යුද හමුදාවේ කඩුලු දඩයම්කරු – කෞමාල්

639

නිමා වූ Major League ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා දිනා ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ කෞමාල් නානායක්කාර.

ඔහු මීට පෙර පැවති Emerging ක්‍රිකට් තරගාවලියේ දී ද දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගන්නවා.

“ලොකු ගමනක හොඳ ආරම්භයක් කියල හිතෙනවා. මේ සම්මානයට නිර්දේශ වීම ගැන ගොඩාක් සතුටු වුනා. මගේ වෙහෙසට, කැපවීමට ලැබුණ ත්‍යාගයක්. මේ පිටුපස මගේ ගෙදර සියලුම දෙනා වගේ ම මගේ කණ්ඩායමේ සියලුම දෙනාමත් ඉන්නවා. ඒ වගේම මගේ පළමු පුහුණුකරුගේ සිට මේ වන විට මගේ පුහුණුකරුවන් ලෙසින් සිටින සියලුම දෙනාමත් මේ ජයග්‍රහණය පිටුපස සිටිනවා,” කෞමාල් තමන් ලැබූ සම්මානයේ මතකයන් සමඟම ThePapare.com එක්ව කතාව ආරම්භ කළා.

Major League තරගාවලියේ කෞමාල්ගේ කඩුලු ලබා ගැනීම
තරග 1 2 3 4 5 6 7 8 9 10 11
පළමු ඉනිම 5/46 6/90 5/100 5/76 4/77 6/33 2/79 1/27 5/46 0/56 0/51
දෙවැනි ඉනිම 8/75 7/56 2/59 6/39 2/94 2/11

(1.බ්ලුම්ෆීල්ඩ් 2. පානදුර 3. නුගේගොඩ 4. NCC 5. බදුරලිය 6. Ace කැපිටල් 7. මීගමුව 8. ටැමිල් යූනියන් 9. නාවික හමුදාව 10. හලාවත මේරියන්ස් 11. ගුවන් හමුදාව)

වමතින් දඟපන්දු යවන 23 හැවිරිදි කෞමාල් මෙවර තරගාවලියේ දී තරග 11ක දී කඩුලු 66ක් ලබා ගන්නා ලද අතර මීට පෙර පැවැති Emerging ක්‍රිකට් තරගාවලියේ දී ද කඩුලු 50ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පිට පිට සංවිධානය කළ තරගාවලි දෙකක දී ම දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලැබීමට කෞමාල් සමත් වෙනවා.

Emerging තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වෙමින්

Emerging තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වෙමින්

“පිට පිට තරගාවලි 2ක දී හොඳම පන්දු යවන්නා සම්මානවලින් පිදුම් ලැබිම ගැන ගොඩාක් සතුටුයි. මේ දක්ෂතා මට, මං ගැන ම විශ්වාසයක් ඇති කරනවා. ඒ වගේ ම බලාපොරොත්තු සහගත ගමනකට මේක ලොකු ශක්තියක්. මේ ගමන දිගට ම මේ විදිහට තියාගන්න උත්සාහ කරනවා.” කෞමාල් පවසන්නේ දැඩි අධිශ්ඨානයකින් යුක්තවයි.

කෞමාල්ගේ ගම පානදුරේ. පාසල් යන්නත් කලින් සිට ම ඔහුගේ හොඳම ගජයා වුනේ ජනිඳු ඉනුවර. ඒ යාළුකම පෙර පාසල් සමයේත් ඊට පසුව පාසල් සමය දක්වාත් නොකඩවා පවතිනවා.

“ජනිත් තමයි මාව ක්‍රිකට් ගහන්න පෙළඹෙව්වේ. එයා තමයි මුලින් ම පානදුර ක්‍රිකට් ඇකඩමියට ගියේ. ඒ ගිහිල්ලා ටික දවසකින් මමත් යනවා. අපේ ගෙදර අයවත් කැමති කර ගත්තේ ජනිත්. ඔහුත් සමඟ තිබෙන යාළුකම අදටත් තියෙනවා.”

