පාකිස්තානුවන්ගේ ලෝක කුසලාන සිහින චාරිකාව

354

1992 වසරේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවති බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ පාකිස්තානු කණ්ඩායමයි.

එවර ලෝක කුසලානය ජය ගැනීම තෙක් පාකිස්තානුවන් පැමිණියේ ඇදහිය නොහැකි ගමනක්. බොහෝ දෙනෙකු පාකිස්තානයේ ජයග්‍රහණය බලාපොරොත්තු නොවූවක් වුනා.  මේ ලිපියෙන් විස්තර කරන්නේ, 1992 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් පාකිස්තානුවන් ගිය ගමනේ  සැඟවී ගිය කතන්දර කිහිපයක්.

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය පාකිස්තානු කණ්ඩායමේ මූලික සංචිතයට ජාවෙඩ් මියැන්ඩෑඩ් ඇතුලත්ව හිටියේ නෑ.

ඒකට හේතුව තමයි මියැන්ඩෑඩ් ලෝක කුසලානයට කලින් ලාහෝර් නුවර තිබුණ පුහුණු කඳවුරක දී පිට කොන්දේ ආබාධයකට ලක්වීම. හැබැයි මියැන්ඩෑඩ් නැති වීම පිටුපස කතාන්දර ගොඩක් තිබුණා.

එයින් එකක් විදියට කියවුණේ නායක ඉම්රාන් ඛාන්ගේ බලපෑම. ඉම්රාන් එක්ක තිබුණ නොහොඳ නෝක්කාඩු ප්‍රශ්න මියැන්ඩෑඩ්ගේ ඉවත් කිරීමට බලපාපු බව තමයි මියැන්ඩෑඩ් එයාගේ ස්වයංචරිතාපදානයේ පවා ලියලා තිබුණේ.

පිතිකරණ ලැයිස්තුවේ ඉහළ පහළ යැවීම සහ ඔහුට සුපුරුදු නොම්මර හතර ස්ථානයෙන් ඉවත් වන්නට කළ ඉල්ලීම මියැන්ඩෑඩ් ප්‍රතික්ෂේප කර තිබීම මේ ප්‍රශ්න තවත් උග්‍ර කර තිබුණා.

ජාවේඩ් මියැන්ඩෑඩ් කියන්නේ ලෝක කුසලාන කිහිපයක් ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායමේ හිටිය අත්දැකීම් බහුලතම පිතිකරුවා. ඒ වෙද්දී සීමිත පන්දුවාර තරගවල පාකිස්තානයෙන් බිහි වෙච්ච හොඳම පිතිකරුවා. එහෙව් මියැන්ඩෑඩ් නැතුව තමයි පාකිස්තානු කණ්ඩායම එදා ඕස්ට්‍රේලියාවට එන්නේ.

මේ පුහුණු කඳවුරේ දී ආබාධයකට ලක්වූ එකම පාකිස්තානු ක්‍රීඩකයා ජාවේඩ් මියැන්ඩෑඩ් නෙවෙයි.

පාකිස්තානුවන් ඒ වෙද්දී සොයා ගෙන තිබුණු වේගපන්දු තුරුම්පුව වකාර් යුනිස්ටත් කොන්දේ ආබාධයක් ඇතිවෙලා තිබුණා. වකාර් කියන්නේ අධික වේගයෙන් යෝකර් පන්දු එහෙම යවන්න පුළුවන් ඉම්රාන් සතුව හිටපු හොඳ ඉදිරිපෙළ සටන්කාමියෙක්. ඇත්තටම වකාර්ට සම කරන්න පුළුවන් තවත් කෙනෙක් පාකිස්තානුවන්ගේ සංචිතයේ හිටියේ නෑ.

