වනිඳුට සහ චමීරට ආසියානු කුසලානය අහිමි වෙයි!

Asia Cup 2023

6520

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පු දෙකක් වන වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර යන ක්‍රීඩකයින් දෙදෙනාට ම එළඹෙන ආසියානු කුසලානය වෙනුවෙන් සහභාගී වීමේ අවස්ථාව අහිමි වනු ඇති බව Daily FT විසින් වාර්තා කරනවා.

නිමා වුනු LPL තරගාවලියේ B-Love Kandy කණ්ඩායමට නායකත්වය දෙමින් තුන් ඉරියව්වෙන් ම විශිෂ්ට දක්ෂතා දැක්වීමට ද සමත් වූ වනිඳු හසරංග Galle Titans සමඟ පැවැත්වුණු Qualifier 2 තරගය අතරතුර පාදයේ ආබාධයකට ලක් වුනා. නමුත් ඔහු එම තරගයේ දී තම ආබාධය ද නොලසකා හරිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට කැප වී ක්‍රීඩා කළා.

නමුත් දැන් එම ආබාධය නිසා වනිඳුට ආසියානු කුසලානය සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔහු වෙනුවට තවත් පා දඟපන්දු යවන්නෙකු වන දුශාන් හේමන්ත සංචිතයට ඇතුළත් වනු ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

මීට අමතරව වනිඳුගේ නායකත්වය යටතේ B-Love Kandy සමඟ තරග හතරක් පමණක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව නැවතත් උරහිසේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන දුශ්මන්ත චමීර හට ද එළඹෙන ආසියානු කුසලානය අහිමි යනු ඇති බව වාර්තා වනවා.

නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ද ආබාධයක් නිසා මඟ හැරුණු චමීර LPL තරගාවලියේ දී නැවත ක්‍රීඩා පිටියට පිවිසුනත් එය බොහෝම සීමිත කාලසීමාවකින් නැවතත් වෙනස් වුනා.

වසරකට පමණ ආසන්න කාලයක් තිස්සේ ආබාධවලින් පීඩා විඳිමින් සිටින චමීර අවසන් වරට ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 32ක් අතරින් සහභාගී වී ඇත්තේ තරග දෙකකට පමණයි.

ආසියානු කුසලාන සංචිතයේ චමීරගෙන් හිස් වන ස්ථානය වෙනුවෙන් කසුන් රාජිතට අවස්ථාව හිමි වනු ඇති බවත් දැන ගැනීමට ලැබෙනවා.

මොවුන් දෙදෙනාගේ අහිමි වීම වත්මන් ආසියානු ශූරයින් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බළඇණියට මරු පහරක් වනු ඇති බව අනුමාන කළ හැකි.

මීට අමතරව ආසියානු කුසලානය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා සහ දුනිත් වෙල්ලාලගේ යුගලයට නැවතත් ශ්‍රී ලංකා සංචිතයට එක් වීමට වරම් හිමි වී ඇති බවත් Daily FT විසින් වාර්තා කරනවා.

ආසියානු කුසලානය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය මෙසේයි;

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, දුශාන් හේමන්ත, මහීශ් තීක්ශණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, ලහිරු කුමාර, ඩිල්ශාන් මදුශංක, මතීෂ පතිරණ

මෙම මස 30 වැනිදා පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය ලෙස අගෝස්තු 31 වැනිදා බංග්ලාදේශය මුණ ගැසීමට නියමිතයි.

2023 ආසියානු කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Daily FT ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<