Naseem Shah ඇෆ්ගනිස්තානයේ භයානක ම සිහිනයක් බවට පත්වෙයි!

Pakistan vs Afghanistan 2023

1011

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඉතා උණුසුම් වාතාවරණයක් නිර්මාණය කරමින් ඊයේ (24) නිමා වුනා.

මෙම තරගයේ දී පාකිස්තානය වෙත නොතිබූ ජයක් ගෙන දීමට Shadab Khan සහ Naseem Shah සමත් වුනේ තරගාවලියේ ජයග්‍රහණය (2-0ක් ලෙස) පාකිස්තානයට හිමි කර දෙමිනුයි.

හම්බන්තොට දී පැවැත්වුණු මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය විසින් නියමිත පන්දුවාර 50 අවසන ලකුණු 300ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz විසින් අග්‍රගණ්‍ය ඉනිමක් දියත් කරමින් ලකුණු 151ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වූ මෙම ඉනිමට Gurbaz විසින් පන්දු 151ක් වැය කළා.

මෙය එක්දින තරගයක දී කඩුලු රකින පිතිකරුවෙකු විසින් පාකිස්තානයට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් වුනා. එමෙන්ම තවමත් එක්දින ඉනිම් 23ක පමණක් පිතිකරණයේ යෙදී ඇති Gurbaz විසින් ලබා ගත් 5 වැනි ශතකය ලෙසයි මෙය වාර්තා වුනේ.

ඒ අනුව එක්දින ජාත්‍යන්තර පිටියේ සිය මුල් ශතක පහ වෙනුවෙන් තුන්වැනියට අඩු ම ඉනිම් ප්‍රමාණයක් වැය කළ පිතිකරුවා බවට පත්වීමට ද (Imam-ul-haq සහ Quinton de Kock විසින් ඉනිම් 19කින් මෙම දස්කම දැක්වීමට සමත් වුනා.) Gurbaz විසින් ඊයේ සමත් වුනා.

කෙසේ වෙතත් Gurbazගේ මෙම ඉනිම ගඟට ඉනි කැපීමක් තරම්වත් ඵලක් නැති ක්‍රියාවක් බවට පත් කිරීමට පාකිස්තාන පිතිකරුවන් විසින් සමත් වුනා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පිළිතුරු ඉනිම දියත් කිරීමේ දී Fakhar Zaman, Imam-ul-haq සහ නායක Babar Azam විසින් පාකිස්තාන ඉනිමට හොඳ ආරම්භයක් ලබා දීමට සමත් වූ නමුත් පසුව පාකිස්තාන පිතිකරුවන් එකා පිට එකා දැවී යාමට පටන් ගත්තා.

මේ නිසා පන්දුවාර 38 පන්දු 5ක් වන විට පාකිස්තාන ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 211ක් ලෙස ද, 46 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුව වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 258ක් ලෙස ද දිස් වුනා.

කෙසේ වෙතත් ඉනිමේ 8 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි Shadab Khan නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් තනිවම පාකිස්තාන ඉනිමේ බර ඇද ගෙන යාමට සමත් වුනා. ඉනිමේ 49 වැනි පන්දුවාරය නිමා වන විට Shadab නොදැවී ලකුණු 48ක් ලබා සිටි අතර, ඔහු ඒ වෙනුවෙන් වැය කර තිබුණේ පන්දු 35ක් පමණයි. එමෙන්ම ඒ වන විට පාකිස්තානයට ජයග්‍රහණය සඳහා පන්දු 6කින් ලකුණු 11ක් අවශ්‍ය වී තිබුණා.

තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම Fazalhaq Farooqi හට භාර වූ අතර පිතිකරණයේ නියැලෙමින් සිටියේ Naseem Shah විසිනුයි.

පන්දුවාරයේ පළමු පන්දුව යොමු කිරීමට දිව ආ Farooqi විසින් පන්දුව නොයවා ඒ වන විට පන්දු යවන අන්තයේ සීමා ඉර ඉක්මවා සිටි Shadab Khanව මන්කාද් ක්‍රමය යටතේ දුවද්දී දවා ගැනීමට සමත් වුනා.

මන්කාද් දවා ගැනීම නීත්‍යනුකූල නිසා Shadabට ක්‍රීඩාගාරය වෙත යාමට සිදු වූ අතර පාකිස්තාන ඉනිමේ 9 වැනි කඩුල්ල ද එසේ ගලවා දැමීමට ඇෆ්ගනිස්තානය සමත් වුනා.

නමුත් ඉන්පසුව Naseem මුහුණ දුන් පන්දුවාරයේ පළමු පන්දුවට අලංකාර හතරේ පහරක් එල්ල කිරීමට සමත් වූ අතර, නැවතත් පන්දුවාරයේ තෙවන පන්දුවට එක් ලකුණක් ලබා ගැනීමට සමත් වුනා.

ඉන්පසුව Haris Rauf විසින් සිව්වැනි පන්දුවට ලකුණු 3ක් ලබා ගැනීමට සමත් වූ අතර, පන්දුවාරයේ පස්වැනි පන්දුව Naseemගේ පිත්තේ පිටත අග්‍රයක වදිමින් හතරේ සීමාව ඉක්මවා යෑමත් සමඟ පාකිස්තානට එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.

පසුගිය වසරේ පැවැත්වුණු ආසියානු කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය මුණ ගැසුණු මොහොතේ දී ද පාකිස්තානය වෙත නොතිබූ ජයග්‍රහණයක් ගෙන ඒමට Naseem විසින් සමත් වූ සේ ම මෙවරත් එය නැවත පුනරූපනය කිරීමට Naseem විසින් සමත් වුනා.

විශේෂයෙන්ම තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු Naseem විසින් සිය ජය සැමරූ ආකාරය බොහෝ දෙනාගේ අවධානයට ලක් වුනා.

තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය හෙට (26) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<