Major League පිටිය කැලඹුවෝ

SLC Major League Cricket Tournament 2022

197
SLC Major League Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major League ක්‍රිකට් තරගාවලිය අවසන් වූයේ පිට පිට ම තෙවැනි වතාවටත් CCC කණ්ඩායම ශූරතාව හිමි කර ගනිමින්. එහි අනු ශූරයන් වූයේ ටැමිල් යූනියන් කණ්ඩායමයි.

අවසන් මහා තරගයෙන් අනතුරුව තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ කෞමාල් නානායක්කාර ද, දක්ෂතම පිතිකරු ලෙසින් මූවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර ද සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මධුශ්ක ද සම්මාන ලැබූවා.

අවසන් මහා තරගයේ ශූරයා වූයේ ජයග්‍රාහී CCC කණ්ඩායමේ චමිඳු විජේසිංහ.

මෙම සිව්දෙනාට අමතරව මෙවර තරගාවලියේ වඩාත් දක්ෂතා දැක්වූවන් අතර ටෙස්ට් තරග 10ක්, එක්දින ජාත්‍යන්තර තරග 4ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 2ක් ක්‍රීඩා කර ඇති මූවර්ස් ක්‍රීඩා සමාජයේ රමේෂ් මෙන්ඩිස් ද ටෙස්ට් තරග 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 2ක් ක්‍රීඩා කර ඇති SSC කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය ද වෙනවා.

රමේෂ් මෙම තරගාවලියේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ඉහළින් ම ශ්‍රේණිගත වෙද්දී ප්‍රභාත් පන්දු යවන්නන් අතරින් පළමුවැනියා වීමට සමත් වෙනවා.

නිශාන් මධුශ්ක (තරගාවලියේ වීරයා)

රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන 23 හැවිරිදි දකුණත් පිතිකරු නිශාන් මධුශ්ක මෙවර තරගාවලියේ පිතිකරු ලැයිස්තුවේ පළමුවැනියා වෙමින් පිතිකරුවන් අතරින් වඩාත් ආකර්ශනීය ක්‍රීඩකයා බවට පත් වෙනවා.

ඔහු මෙවර තරගාවලිය අවසන් කරන්නේ තරග 10ක ඉනිම් 15ක දී ලකුණු 1229ක් ලබා ගනිමින්. එහි සාමාන්‍ය 94.53ක්.

නිශාන් සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 300ක් වාර්තා කරමින්  තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා බවට ද පත් වෙනවා. එම ඉනිම වෙනුවෙන් ඔහු පන්දු 414කට මුහුණ දෙන අතර හතරේ පහර 26ක් සහ හයේ පහරක් ඊට ඇතුළත් කරනවා.

ඊට අමතරව ගාල්ලට එරෙහිව ලකුණු 150ක් සහ ලකුණු 100ක්, BRCට එරෙහිව ලකුණු 107ක් සහ පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 125ක් ලබා ගන්නා ලද අතර තරගාවලියේ වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරු බවට ද ඔහු ඒ සමඟ පත්වුනා.

ඊට අමතරව ඔහු විසින් වාර්තා කරන ලද අර්ධ ශතක ප්‍රමාණය 6ක්.

ඔහු ලකුණු 1000 සීමාව වාර්තා කරන්නේ ඉනිම් 9ක දී වන අතර තරගාවලියේ දී පිට පිට ඉනිම් 3ක ශතක 3ක් වාර්තා කිරීමට ද සමත් වෙනවා. එම ඉනිම් 3 අවසානයේ දී ඔහු ලබා සිටි ලකුණු ප්‍රමාණය 550ක්.

මෙවර තරගාවලිය නිමා කරන විට ඔහු තම පළමු පෙළ ලකුණු 3000 සීමාව පසු කිරීමට සමත් වුනා. මේ වෙද්දී ඔහු පළමු පෙළ තරග 36ක දී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 3025ක්. එහි සාමාන්‍ය 59.31ක්.

