පාසල් ක්‍රිකට් පිටියේ දිදුලන රාජසිංහ තරුව

509

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 1000ක් සහ කඩුලු 100ක් ලබා ගැනීමට හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රවීන් මනීෂ කුලරත්න සමත් වුනා.

දකුණතින් පිත්ත හසුරුවන ප්‍රවීන් මෙවර තරගාවලියේ දී තරග 12කට සහභාගී වෙමින් මේ වන විට ලකුණු 1085ක් සහ දකුණතින් පා දඟපන්දු යවමින් කඩුලු 143ක් ලබා සිටිනවා. රාජසිංහ විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි දක්ෂතාවක් කළ පළමුවැන්නා ද වන්නේ ප්‍රවීන්.

මේ වගේ දක්ෂතාවක් දැක්වීමට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. මගේ මේ දක්ෂතාවන් වෙනුවෙන් මාව මෙහෙයවපු, මට උදව් කළ විශාල පිරිසක් සිටිනවා. ඒ සියලුම දෙනා ම මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කරනවා,” ප්‍රවීන් ThePapare.com සමඟ පැවසුවා.

ලකුණු දහසක් කරා යන ගමනේ දී ප්‍රවීන්ගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 254යි. ඊට අමතර ව කොළඹ හින්දු විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 100ක්, කොට්ටාව ආනන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 176ක් සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහිව ලබා ගත් ලකුණු 103ක් ද ඒ අතර වෙනවා.

කඩුලු ශතකය කරා යන ගමනේ දී ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ කොටිකාවත්ත රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 48කට ලබා ගත් කඩුලු 9යි. එම තරගයේ පළමු ඉනිමේ දී ද ඔහු ලකුණු 44කට කඩුලු 8ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ අනුව ඔහු එම තරගයේ දී ලකුණු 92කට ලබා ගත් කඩුලු 17 ඔහුගේ මෙවර තරගාවලියේ තරගයක ඉහළ ම දක්ෂතාව බවට ද පත් වෙනවා.

ඔහුගේ මෙම ගමනේ දී ඔහු සහභාගී වූ තරග 12න් තරග 10ක දී ම තරගයක දී කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කිරීමට සමත් වීම ද කැපී පෙනෙනවා.

ප්‍රවීන්ගේ දක්ෂතා ලැයිස්තුව
 

ප්‍රතිවාදි කණ්ඩායම

දක්ෂතා දැක්වූ ආකාරය
Batting Bowling
Runs 4s 6s O M R W
හින්දු විද්‍යාලය,

කොළඹ.

100* 12 1 9.3 4 9 5
12 3 26 6
සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය, කොළඹ. 38 7 0 3 0 14 2
58* 11 0 41 14 90 4
රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, කොටිකාවත්ත. 62 7 0 27.2 13 44 8
20.1 2 48 9
මධ්‍ය මහා විද්‍යාලය,

හෝමාගම

5 1 0 37.5 20 36 4
19.4 12 17 7
සාන්ත තෝමස් විද්‍යාලය, බණ්ඩාරවෙල. 12 2 0 21.1 5 58 6
13 1 62 6
ආනන්ද විද්‍යාලය,

කොට්ටාව.

176 22 5 15 3 41 7
13.4 2 39 7
එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය, දෙහිවල. 254 29 10 31 5 115 4
7 1 23.1 3 88 8
රාජකීය විද්‍යාලය,

හොරණ.

24 4 0 36.5 13 57 6
32.3 11 70 6
ප්‍රින්ස් විද්‍යාලය,

රත්නපුර

31 4 0 14 5 28 8
21 3 27 8 63 8
ආනන්ද ශ්‍රාස්තාලය,

කෝට්ටේ.

16 1 1 15.3 3 50 5
103 10 1 19 2 64 3
මහානාම විද්‍යාලය,

මොනරාගල.

