දෝණිට තවත් අවුරුදු 5ක් ක්‍රීඩා කරන්න පුළුවන් ලු!

IPL 2023

552

මෙවර IPL තරගාවලියේ දී ද Chennai Super Kings කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් සිය විශිෂ්ට නායකත්ව හැකියාව පිළිබිඹු කිරීමට සමත් වී සිටින MS Dhoni මෙවර තරගාවලියෙන් පසු IPL පිටියට සමුදේවි ද යන්න මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත් වී තිබෙනවා.

මේ පිළිබඳ අදහස් පළ කරන පිරිසකගේ අදහස වන්නේ මෙය Dhoniගේ අවසන් IPL තරගාවලියේ වනු ඇති බවයි. නමුත් තවත් පිරිසක් විශ්වාස කරන්නේ Dhoni මෙතැනින් ද නොනැවතී තවත් ඉදිරියට යනු ඇති බවයි.

නමුත් මේ වට විට 41ක් වැනි වියේ පසු වන Dhoni නම් මේ පිළිබඳ ව තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැහැ. එමෙන් ම ඔහු මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තරගවල දී ඉනිමේ අවසන් භාගයේ දී පිටියට පිවිසෙමින් සිය උපරිමය කණ්ඩායම වෙත ලබා දීමට සෑම විටම උත්සාහ ගන්නා අයුරු ද දක්නට ලැබුණා. එමෙන් ම මෙවර ඔහු සිය දණහිස පෙදෙසේ යම් ආබාධයකින් පෙළෙමින් ක්‍රීඩා කරන බවත් දැන ගන්නට ලැබෙනවා.

නමුත් හිටපු ඉන්දීය ක්‍රිකට් තරුවක් වන Yusuf Pathanගේ විශ්වාසය වන්නේ නම් Dhoniට තවත් වසර 5ක් පමණ ක්‍රීඩා කිරීමට හැකියාව ඇති බවයි.

“ඇයි Dhoni ඉවත් විය යුතු, අලුත් Impact Player නීතිය සමඟ ඔහුට තවත් අවුරුදු පහක් ක්‍රීඩා කරන්න පුළුවන්. ඔහු නායකයා නොවෙන්න පුළුවන්, නමුත් රසිකයින්ට ඔහුව පිතිකරුවෙක් ලෙස සහ CSKහි උපදේශකයකු ලෙස දකින්න පුළුවන් වේවි.

ඔහු සමුගැනීම ගැන කිසිම දෙයක් කියලා නැහැ, අනිත් අය තමයි ඒ ගැන කතා කරන්නේ. ඔහු තුල තවත් ගොඩක් ක්‍රිකට් ඉතුරු වෙලා තියෙනවා. ඔහු සිය දණහිසේ වේදනාව නොතකා IPL තරගාවලියේ දී විශාල හයේ පහරවල් එල්ල කළා. මෙය ක්‍රීඩාව වෙනුවෙන් ඔහු තුල ඇති කැපවීම පෙන්නුම් කරනවා.”

එමෙන් ම Pathanගේ අදහසට බොහෝ සෙයින් සමාන අදහසක් දරන චෙන්නායි පිතිකරණ පුහුණුකරු Mike Hussey විසින් ද පවසන්නේ Dhoniට තවත් වසර 5ක් පමණ ක්‍රීඩා කිරීමට හැකියාව ඇති බවයි.

“ඔහු තවමත් හොඳින් පිතිකරණයේ යෙදෙනවා. ඔහු ඉනිම අවසානයේ ඇවිත් ඉනිම හොඳින් අවසන් කරන අයුරු අපි දකිනවා. ඔහුට තවමත් හයේ පහර එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ඔහු ඒ හැකියාව සමඟ කණ්ඩායමට දායකත්වය ලබා දෙනවා. ඔහුට තවත් වසර පහක් ඉදිරියට යන්න බැරි වෙන්නෙ හේතුවක් නැහැ.”

ඉන්දීය පුවත් සේවයක් වන PTI වෙත අදහස් දක්වමින් Hussey විසින් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, Dhoniගේ දණහිසේ ආබාධය නිසා ඔහු හැකි තරම් පසු පසින් පිතිකරණයේ යෙදීමට උත්සාහ ගන්නා බවත් එසේ පැමිණ ඉනිමට අවශ්‍ය වේගවත් අවසානය ලබා දීමට උත්සාහ ගන්නා බවයි.

මේ අතර පසුගිය දා Kolkata Knight Riders කණ්ඩායමට එරෙහි ව Chennai හි Chepauk (MA Chidambaram) හිදි ක්‍රීඩා කළ තරගයෙන් අනතුරුව Dhoniට රසිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුනා.

එමෙන් ම අද (20) දිල්ලියේ දී ද ඔහුට එවැනි ම රසික ප්‍රතිචාරයක් හිමි වූ අතර එම ප්‍රතිචාර මධ්‍යයේ ම Delhi Capitals කණ්ඩායමට එරෙහිව Chennai Super Kings ක්‍රීඩා කළ තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ද Dhoni විසින් සමත් වුනේ තවත් IPL Play-Off තරග වටයක් කරා චෙන්නායි කණ්ඩායම රැගෙන යමිනුයි.

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<