මේ වෙද්දී පාකිස්තානු පන්දු බලඇණියේ ප්‍රබලම සාමාජිකයා වසීම් අක්‍රම් හිටියේ සුදු පන්දුවේ දෝලනය හරිහැටියට පාලනය කරගන්න බැරි තැනක. ඒ වගේම දකුණත් පිතිකරුවාගෙන් ඉවතට යන පන්දුවට ඔහුගේ ආයුධ ගබඩාවෙන් ගිලිහි ගිහින් තිබුණා. පුහුණු දැල්වල දී වසීම් උපරිමයෙන්ම උත්සහ කළේ තමන්ගෙන් නැවත ඒ පන්දුව තමන්ගේ ග්‍රහණයට ගන්න.

ලෝක කුසලානයට කලින් තිබුණ පෙරහුරු තරගවල දී කණ්ඩායමේ දඟපන්දු යවන්නා වෙච්ච මුෂ්ටාක් අහමඩ් පන්දු යැව්වෙත් ඉතාම දුර්වල ආකාරයෙන්. කඩුලු කිහිපයක් දවා ගත්තත්, ඒ සියල්ල පිතිකරුවන්ගේ දුර්වල පහරවල් නිසා දැවී ගිය කඩුලු වුනා.

බොහෝ විට මුෂ්ටාක් අවසන් ක්‍රීඩකයින් 14 දෙනාගේ සංචිතයෙන් ඉවතට යැවෙන බවක් පේන්න තිබුණේ. තවත් පා දඟපන්දු යවන්නෙකු පාකිස්තානුවන්ගේ මූලික සංචිතයේ සිටියා. ඔහු නමින් ඉක්බාල් සිකන්දර්.

කෙසේ වෙතත් මේ ක්‍රීඩකයින් දෙදෙනා අතරේ දෝලනය වෙමින් තිබූ සංචිතයේ ප්‍රධාන දඟපන්දු යවන්නාගේ ස්ථානය දිනා ගැනීමට මුෂ්ටාක් අහමඩ් සමත් වුනා. ඒ අවසන් මොහොතේ ඉම්රාන් ඛාන් ගත් ක්ෂණික තීරණයක් නිසා. නමුත් තිස්තුන් හැවිරිදි ඉක්බාල් සිකන්දර්ටත් අවසන් ක්‍රීඩකයින් 14 අතරේ ඉඩක් වෙන්වී තිබුණා.

පාකිස්තානු පිතිකරණ ලැයිස්තුවත් මේ වෙද්දී ඒ තරම් උසස් මට්ටමින් දස්කම් පෑවේ නැහැ. ලෝක කුසලානයට කලින් තිබුණ පෙරහුරු තරග 8ක දී පාකිස්තානු කණ්ඩායමට ලකුණු 200 සීමාව ඉක්මවන්න පුළුවන් වුනේ අවස්ථාවක දී පමණයි.

පාකිස්තානු පිතිකරණ ලැයිස්තුව පෙන්වූ දුර්වලතාවය ජාවේඩ් මියැන්ඩෑඩ් නම් පරිණත පිතිකරුවාට නැවත ලෝක කුසලානයකට සහභාගී වීමේ වරම් උදා කර දුන්නා.

‘අපිට ආපහු ජාවේඩ් ඕන’ යන පණිවිඩය පාකිස්තානයට ලැබෙන්නට වැඩි දවසක් ගියේ නෑ.

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයට සහභාගී වූ රටවල්වල නායකයින් සමූහ ඡායාරූපයකට මුහුණ දෙමින්

හරියටම 1992 පෙබරවාරි 14 වැනිදා මියැන්ඩෑඩ් ඕස්ට්‍රේලියාවේ සිටි පාකිස්තානු කණ්ඩායම සමඟ එක් වුනා. ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් දින තුනක් ගෙවන තැන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පෙරහුරු තරගයේ දී ලකුණු 80ක් වාර්තා කර ගැනීමට මියැන්ඩෑඩ් සමත් වුනා.

