ලෝක කැරම් ශූරයින්ට ක්‍රීඩා ඇමතිගෙන් උපහාර

259
Sri Lankan Carrom Team

නොවැම්බර් මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා එංගලන්තයේ බර්හැමියන් නුවරදී පැවැත් වූ 7 වන ලෝක කැරම් ශූරතාවලියේ, පිරිමි අංශයේ ශූරතාවය දිනා ගනිමින්, ලෝක ශූරයන් බවට පත් වන්නට ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම සමත් විය. එහි කාන්තා අංශයේ අනුශූරතාවය දිනා ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම විසිනි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව වෙනුවෙන් රන්තුෂ්ක සසිඳු ඉදිරියටම

ශ්‍රී ලංකාවේ අනාගත බැඩ්මින්ටන් බලාපොරොත්තුවක් වන රන්තුෂ්ක සසිඳු, නොර්වේ කණ්ඩායමේ මාකස් බාත් පරාජය කරමින් ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ

මෙම තරගාවලියට සහභාගි වී ලොව ජයගත් කාන්තා සහ පිරිමි කණ්ඩායම් පසුගිය 14 වැනිදා ලංකාවට පැමිණි අතර ලෝක ශූර කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහත් හරසරින් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (15) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපතිතුමන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය. මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රථමයෙන් ලෝක ශූරයින් හට තම සුභාශිංශන පිරිනැමූ අතර ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපතිතුමන්, එහි ලේකම්තුමන් අතුලු නිලධාරී මණ්ඩලයට ස්තූතිය පුද කරමින් අමාත්‍යතුමන් සඳහන් කලේ, වසර 8කට පසු කැරම් ක්‍රීඩාවෙන් ලොව දින්නට ලැබීම රටක් ලෙස අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

මෙම තරගාවලිය සහභාගී වු කාන්තා සහ පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන්

පිරිමි

  • චමිල ධනුෂක කුරේ (නායක )
  • නිශාන්ත ප්‍රනාන්දු
  • මොහොමඩ් ෂෙරිෆ්ඩීන්
  • මොහොමඩ් සාහීඩ්

පිරිමි අංශයේ ශූරතාවය දිනා ගනිමින් තම රටට කීර්තියක් අත්කර දුන් කණ්ඩායමේ නායක චමිල කුරේ ThePapare.com සමඟින් පවසා සිටියේ, පසුගිය තරගාවලි වලට සාපේක්ෂව මෙම තරගාවලිය ඉතා තීරණාත්මක එකක් වු බවත් තවද තම කණ්ඩායම ඉතා හොද මානසික හා ශාරීරික සුවතාවයකින් පසු වූ බවත්, මෙවැනි ජයග්‍රහණයක් තම රටට ගෙන ඒමට සහයෝගය ලබා දුන් ක්‍රීඩා අමාත්‍යතුමන් අතුළු සියලුම දෙනාට තම ස්තූතිය පුද කරන බවත් පැවසීය.

කාන්තා

  • ජොෂෆ් රොශීටා ( නායිකාව )
  • චලනි ලක්ෂානි
  • යශිකා රාහුබද්ද
  • අරෝෂා වික්‍රමසිංහ

කාන්තා තරගාවලියේ අනුශූරතාවය ලබා ගත් ශ්‍රී ලංකා නායිකාව ThePapare.com හා ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව, මාලදිවයින වැනි රටවල් විශාල අභියෝගයක් ලෙස පෙනුනත්, එම රටවල් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඒ හා සමාන ස්ථානයක තැබිය හැකි බවයි. මෙහිදී සහයෝගය ලබා දුන් ක්‍රීඩා අමාත්‍යතුවමන් ඇතුලු සියලුම නිලධාරීන් හට තම ස්තූතිය පුද කිරීමට ඇය ද අමතක නොකළාය.

මෙම ශූරතාවලියේ පළමු දිනයේ දී පැවැතියේ කාන්තා සහ පිරිමි යුගල තරගයි. එහිදී පිරිමි තරගයේදී ඉන්දියානු කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනාගත් අතර ශ්‍රී ලංකාවට හිමිවූයේ දෙවන ස්ථානයයි. එම තරගයේ කාන්තා අංශයේද, ඉන්දියානු කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනා ගන්නා විට එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවිය.

දෙවන දිනයට තරගය ක්‍රියාත්මක වූයේ සීස් ලීග් ක්‍රමය හෙවත් තරගාවලියට සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තරග කළ හැකි තරග වටයක් ආකාරයටයි. මෙම තරග වටය සඳහා තරගකරුවන් 128 දෙනෙක් කණ්ඩායම් වශයෙන් තරග කරන ලදී.

සීස් ලීග් තරගාවලිය අවසානයේදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චමිල කුරේ සමත්විය. එහිදී දෙවන ස්ථානය ඉන්දියාවට හිමිවූ අතර තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ නිශාන්ත ප්‍රනාන්දු විසින් දිනා ගන්නා ලදී.

තරගාවලියේ තෙවැනි දිනය ලෝකයේ සිටින සියලුම සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකට මුණ ගැසෙන තරගාවලියක් වූ අතර ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම ලෝක ශූරයින් බවට පත් කරමින් තෙවැනි දිනය නිමාවට පත්විය.

ඒ අවසන් තරගයේදී මුණ ගැසුණු ප්‍රබල ඉන්දීය කණ්ඩායමට ලබා දුන් අතිශය තියුණු තරගයකින් පසුවයි.

ඉන්දියාව සමඟ පැවැති අවසන් තරගයට ක්‍රීඩකයින් තේරීමේදී ඉතා කල්පනාකාරීව සහ සූක්ෂමව කටයුතු කළ බව ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ තරග ලේකම් දයා විදානගම මහතා සඳහන් කර සිටියේය.

අවසන් දින දෙක තුළ දී කේවල තරග පැවැති අතර එහිදී ඉන්දියාව වැඩි වාසියක් හිමිකර ගත් බවත්, සමස්ථයක් ලෙස ගත් කළ මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට සතුටුදායක තරගාවලියක් බවත් ඒ මහතා පවසා සිටියේය.

තවද කැරම් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාවේ අංගයක් ලෙස ඇතුළත් කිරීමට ගත් උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැකි බවත්, ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ලබා දුන් සහයෝගය අගය කරන බවත් දයා විදානගම මහතා වැඩිදුරටත් පැවසීය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට