මාලිංගගේ කතාව රිදී තිරයට!

4887

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු ලෙස සැලකුම් ලබන ලසිත් මාලිංගගේ කතාව රිදී තිරයට ගෙන ඒමේ සූදානමක් පවතින බව දැන ගැනීමට ලැබෙනවා.

2004 වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් ලද මාලිංග විසින් වසර 16කට ආසන්න කාලයක් තිස්සේ විශිෂ්ට ක්‍රීඩා දක්ෂතා පෙන්වීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30ක දී කඩුලු 101ක්, එක්දින තරග 226ක දී කඩුලු 338ක් සහ විස්සයි විස්ස තරග 84ක දී කඩුලු 107ක් දවා ගැනීමට සමත් වී ඇති මාලිංග විශේෂයෙන්ම සීමිත පන්දුවාර රටාවේ දී ප්‍රතිවාදී කණ්ඩායම්වලට බියකරු සිහිනයක් බවට පත් වීමට සමත් වුනා.

මීට අමතරව ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් තරගාවලිවල දී ද විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවේ නාමය ලෝකයේ ඉහළින් ම තැබීමට ද මාලිංග සමත් වුනා.

සිය ක්‍රීඩා ජීවිතය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් පිට පිටම කඩුලු හතරක් දවා ගැනීමේ අවස්ථා දෙකක් ද ඇතුළුව කඩුලු ත්‍රිත්ව අවස්ථා පහක් (එක්දින 3 + විස්සයි විස්ස 2) ලබා ගැනීමට මාලිංග සමත් වී ඇති අතර මේ බොහෝ අවස්ථාවල මලිංගගේ ප්‍රධානත ම අවිය බවට පත්වුනේ පිතිකරුවාගේ දෙපා මුලට වැටෙන යෝකර් පන්දුවයි.

එම නිසාම මාලිංගගේ නමත් සමඟින් නිරන්තරයෙන් ම මතකයට එන යෝකර් පන්දුව ද සමඟින් මෙම නව චිත්‍රපටයට නමක් යෝජනා වී ඇති බවත් දැන ගැනීමට ලැබෙනවා.

මාලිංග විසින් වසර 16ක කාලයක් මුළුල්ලේ ලබා දුන් මෙම සියලු මතක වෙනුවෙන් “Mali: The Yorker King” නමින් මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරීමට Lyca Production නිෂ්පාදන ආයතනය ඉදිරිපත් වී තිබෙනවා.

Lyca ආයතනය විසින් ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හය දෙනෙකු සමඟින් චිත්‍රපට හයක් නිෂ්පාදනය කිරීමට සැරසෙන අතර මෙහි දී ජයන්ත චන්ද්‍රසිරි, රන්ජන් රාමනායක, ප්‍රියන්ත කොළඹගේ, චන්න පෙරේරා සහ අශෝක හඳගම යන අධ්‍යක්ෂවරුන් Lyca සමඟ අත්වැල් බැඳ ගැනීමට නියමිතයි.

මෙහි දී මාලිංග පිළිබඳ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කිරීමට ප්‍රියන්ත කොළඹගේ මහතාව තෝරා ගෙන තිබෙනවා. මෑතකාලීන ව සිංහල සිනමාවට බිහි වූ සාධනීය නිර්මාණ ලෙස හඳුන්වා දිය හැකි ආදරණීය කතාවක් සහ දේදුනු ආකාසේ චිත්‍රපට ද්විත්වයේ අධ්‍යක්ෂකවරයා වන්නේ ද ප්‍රියන්ත කොළඹගේයි.

එමෙන්ම ඉන්දීය නිෂ්පාදන ආයතනයක් වන Lyca Production ආයතනය විසින් මීට පෙර සිට ම ඉන්දීය සිනමාපට නිෂ්පාදනය සහ බෙදාහැරීම වෙනුවෙන් සම්බන්ධ වී සිටි අතර අතිශය ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත් දමිළ චිත්‍රපට වන Kaththi, Vada Chennai, 2.0, Ponniyin Selvan: I සහ II වැනි චිත්‍රපට රාශියකට ඔවුන් විසින් සිය නිෂ්පාදන සහ බෙදාහැරීම් දායකත්වය සපයා තිබෙනවා.

එම නිසා චිත්‍රපටියට සම්බන්ධ වන රංගන ශිල්පීන් පිළිබඳ තවමත් තොරතුරු හෙළිදරව් වී නැතත් මෙම චිත්‍රපටිය පිළිබඳ බොහෝ බලාපොරොත්තු තබා ගත හැකි බව නම් පැහැදිලියි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<