මේ වෙද්දී නායක ඉම්රාන් ඛාන් යහපත් ශරීර සෞඛ්‍යයකින් පසු වුනෙත් නැහැ. ඉම්රාන්ගේ උරහිසේ ආබාධය වැඩි වෙමින් තිබූ අතර තරග කිහිපයක් මගහැරෙන ආකාරයකුත් පෙනෙන්නට තිබුණා.

පිතිකරුවෙක් විදියට සලීම් මලික් හිටියෙත් ඉතාම දුර්වල තත්වයක. ජාවේඩ් මියැන්ඩෑඩ් පැමිණීමත් මලික් වෙත තිබූ උපනායකත්වය මියැන්ඩෑඩ් වෙත පැවරීමත් නිසා ඔහු එතරම් සතුටකින් හිටි බවක් පෙනුණේ නැහැ.

ඉජාස් අහමඩ්ගේ පිතිකරණයත්, පන්දු යැවීමත් දුර්වල අඩියකට වැටෙමින් තිබුණා. නවක ක්‍රීඩකයෙක් ලෙස පැමිණි ඉන්සමාම් උල්හක් ඕස්ට්‍රේලියානු තණතිලිවලට හැඩ ගැහෙන ස්වරූපයක් පෙනෙන්නට තිබුණේ නැහැ.

පාකිස්තානුවන් සිය ලෝක කුසලාන ගමන ආරම්භ කළේ මේ ආකාරයෙන්. මෙවන් තත්ත්වයක් යටතේ ආරම්භ කළ සිය ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළ පාකිස්තානුවන්ට මුල් තරග කිහිපය මොනම ආකාරයකින්වත් යහපත් වුනේ නැහැ.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති තරගය පාකිස්තානුවන් පරාජය වුනේ කඩුලු 10කින්. එංගලන්ත කණ්ඩායම සමඟ තරගයේ දී ඔවුන් සියලුම ක්‍රීඩකයින් දැවී රැස් කළේ යාන්තම් ලකුණු 74ක්. මේ තරගයට වර්ෂාවෙන් බාධා ඇති වෙච්ව නිසා කණ්ඩායම් දෙකටම සමානව ලකුණු බෙදිලා ගියා. ඊට පස්සේ පාකිස්තානු කණ්ඩායම ඉන්දියාවටත් පැරදුණා.

හැබැයි ඉම්රාන් ඛාන් කියන නායකයා වැඩේ අතාරින්න සූදානම් වුනේ නෑ. ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය යන රටවල් තුනම එංගලන්තය එක්ක තරගයේ දී ලැබිච්ච ලකුණකුත් එක්ක අවසාන පූර්ව තරගයට පැනගන්න පාකිස්තානය සමත් වුනා.

ඒ වෙනකල් ලෝක කුසලාන තරගාවලියේ හොඳටම කරපු කණ්ඩායමක් වෙච්ච නවසීලන්තය තමයි ඔවුන්ට අවසාන පූර්ව තරගයේ දී මුණ ගැහෙන්නේ. තරගය පැවැත්වෙන්නෙත් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඊඩන් පාක් ක්‍රීඩාංගණයේ දී. හැබැයි ඒ තරගයේ දී නවසීලන්තයේ ඉරණම් ගමන තීරණය කරන්න පාකිස්තානුවන් සමත් වුනා. ඒකට මූලිකත්වය ගත්තේ ඉන්සමාම් උල්හක් කියලා අවුරුදු විසිදෙකක තරුණයෙක්.

නායක ඉම්රාන් ඛාන්ගේ විශ්වාසයට උපරිම සාධාරණයක් ඉටු කළ තරුණ ඉන්සමාම් උල්හක්

මේ තරගයට එද්දී ඉන්සමාම්ට උදරයේ ආබාධයක් නිසා ක්‍රීඩා කරනවා ද, නැද්ද කියලා දෙගිඩියාවෙන් හිටියේ. හැබැයි ඉම්රාන් ඛාන්ගේ දැඩි ඉල්ලීම නිසා ඔහු මේ තරගය ක්‍රීඩා කරනවා.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්සමාම්ගේ දායකත්වය පන්දු 37කින් ලකුණු 60ක්. පාකිස්තානුවන් ජයග්‍රහණය කරද්දී එක පැත්තක නොදැවී ක්‍රීඩා කරමින් හිටියේ ජාවේඩ් මියැන්ඩෑඩ්. ඒ පරිණත අර්ධ ශතකයක් සමඟින්.