6 1 0 14 3 32 6
67 4 1 6.4 0 25 4
සාන්ත ඇලෝසියස් විද්‍යාලය,

රත්නපුර

74 10 1 22 3 60 8
31 3 0 19.5 5 75 6
1085 131 25 495.5 140 1211 143

ප්‍රවීන් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු වරට නියෝජනය කරන්නේ මීට අවුරුදු 2කට කලින්, 2021 අවුරුද්දේ දී. එම වසරේ දී හා හා පුරා තරග පිටියට පිවිසෙන ඔහු ඉනිම 7ක දී කඩුලු 22ක් ලබා ගනිමින් එම අවුරුද්දේ පැවති 43 වැනි පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේ දී තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගැනීමට සමත් වෙනවා.

එම තරගාවලියේ දී ඔහුගේ ඉහළ ම දක්ෂතාව වන්නේ මතුගම සාන්ත මරියා විද්‍යාලයට එරෙහිව ලකුණු 18කට ලබා ගන්නා ලද කඩුලු 4යි.

අනතුරුව වසරේ දී ද ප්‍රවීන් නැවත වතාවක් තම දක්ෂතා මගින් පාසල් ක්‍රිකට් පිටිය කලඹන්නට සමත් වෙනවා. ඒ අනුව එම වසරේ දී  ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවති 44 වැනි පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේ දී තෙවැනි කාණ්ඩයේ කණ්ඩායම් අතර දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මාන ද්විත්වයෙන් පිදුම් ලබනවා.

එම තරගාවලියේ දී ඔහු ඉනිම් 7ක දී ලකුණු 167ක් ලබා ගනිමින් සහ ඉනිම් 9ක දී පන්දු යවමින් කඩුලු 26ක් දවා ගන්නවා. හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 43 සහ දෙහිවල එස්. එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව  ලකුණු 18කට කඩුලු 5ක් දවා ගැනීම එම වසරේ ඔහුගේ හොඳම දක්ෂතා අතර පෙරමුණේ සටහන් වෙනවා.

ප්‍රවීන් කියන්නේ කුඩා කාලයේ සිට ම කැපී පෙනෙන දක්ෂතා දැක්වූ සහ හොඳ අනාගතයක් සහිත ක්‍රීඩකයෙක්. මේ දක්වා කාලයේ දී ප්‍රවීන් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන චරිතයක් වී අවසන්. නමුත් අවාසනාවකට වගේ ප්‍රවීන් ක්‍රීඩා කරන්නේ තෙවැනි පෙළ තරගාවලියේ. ඒ නිසා ඔහුගේ දක්ෂතා වැඩි පිරිසක් වෙතට ගියේ නැද්ද කියලත් හිතෙනවා. කෙසේ වෙතත් ඔහු අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට කදිම ආයෝජනයක්. ඔහුට තව අවුරුදු 2ක් වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩා කරන්න පුළුවන්,” රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු එච්. එල්. ප්‍රියංකර මහතා පැවසුවා.

එච්. එල්. ප්‍රියංකර මහතා දශක 2කට ආසන්න කාලයක් රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙසින් කටයුතු කරනවා. ප්‍රවීන් පළමු වරට ක්‍රිකට් ක්‍රීඩාවේ අකුරු කියවා ගන්නට එන්නේ ද ප්‍රියංකර වෙතයි.

ඒ වෙද්දී ප්‍රවීන් තමන් පළමුවරට ගිය අරකාවිල ඉසිපතන ප්‍රාථමික විද්‍යාලයෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් ව රාජසිංහයට ආ අලුත. ක්‍රිකට් ක්‍රීඩාවට එක්වීමට කැමති අයට පාසල් ක්‍රීඩාංගණයට පැමිණීමට කියූ දැන්වීම කියැවූ සැණින් පැමිණි කිහිප දෙනාගෙන් කෙනෙක් ප්‍රවීන්.

ප්‍රවීන් තම පුහුණුකරු එච්. එල්. ප්‍රියංකර මහතා  සමග

ප්‍රවීන් මුලින් ම දක්ෂතා දක්වන්නේ දකුණත් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින්. ඊට පස්සෙ එයාගෙම කැමැත්තට වේගපන්දු යවන්නෙක් ලෙසින් කටයුතු කරනවා. නමුත් එම වසරේ දී ම මම දකිනවා ප්‍රවීන්ගේ වේගපන්දුවට වඩා එහි දඟපන්දු යැවීමේ සුවිශේෂී හැකියාවක්. එම නිසා මම එතැන් සිට ඔහු දකුණත් පා දඟපන්දු යවන්නෙක් ලෙසින් පුහුණු කිරීම ආරම්භ කරනවා,” ප්‍රියංකර නැවත පැවසුවා.