කෞමාල්ගේ තාත්තා රවින්ද්‍ර නානායක්කාර මහතා, පෞද්ගලික ආයතනය සේවය කරනවා. අම්මා රංජනී නානායක්කාර මහත්මිය. පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනවා. මේ නිසා දෙන්න ම කාර්ය බහුලයි. නමුත් කෞමාල්ගේ ක්‍රිකට් ජීවිතයේ දී මේ දෙන්නගේ පෞද්ගලික කාර්ය බහුලත්වය පසෙකින් තබන්න දෙපාරක් හිතන්නේ නැහැ.

කෞමාල් සහ ජනිඳු

ගෙදර කෞමාල්ගේ අක්කා හෂිනි කෞෂල්‍යා සහ අත්තම්මා කරුණාවතී නානායක්කාර මහත්මිය ද සිටින බැවින් ඔවුන්ට මේ වෙනුවෙන් කාලය කළමනාකර ගන්න පහසුයි.

පුංචි කෞමාල්, පානදුර ක්‍රිකට් ඇකඩමියේ පුහුණුවට ගිය දවසේ සිට ම මේ අයට ගෙදර වැඩවලට අමතරව වැඩ රාශියයි. ඒ කෞමාල්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට සහාය වෙන්න සහ ඔහුගේ ක්‍රිකට් කතන්දර අහන්නත් සිදුවීමයි. අම්මත්, තාත්තත්, අක්කත් මේ වැඩවලින් මඟ හැර ගියත් ආත්තම්මාට නම් කෞමාල් ව මඟ හරින්න ලැබෙන්නේ නැහැ.

“දන්න කියන කාලයේ සිට ම කතාව ක්‍රිකට් විතරමයි. ගෙදර සියලුම දෙනාගෙන් ම පුදුම විදිහේ සහයෝගයක් ලැබුණේ. අදටත් ඒ විදිහට ම ඔවුන් මගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල කැපවීමක්, සොයා බැලීමක් කරනවා,” කෞමාල් පවසනවා.

කෞමාල්ගේ පළමු ක්‍රිකට් පුහුණුකරු වෙන්නේ ජයතු නිලවීර මහතා. ඒ වෙද්දි කෞමාල් වමතින් වේගපන්දු යවන්නෙක්. නමුත් ජයතු තමයි කියන්නේ දඟපන්දු යවමු කියලා.

“මගේ වැඩි කැමැත්ත තිබුණෙ වේගපන්දු යවන්න. නමුත් ජයතු සර් කිව්වට පස්සේ මගේ ඒ කැමැත්ත දඟපන්දු පැත්තට යොමු වුනා. අද වන විට ජයතු සර්ගේ ඒ මඟ පෙන්වීම මට ආශිර්වාදයක් වෙලා තියෙනවා,” කෞමාල් තම පළමු පුහුණුකරුගේ සේවය අගයමින්  ගෞරවනීය ව සිහිපත් කරනවා.

කෞමාල් මුලින් ම පාසල් යන්නේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට. සුමංගලේ සිටිද්දී වයස අවුරුදු 13න්, 15න්, 17න් මෙන් ම 19න් පහපහළ කණ්ඩායම්වලට ක්‍රීඩා කරන්න කෞමාල් සමත් වෙනවා. ඒ අතරතුර මොරටු විද්‍යාලය සමඟ පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරග 2කට සහභාගී වීමට ද කෞමාල් සමත් වෙනවා.

කෞමාල් තම ආදරණීයයන් සමඟ

කෞමාල් තම ආදරණීයයන් සමඟ

මේ අතරින් ඔහුගේ ක්‍රිකට් දිවියේ පළමු ස්වර්ණමය අවස්ථාවක් ලෙසින් හැඳින්වෙන්නේ, වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ 20 දෙනෙක්ගෙන් යුත් සංචිතයට තේරී පත් වීමයි. මැලේසියා සංචාරයක් වෙනුවෙන් නම් කෙරුණ එම කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙසයි කෞමාල් අවසන් තේරීම් තරගවල දී තේරී පත් වෙන්නේ.

කෙසේ වෙතත් එහි පෑ දක්ෂතා හේතුවෙන් ඔහුට ප්‍රීමා කුසලාන පළාත් තරගාවලියේ කොළඹ – දකුණ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබෙනවා.