අවසන් පූර්ව තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ක්‍රීඩාංගණය: ඊඩන් පාක්, ඕක්ලන්ඩ්
  • කාසියේ වාසිය: නවසීලන්තය

නවසීලන්තය 262/7 (පන්දුවාර 50): මාර්ටින් ක්‍රෝ 91 (83), වසීම් අක්‍රම් 2/40, මුෂ්ටාක් අහමඩ් 2/40

පාකිස්තානය 264/6 (පන්දුවාර 49): ඉන්සමාම් උල්හක් 60 (37), ජාවෙඩ් මියැන්ඩෑඩ් 57 (69), විලී වොට්සන් 2/39

පාකිස්තානුවන්ට කඩුලු හතරක ජයක්.

  • තරගයේ වීරයා: ඉන්සමාම් උල්හක්

ලෝක කුසලාන අවසන් මහා තරගයට එද්දී පාකිස්තානු කණ්ඩායම දස්කම් අතින් උපරිම තලයට පැමිණෙමින් තිබුණේ.

අවසන් මහා තරගයේ දී පිත්තෙන් වැඩිම දායකත්වයක් දෙන්නේ නායක ඉම්රාන් ඛාන්. පාකිස්තානු කණ්ඩායමේ මුල් කඩුලු දෙක අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය මොහොතක පාකිස්තානු නායකයා සහ උපනායකයා තෙවැනි කඩුල්ලට ලකුණු 139ක අනගි සබඳතාවයක් ගොඩ නගනවා. එංගලන්ත කණ්ඩායමට ඔවුන් ලබා දෙන ඉලක්කය ලකුණු 250ක්.

පාකිස්තානය වෙනුවෙන් අවසන් මහා තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා වෙන්නේ මුෂ්ටාක් අහමඩ් අතින්. හැබැයි පන්දු යැවීමෙන් අදටත් කතා වෙන දස්කමක් දක්වන්න සමත් වෙන්නේ වසීම් අක්‍රම්.

පිට පිට පන්දු දෙකක දී ඇලන් ලෑම්බ් සහ ක්‍රිස් ලුවිස් දවා ගන්න අක්‍රම් යවපු පන්දු දෙක ලෝක කුසලාන ඉතිහාසයේ අමරණීයම පන්දු දෙකක්. මේ දස්කම ගැන කියද්දී අක්‍රම් කියන්නේ අදටත් ඒ පන්දු දෙක ගැන එයාට හිතාගන්නවත් බෑ කියලා.

අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ක්‍රීඩාංගණය: මෙල්බර්න් ක්‍රීඩාංගණය
  • කාසියේ වාසිය: පාකිස්තානය

පාකිස්තානය 249/6 (පන්දුවාර 50): ඉම්රාන් ඛාන් 72 (110), ජාවේඩ් මියැන්ඩෑඩ් 58 (98), ඩෙරික් ප්‍රින්ගල් 3/22

එංගලන්තය 227 (පන්දුවාර 49.2): නීල් ෆෙයාබ්‍රදර් 62 (70), මුෂ්ටාක් අහමඩ් 3/41, වසීම් අක්‍රම් 3/49

පාකිස්තානුවන්ට ලකුණු 22ක ජයක්.

  • තරගයේ වීරයා: වසීම් අක්‍රම්

අන්න ඒ විදියට තමයි එදා පාකිස්තානුවන් කවුරුත් නොහිතපු විදියට ලෝක කුසලානයක් මෙල්බර්න් නුවර දී දිනා ගත්තේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<