එසේ ආරම්භ කළ ගමනේ දී සුවිශේෂී කඩඉම් කිහිපයක් ම පසු කිරීමට ද ප්‍රවීන් සමත් වෙනවා.

ඒ අනුව, 2022 වසරේ දී වයස අවුරුදු 17න් පහළ අන්තර් පළාත් යොවුන් ලීග් තරගාවලියේ දී කොළඹ – උතුර කණ්ඩායම නියෝජනය කිරීමට ඔහු සමත් වෙනවා. ජයග්‍රාහී එම කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ ඉනිම 4ක දී කඩුලු 4ක් ලබා ගන්නා ප්‍රවීන් මහනුවර සමඟ පැවති අවසන් මහා තරගයේ දී ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

එමෙන් ම එම වසරේ දී ම වයස අවුරුදු 17න් පහළ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වයට පත් ප්‍රවීන් පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලානය තම විද්‍යාලයට ලබා දීමට මහඟු දායකත්වයක් දක්වනවා.

එහි දී ඔහු පිතිකරුවෙක් ලෙසින් තරග 11කට සහභාගී වෙමින් ලකුණු 412ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ අතර බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලයට එරෙහිව පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වෙන අතර එය ඔහුගේ එම තරගාවලියේ හොඳම ඉනිම බවට ද පත්වුනා.

ඊට අමතර ව අහංගම රෝහණ ජාතික පාසලට එරෙහිව පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ද ලබා ගන්නවා.

එම තරගාවලියේ දී පන්දු යවමින් ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 41ක්. එහි දී ඔහු ඉනිමක කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 5ක් වාර්තා කිරීමට සමත් වෙනවා. ඒ අතරින් පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 28කට කඩුලු 7ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ එම තරගාවලියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

ඊට අමතර ව බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 10කට කඩුලු 5ක්, කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව ලකුණු 10කට කඩුලු 5ක්, බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලයට එරෙහිව ලකුණු 19කට කඩුලු 5ක් සහ සීදුව සාන්ත තෝමස් කතෝලික පාසලට එරෙහිව ලකුණු 16කට කඩුලු 5ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වීමට ඔහු සමත් වෙනවා.

ප්‍රවීන් තම සහෝදරයන් දෙදෙනා සමඟ

ඉන් අනතුරුව පැවති වයස අවුරුදු 19න් පහළ පළාත් තරගාවලියේ දී නැවත වතාවක් කොළඹ – උතුර කණ්ඩායම නියෝජනය කිරීමට ප්‍රවීන් සමත් වෙනවා. එහි දී ඉනිම 4ක දී පන්දු යවමින් කඩුලු 11ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතරින් තෙවැනි තැන දිනා ගැනීමට ඔහු සමත් වෙනවා.

ප්‍රවීන් වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක්ගෙන් යුත් පවුලේ බඩපිස්සා. වැඩිමල් සහෝදරයා දෙනුවන් වගීෂ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරමින් මේ වෙද්දී නිවසේ රැඳී සිටින අතර දෙවැනියා පේෂල රවිඳු රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ම ඉගනුම ලබමින් මේ වසරේ දී උසස් පෙළ විභාගය සඳහා සූදානමින් පසු වෙනවා.

ප්‍රවීන්, තම මව සහ පියා සමඟ

ප්‍රවීන්ගේ පියා වසන්ත කුලරත්න මහතා. පෞද්ගලික ආයතනයක රියදුරෙක් ලෙසින් සේවය කරනවා. මව ජේ. පී. ජයකොඩි මහත්මිය. ඇය තමයි ප්‍රවීන්ලාගේ පවුලේ කළමණාකාරවරිය.