“ජයතු සර්ට අමතර ව සුමංගලේ දී මගේ ක්‍රිකට් ගුරුවරු වුනේ උෂාන්ත ගුණරත්න සර් සහ කැලුම් රත්නවීර සර්. ඔවුන් යටතේ ලැබූ පුහුණුවත් සමඟයි මට පළාත් තරගාවලියේ දී වගේ ම අනෙක් තරගවල දී ද දක්ෂතා දැක්වීමට ලැබෙන්නේ. ඒ දක්ෂතාත් සමඟ මට මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට පිවිසෙන්න වරම් ලැබෙනවා.”

කෞමාල් වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම වෙනුවෙන්. එම තරග සමය අවසන් වෙද්දී කෞමාල් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමටත් සුදුසුකම් ලබා ගන්නවා.

ඒ අනුව 2016/17 වසර සඳහා පළමු වරට වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක්වෙන ඔහු එම වසර නිමා කරන්නේ කඩුලු 56ක් ලබා ගනිමින්. එම වසරේ ම වේල්ස් කුමාර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාල අතර පැවැත්වෙන මොරටු රන් සටනේ දී දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගැනීමට ඔහු සමත් වෙනවා.

මොරටු රන් සටනේ දක්ෂතම පන්දු යවන්නා වෙමින්

අනතුරුව පැවති වසරේ දී පාසල් ක්‍රිකට් තරග සමයේ දී කඩුලු 86ක් ලබා ගන්නා කෞමාල් එවර පැවැති මොරටු රන් සටනේ දී ද දක්ෂතම පන්දු යවන්නා ලෙසින් පිට පිට දෙවැනි වරටත් සම්මාන දිනා ගැනීමට සමත් වෙනවා.

පාසල් ක්‍රිකට් සමයේ අවසන් අවුරුද්දේ දී කෞමාල් කඩුලු 110ක් ලබා ගත්ත ද ඔහුට මොරටු රන් සටනේ දී වාර්තාගත යමක් කිරීමට හැකි වෙන්නේ නෑ. නමුත් එම වසරේ දී පාසල් වර්ණ දිනා ගැනීමට ඔහු සමත් වෙනවා.

“වේල්ස් කුමාර විද්‍යාලයට පිවිසීමත් සමඟ මගේ ක්‍රිකට් ජීවිතයේ විශාල වෙනසක් සිදු වෙනවා. ඒ වෙද්දී මම පුහුණුව ලැබුවේ කුෂාන් ජයවික්‍රම සර් සහ කල්ප ප්‍රනාන්දු සර් යටතේ. ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ තව දුරටත් පන්දු යැවීම ප්‍රගුණ කළ මම පාසල් යන අතර ම වයස අවුරුදු 23න් පහළ පළාත් තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 23ක් ලබා ගනිමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය දිනා ගන්නවා. ඒ වගේ ම එම අවුරුද්දේ පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ තරග පිටියට පිවිසීමටත් හැකි වෙනවා.

පාසල් කාලයෙන් පසුව කෞමාල් දිගින් දිගට ම පානදුර ක්‍රීඩා සමාජය සමඟ එක් වෙමින් පුහුණුවීම් කටයුතු කරනවා.

“පානදුර ක්‍රීඩා සමාජය සමඟ එක් වෙමින් මම පළමු පෙළ තරග 7කට පමණ ක්‍රීඩා කරනවා. ඔය කාලයේ දී කොරෝනා වසංගතය නිසා කාලයක් ගෙදරට වෙලා සිටිද්දී යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙන්න කියල ආරාධනාවක් ලැබෙනවා.”

එය තරමක අභියෝගාත්මක ආරාධනාවක් බවයි, කෞමාල් පවසන්නේ. යුද හමුදා ක්‍රිකට් සංචිතයේ නම රැන්දූ දක්ෂ දඟපන්දු යවන්නන් රාශියකගෙන් සමන්විතයි. සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න සහ මහීෂ් තීක්ෂණ ඒ අතර ප්‍රමුඛයි.

