නොසිතූ ජයක් වාර්තා කළ ලිවර්පූල් බාසිලෝනා හදවත් බිඳියි

145

පාපන්දු ක්‍රීඩාවේ අවිනිශ්චිත බව මනාවට පසක් කරමින්  සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ බාර්සිලෝනා කණ්ඩායම නොසිතූ ලෙස පරාජය කළ ලිවර්පූල් කණ්ඩායම UEFA ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ අසුනක් තමන්ගේ නමට ලියා ගැනීමට සමත් විය.

ලෝක ශූර ප්‍රංශ කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තරග තහනමක්

බාසිලෝනා හිදී පැවැත්වුණු පළමු අදියරේ දී බාසිලෝනා කණ්ඩායම ප්‍රබල ජයක් වාර්තා කළේ ගෝල 3-0ක් ලෙසයි. ඒ අනුව දෙවන තරගයේ දී අවම වශයෙන් ලිවර්පූල් කණ්ඩායමට ගෝල 4-0ක ජයක් අවශ්‍ය වූ අතර බොහෝ ප්‍රේක්ෂකයින් මෙන්ම ක්‍රීඩා විචාරකයින් ද එය හුදෙක්ම විහිළුවක් පමණක් වනු ඇතැයි මත පල කළේ ලිවර්පූල් කොඳු නාරටිය බඳු වූ සුපිරි ක්‍රීඩක මොහොමඩ් සලාහ් මෙන්ම බ්‍රසීල ක්‍රීඩක ෆර්මිනියෝ ද ආබාධවලට ලක්ව සිටි නිසයි.

කෙසේ වෙතත් ශූරයින්ගේ කුසලාන ඉතිහාසයේ හොඳම හඹා ඒමක් ප්‍රේක්ෂකයින් ඉදිරියේ දිග හරිමින් ලිවර්පූල් කණ්ඩායම ගෝල 4-0ක් ලෙස ඇන්ෆීල්ඩ් හිදී බාසිලෝනා කණ්ඩායම අන්ත අසරණ කළේ මුළු ගෝල 4-3ක් ලෙස තරගය ජය ගනිමිනි. ඒ අනුව අඛණ්ඩව දෙවන වසරටත් ලිවර්පූල් කණ්ඩායම ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන්නට සමත් විය.

Divock Origi හා පළමු අර්ධයෙන් පසුව පිටියට පිවිසුණු Georginio Wijnaldum, ගෝල දෙක බැගින් වාර්තා කරමින් ප්‍රබල බාසිලෝනා කණ්ඩායම අන්දමන්ද කළේ තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වන ලයනල් මෙසී (15) ද ඔවුන් සතුව සිටිය දීයි.

ඒ අනුව ජර්ගෙන් ක්ලොප්ගේ ලිවර්පූල් කණ්ඩායම Ajax හා ටෝටන්හැම් කණ්ඩායම අතරින් ජය ලබන කණ්ඩායම සමඟ 2018/19 ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට එක්වනු ඇත.

තරගය අවසානයේ ලිවර්පූල් නායක ජොර්දාන් හෙන්ඩර්සන් මෙසේ පවසා සිටියා. ”සිතා ගැනීමටවත් නොහැකියි. ගොඩ දෙනෙක් අපිට අවස්ථාවක් දුන්නේ නැහැ, අපි දිනයි කියා සිතුවේ නැහැ.”

“තරගයට කලින් අපි දැනගෙන සිටියා මේ තරගය අපහසු වුනත් කළ නොහැකි දෙයක් නොවේ කියා. එය හරිම අද්විතීයයි, අපි දැනන් හිටියා ඇන්ෆීල්ඩ් හිදී අපිට විශේෂ යමක් කළ හැකි කියලා.”

ලිවර්පූල් කණ්ඩායම ශූරයින්ගේ කුසලාන පාපන්දු ඉතිහාසයේ, ගෝල 3කට වැඩි ගණනකින් අවසන් පූර්ව වටයේ පළමු තරගයේ දී පසුපසින් හිඳ, හඹාවිත් ජය ගත් තෙවැනි කණ්ඩායමට බවට ද ඒ සමඟ ඔවුන් පත්විය. එම දස්කම මීට පෙර පෙන්වා ඇත්තේ බාසිලෝනා (1970-71) හා ලිවර්පූල් (1985-86) කණ්ඩායම් පමණයි.

බාර්සිලෝනා කණ්ඩායම පසුගිය තරගාවලියේදීත් මෙවැනිම සිදුවීමක් වූ අතර පළමු වටය ගෝල 4-1ක් ලෙස ජය ගත්තත්, රෝමා කණ්ඩායමේ ප්‍රහාරය හමුවේ එක් සංචාරක ගෝලයක මදිකමින් අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි වන්නට ඔවුන්ට සිදු විය.

ප්‍රංශ පාපන්දු තරුව තම සිහිවටන වෙන්දේසියේ තබයි

තරගයේ හත්වැනි මිනිත්තුවේ දී පළමු වෙඩිමුරය තබන්නට ලිවර්පූල් කණ්ඩායම සමත් විය. ජෝර්ඩි ඇල්බාගේ අසාර්ථක වැළැක්වීමක් නායක හෙන්ඩර්සන් ගෝලය දෙසට යොමු කළ අතර බාසිලෝනා ගෝල රකින්නා වන Marc-Andre ter Stegen පන්දුව වැළැක්වුවත් නැවත පැමිණි පන්දුව Origi දක්ෂ ලෙස ගෝල රාමුවෙන් ඇතුළට යොමු කරන්නට සමත් විය.   

පළමු අර්ධය අවසානයේ දී ආබාධයකට ලක් වූ ඇන්ඩි රොබර්ට්සන් වෙනුවට Georginio Wijnaldum පිටියට එක්වූ අතර ඔහු සුපිරි ප්‍රහාරයක් දියත් කරමින් තරගය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සමත් විය.

ඇලෙක්සැන්ඩර් – ආර්නෝල්ඩ්ගේ හරස් පන්දු යොමු කිරීමක් Georginio Wijnaldum අලංකාර ලෙස දැල වෙත යොමු කළ අතර බාසිලෝනා ගෝල රකින්නාගේ අතපසුවීමෙන් පන්දුව දැල තුළට ගියේ 54 වැනි මිනිත්තුවේ දීයි.

ඊට මිනිත්තු දෙකකට පසු නැවත ක්‍රියාත්මක වූ Wijnaldum, Xherdan Shaqiriගේ තවත් හරස් පන්දු යොමු කිරීමක් සිය හිසෙන් දැල් වෙත යොමු කළේ මුළු ගෝල ගණන 3-3ක් බවට පත් කරමිනි.

නිදා සිටි බාසිලෝනා ආරක්ෂක ක්‍රීඩකයින්ට තවත් රිද්ද වූ Origi කෝනර් අවස්ථාවකින් පැමිණි පන්දුව පහසුවෙන් දැල වෙත යොමු කළේ ලිවර්පූල් ප්‍රේක්ෂකයින් ද මවිත කරමිනි.

Virgil Van Dijk හා Joel Matip සුපුරුදු පරිදි පසුපෙළ ආරක්ෂක ක්‍රීඩකයින් ලෙස ඉමහත් මෙහෙයක් ඉටු කළ අතර පසුගිය වර රියාල් මැඩ්රිඩ් කණ්ඩායම හමුවේ අවසන් මහා තරගය පරාජය වුනත් මෙවර ඔවුන් අවසන් මහා තරගයට පිවිසෙන්නේ ජයග්‍රහණයට ජනප්‍රියම කණ්ඩායම ලෙසයි,

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<