කුටුම්භයේ අවශ්‍යතා සමඟ ප්‍රවීන්ගේ ක්‍රිකට් ජීවිතය, ඔවුන්ට අමතර වියදමක්. ඒ හැමදෙයක් ම කරන්න වෙන්නේ පියා ලබන රියදුරු වැටුපෙන්. නමුත් ඔවුන් හැකි සෑම ආකාරකයින් ම ප්‍රවීන්ගේ අවශ්‍යතා සරි කර දෙන්න උත්සාහ කරනවා.

කොච්චර අඩු-පාඩු තිබුනත් ක්‍රිකට් ක්‍රීඩාව දිගට ම කරගෙන යනවා. ගෙදරින් පුළුවන් විදිහට කරනවා. ඊට අමතර ව පාසලෙන්, පාසලේ ආදි ශිෂ්‍ය සංගමයෙන් සහ පාදුක්ක ක්‍රිකට් සමාජයෙන් උදව් කරනවා. විශේෂයෙන් ම ප්‍රියංකර සර් මේ හැම දේකට ම මැදිහත් වෙලා මගේ ක්‍රිකට් ජීවිතය වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා,” ප්‍රවීන් පවසනවා.

හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ විදුහල්පති ජගත් ප්‍රියශාන්ත මහතා සහ ක්‍රිකට් භාර ආචාර්ය රෝහණ විජේතුංග මහතා ද තම විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාවේ සන්නාමයක් ලෙසින් මතුව ආ ප්‍රවීන් කෙරෙහි ඇත්තේ දැඩි ලෙංගතු බවක්. එ බැවින් ඔවුන් ද සෑම අවස්ථාවක ම ප්‍රවීන් පසුපස ම සිටිමින් ඔහුගේ දියුණුව අපේක්ෂා කරනවා.

ප්‍රවීන්, රාජසිංහ විද්‍යාලයීය විදුහල්පති සහ ක්‍රිකට් භාර ආචාර්යවරයා සමඟ

ප්‍රවීන් ක්‍රිකට් ආරම්භ කළ දවසේ සිට ම හොඳ දක්ෂතා අතර සිටිනවා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ 26 දෙනාගේ සංචිතයටත් ඔහු ඇතුලත්ව සිටියා. කවදාහරි දවසක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි කියලා හිතෙනවා. ඒ දක්වා ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑමයි අපේ අපේක්ෂාව,” ප්‍රවීන්ගේ පුහුණුකරු එච්. එල්. ප්‍රියංකර මහතා පැවසුවා.

ප්‍රවීන් මේ වෙද්දී ACE කැපිටල් කණ්ඩායම නියෝජනය කරමින් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කළා. එහි දී ද දක්ෂතා දැක්වූ ප්‍රවීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවත්වා ගෙන යන උසස් දක්ෂතා සහිතවූවන්ගේ සංචිතයේ ද සාමාජිකයෙක් ලෙසින් කටයුතු කරනවා.

ප්‍රවීන්ගේ ක්‍රිකට් ගමනේ දී ඔහුගේ පාසල් පුහුණුකරු එච්. එල්. ප්‍රියංකර මහතා, දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් මෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් ද, නුගේගොඩ AD ස්පෝර්ට්ස් ආයතනය, මහරගම SP ස්පෝර්ට්ස් ආයතනය, විශේෂයෙන් ම බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ නිමල් පෙරේරා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරුණ ද සිල්වා මහතා, පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ හිටපු ක්‍රිකට් පුහුණුකරු ගම්ලත් මහතා සහ නුගේගොඩ ක්‍රිකට් ඇකඩමියේ පුහුණුකරු නාලන්ද මහතා ද තමන් වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන බැව් ප්‍රවීන් පවසනවා.

පාසලේ ක්‍රීඩා කරන ගමන් ක්ලබ් ක්‍රිකට් එකත් හොඳට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ දක්ෂතාත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම දක්වා පැමිණෙන්න තමයි අනාගත බලාපොරොත්තුව,” ප්‍රවීන් මනීෂ ThePapare.com සමඟ පැවසුවා.

ශ්‍රී ලංකා අනාගත ක්‍රිකට් පිටියේ දිදුලන තරුවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින රාජසිංහ තරුව, ප්‍රවීන් මනීෂට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<