ප්‍රධාන පුහුණුකරු) වසන්ත කස්තුරිආරච්චි (ක්‍රිකට් භාර ආචාර්ය) ශානුක ජීවන්ත (සහාය පුහුණුකරු) කාවින්දන පෙරේරා (සහාය පුහුණුකරු).

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

“මෙවර වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී අපේ කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා පැමිණීමත් සමඟින් කණ්ඩායම ගැන තවත් විශ්වාසය වැඩි වෙලා තිබෙන්නේ. මෙම තරගයේ දී ඒ විශ්වාසයත් සමඟින් අපි ප්‍රතිවාදීන්ට එරෙහිව හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සූදානමින් හොඳ සමබර කණ්ඩායමක් සූදානමින් සිටිනවා. හැම පැත්තකින් ම දක්ෂතා දක්වන ක්‍රීඩකයන් රාශියකගෙන් සමන්විත අපේ කණ්ඩායමට මේ තරගයේ දී වෙනසක් කළ හැකියි,” සාන්ත බෙනඩික්ට් කණ්ඩායමේ නායක චමත් චාතුර්ය ThePapare.com සමඟ පැවසුවා.

4 වැනි වසරේ වර්ණලාභී චමත් චාතුර්ය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී මේ දක්වා කඩුලු 40ක් ලබා ගනිමින් බෙනඩික්ට්වරුන් වෙනුවෙන් පෙරමුණේ පසුවෙන පන්දු යවන්නා බවට පත් ව තිබේ.

ඔහුගේ සහායකයා වී ඇත්තේ ශාරුජන් ශම්මුගනාදන්. සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ වඩාත් විශ්වාසවන්ත පිතිකරුවා වී ඇති ශාරුජන් මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 160ක් සමඟින් මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී ලකුණු 900ක් ඉක්මවා ලබා සිටින දක්ෂ පිතිකරුවෙක්.

මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී බෙනඩික්ට්වරුන් වෙනුවෙන් වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩකයන් වී සිටින ඔවුන් දෙදෙනා කෙරෙහි සහිරාවරුන්ගේ වැඩි අවධානය යොමු වෙතැයි විශ්වාස කෙරේ.

ඊට අමතර ව සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දක්වන්නන් අතර අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 400ක් ඉක්මවා ලබා සිටින ශෙනෙල් සෙනෙවිරත්න කැපී පෙනෙන අතර විදුනෙත් විල්සන්, ශෙරොන් කන්නන්ගර, මෙවන් දිසානායක, අර්ශාන් ජෝසප් සහ විහාර අත්තානයක සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ප්‍රබල ක්‍රීඩකයන් ලෙසින් වර්ගීකරණය කරමින් කණ්ඩායමට එක් ව තිබේ.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම් සංචිතය: චමත් චාතුර්ය (නායක) ඩිලාන් තාබ්‍රේව්, විදුනෙත් විල්සන්, ශෙරෝන් කන්නංගර, ශෙනාල් සමරතුංග, ශාරුජන් ශම්මුගනාදන් (උප නායක) කෝජිත හිම්සර, විහාර අත්තනායක, මෙවන් දිසානායක, අර්ශාන් ජෝසප්, යොහාන් එදිරිසිංහ, නිලක්ෂන ජයකොඩි, හරේන් ඔලගම, නඳුන් ප්‍රනාන්දු, ඔනේෂ් මිචෙල්, එස්. අක්ශාර්, අවීශ වීරරත්න, දුමිඳු යෙහාන්, ශෙරන් දිසානායක සහ කෙවින් ජේසන්.

නිලධාරීන්: පෙම්ලාල් ප්‍රනාන්දු මහතා (ප්‍රධාන පුහුණුකරු) ඩිල්ශාන් විමුක්ති පියතුමා (ක්‍රිකට් භාර ආචාර්ය) මධු‍ශංක කුලරත්න (සහාය පුහුණුකරු).

එක්දින සීමිත පන්දුවාර තරගය

දෙවිදුහල් අතර ලූක් ග්‍රෙගරි (Luke Gregory) පියතුමා අනුස්මරණ කරමින් ප්‍රදානය කරනු ලබන කුසලානය වෙනුවෙන් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 25 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තරගය පසුගිය ද්විත්ව වසරේ දී නොපැවති අතර ඔවුනොවුන් එක්දින කුසලානය වෙනුවෙන් පළමු වරට පසුගිය වසරේ දී හමු වෙන අතර එහි දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ජයග්‍රහණය කළා.

සාන්ත බෙනඩික්ට් – වෙස්ලි විද්‍යාලාන්තර වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<