මාලිංග නැවතත් Mumbai Indians සමඟ එක් වෙයි!

IPL 2024

2801
Lasith Malinga appointed as mumbai indians fast bowling coach

හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2024 IPL තරගාවලියේ දී Mumbai Indians කණ්ඩායම සමඟ නැවත එක් වීමට නියමිත බව වාර්තා වනවා. 

ක්‍රීඩකයකු ලෙස IPL තරගාවලියේ දී මාලිංග විසින් නියෝජනය කළ එක ම කණ්ඩායම වන Mumbai Indians කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවයි මෙවර මාලිංග හට හිමි වී තිබෙන්නේ. 

ඒ අනුව වසර 9ක් මුළුල්ලේ Mumbai Indians කණ්ඩායමේ වේගපන්දු පුහුණුකාර ධුරයේ කටයුතු කළ නවසීලන්තයේ Shane Bond හට එම වගකීමට සමු දීමට සිදු වනවා. 

2021 වසරේ දී ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව 2022, 2023 වර්ෂ වල දී Rajasthan Royals කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස මාලිංග විසින් කටයුතු කළ අතර, ඊට ප්‍රථම ඔහු විසින් 2018 වසරේ දී Mumbai Indians කණ්ඩායමේ උපදේශකයකු ලෙස ද කටයුතු කළා. 

නමුත් පසුව 2019 වසරේ දී මාලිංග නැවතත් Mumbai Indians සමඟ ක්‍රීඩකයකු ලෙස සම්බන්ධ වෙමින් සිව්වැනි IPL ශූරතාවය ජයග්‍රහණය කිරීමට Mumbai Indians වෙත සිය උපරිම සහයෝගය ලබා දුන්නා. 

සමස්තයක් ලෙස මාලිංග විසින් Mumbai සමඟ ශූරතා 5ක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. 

ඒ අතුරට IPL ශූරතා 4ක් (2013, 2015, 2017, 2019) සහ 2011 Champions League T20 ශුරතාවය ඇතුළත් වනවා. 

එමෙන්ම Mumbai Indians කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස තරග 139ක් ක්‍රීඩා කර ඇති මාලිංග විසින් කඩුලු 195ක් දවා ගැනීමට සමත් වී තිබීම ද විශේෂත්වයක්. 

එමෙන්ම එයින් කඩුලු 170ක් IPL තරගාවලිය අතරතුර දවා ගැනීමට සමත් වී ඇති මාලිංග මේ වන විට IPL ඉතිහාසයේ හය වැනි (සම) ඉහළම කඩුලු ලාභියා ලෙස ද සිය නම සටහන් කර ගැනීමට සමත් වී තිබෙනවා. 

මේ අතර මාලිංගගේ පැමිණීමත් සමඟ Mumbai Indians පුහුණු කාර්ය මණ්ඩලයෙන් ඉවතට යනු ඇති බව අනුමාන කළ හැකි Bond විසින් 2015 වසරේ පටන් MI වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළා. එමෙන්ම ILT20 තරගාවලිය වෙනුවෙන් සහභාගී වන Mumbai කණ්ඩායම වන Mumbai Emirates හි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ද Bond විසිනුයි. එම කණ්ඩායම සමඟ ඔහුගේ ඉදිරි වගකීම් කෙසේ ද යන්න පිළිබඳ තවමත් හෙළිදරව් වී නැහැ. 

මේ අතර හිටපු ඉන්දීය කඩුලු රකින්නකු සහ තේරීම් කමිටු ප්‍රධානියකු වන MSK Prasad හට Super Giants කණ්ඩායම් වල (IPL හි Lucknow Super Giants සහ SA20 තරගාවලියේ Durban Super Giants කණ්ඩායම් වල) උපාය මාර්ගික උපදේශක තනතුර හිමි වී තිබෙන බවත් ඉන්දියාවෙන් වාර්තා වනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<