“අභියෝගාත්මක තීරණයක් වුණත් මම ඒ ආරාධනාව පිළිගත්තා. මට ඔවුන්ගේ අභාෂයන් සමඟ මගේ ගමනක් යන්න පුළුවන් කියන හැඟීමයි ඊට මුල් වුණේ. ඔවුන් සමඟ එක් තරගයක් හෝ ක්‍රීඩා කරන්න ලැබුණොත් ඇති කියන තැන සිටිමිනුයි මම මේ තීරණය ගත්තේ. මම හිතනවා එම තීරණය තමයි මම මගේ ක්‍රිකට් ජීවිතයේ ගත් ඉතා ම නිවැරදි තීරණය කියලා. අද ඔවුන්ගේ ආශිර්වාදයත් එක්කයි මම මේ ගමන යන්නේ.”

ඒ ගමනේ දී ප්‍රධාන පුහුණුකරු රොජර් විජේසූරිය මහතා, අජන්ත මෙන්ඩිස් මහතා සහ සහන් පීරිස් මහතා ඇතුලු පුහුණුකරුවන් වෙතින් ලැබෙන සහයෝගය මිල කළ නොහැකි බවයි කෞමාල් පවසන්නේ.

“ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. තරගයෙන් තරගයට, පිතිකරුවෙක්ගෙන් පිතිකරුවෙක්ට අපි අපේ ඉලක්කයන්වලට යන්නේ කොහොම ද කියලා ඔවුන් නිතර උගන්වනවා. මම විශ්වාස කරනවා මට මේ වගේ Wicket ප්‍රමාණයක් ගන්න හැකි වුනේ ඒ උපදෙස් නිසා කියලා. ඒ වගේ ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රීඩාංගණය මැද දී වගේ ම ඉන් පිටතදීත් දීපු උපදෙස් සහ මා සමඟ ක්‍රීඩා කළ සහ පුහුණු වුණ සෑම කෙනෙක් ම දැක් වූ දායකත්වයත් ගොඩාක් වටිනවා. ඔවුන් සෑම කෙනෙක් ම මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ සියලුම දෙනාටමත් ස්තූති වන්ත වෙනවා,” කෞමාල් තමන්ගේ ගමනේ දී සහයෝගය දැක් වූ සැම සිහිපත් කළේ ඒ ආකාරයෙන්.

“ඔවුන් වගේ ම මගේ අම්මා, තාත්තා, අක්කා, ආච්චි සහ නෑදෑයන්, අසල්වාසීන් සහ මගේ යාළු මිත්‍රයන්ගෙන් ලැබෙන සහයෝගය කියා නිම කරන්න බැහැ. ක්‍රිකට් නිසා ම මම ඔවුන්ගේ වීරයෙක් වෙලා. හැම තරගයක් අවසානයේ ම ඔවුන් මගෙන් බලාපොරොත්තු වන්නේ මගේ සාර්ථකත්වය. ඔවුන් ඒ වෙනුවෙන් මට ආශිර්වාද කරනවා. මට ඔවුන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක්. ඔවුන්ටත් මගේ ස්තූතිය පුද කරනවා.”

සෑම ක්‍රීඩකයෙක්ගේ ම සිහිනයක් තිබෙනවා. කෞමාල්ටත් ඒකෙ වෙනසක් නැහැ.

“ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ශ්‍රී ලංකා Emerging Team එකේ ස්ථානයකට එන්න. ඒ ඉලක්කයත් සමඟ පුහුණුවීම්වල නිරත වෙනවා. ලැබෙන පළමු අවස්ථාවේ සිට ම දක්ෂතා අතරට එන්නයි බලාපොරොත්තුව. ඒ වගේ ම ඊට පසුව A Team එකත් එක්ක එකතු වෙලා මගේ දක්ෂතා මුදා හරින්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් විශාල තරගකාරීත්වයක් තියේවි. ඒ අභියෝගයට මම සූදානම්. අවසානයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දක්වා පැමිණෙන්නනයි බලාපොරොත්තුව,” කෞමාල් ThePapare.com සමඟින් පැවසුවා.

ඔහුගේ එම බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com කණ්ඩායමේ සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<