පසිඳු සූරියබණ්ඩාර (තරගාවලියේ දක්ෂතම පිතිකරු)

මූවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන පසිඳු සූරියබණ්ඩාර මෙවර තරගාවලියේ පිතිකරු ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වෙනවා.

23 වැනි වියේ පසුවෙන දකුණතින් පන්දුවට පහර දෙන පසිඳු තරග 10ක ඉනිම් 15ක දී ලකුණු 1091ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 77.92ක්.

ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 133ක්, SSC කණ්ඩායමට එරෙහිව ලකුණු 123ක් කළුතර නාගරික සමාජයට එරෙහිව ලකුණු 181ක් සහ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 195ක් ඇතළත් ව තවත් අර්ධ ශතක 4ක් මේ ලකුණු අතරට ඇතුළත් කිරීමට ඔහු සමත් වෙනවා.

පසිඳු මේ දක්වා සහභාගී වී ඇත්තේ පළමු පෙළ තරග 15ක ඉනිම් 21කට පමණයි. එම ඉනිම් නිමාවේ දී පසිඳු ලකුණු 1208ක් ලබා සිටින අතර එහි සාමාන්‍ය 60.40ක් ලෙසින් පවත්වා ගෙන යෑමට සමත් ව සිටිනවා.

පසිඳු තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් වෙන්නේ ද මෙම තරගාවලියේ දී. ඒ කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව පන්දු 287කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 195යි.

කෞමාල් නානායක්කාර (තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා)

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන කෞමාල් නානායක්කාර මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයට ලැයිස්තු ගත වෙනවා.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී නිමා වූ Major Club Emerging තුන් දින ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා තවමත් 23 වැනි වියේ පසුවෙන කෞමාල් වමතින් දඟපන්දු යවමින් මෙවර තරගාවලියේ දී තරග 11ක ඉනිම් 17ක දී පන්දු යවමින් කඩුලු 66ක් ලබා ගන්නවා.

එම ගමනේ දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නා ලද අවස්ථා 9ක් වාර්තා කිරීමට  කෞමාල් සමත් වෙනවා. එය මෙවර තරගාවලියේ දී එවැනි දක්ෂතාවක් දැක්වූ පන්දු යවන්නන් අතර පෙරමුණේ ලියැවුණ දක්ෂතාවයි.

ඒ අතරින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ලකුණු 75කට කඩුලු 8ක් දවා ගන්නා කෞමාල්, එය මෙවර තරගාවලියේ තමන්ගේ ඉනිමක හොඳම පන්දු යැවීම බවට වාර්තා පොත් අතරට එක් කරනවා.

එම තරගයේ දී පළමු ඉනිමේ දී ලකුණු 46කට කඩුලු 5ක් ද දවා ගන්නා කෞමාල් එම දක්ෂතාවේ එකතුව වන ලකුණු 121කට කඩුලු 13ක් දවා ගනිමින් එය තමන්ගේ පළමු පෙළ තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවීම බවට පරිවර්තනය කර ගන්නවා. එම දක්ෂතාවය ද මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් විසින් තරගයක පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් වාර්තා පොත් අතරට එක් වුනා.

ඊට අමතර ව NCC කණ්ඩායමට එරෙහිව ලකුණු 132කට කඩුලු 12ක් සහ Ace කැපිටල් කණ්ඩායමට එරෙහිව ලකුණු 72කට කඩුලු 12ක් දවා ගනිමින් තරගයක පෑ දක්ෂතා අතරට එක් කරනවා.

මේ දක්වා පළමු පෙළ තරග 18කට පමණක් ක්‍රීඩා කර ඇති කෞමාල්, ඉනිම් 19ක පන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 90ක්.

චමිඳු විජේසිංහ (අවසන් මහ තරගයේ වීරයා)

තවමත් 22 හැවිරිදි වියේ පසු වන CCC කණ්ඩායම නියෝජනය කළ චමිඳු විජේසිංහ අවසන් තරගයේ දී පෑ දක්ෂතා මත තරගයේ වීරයා සම්මානයෙන් පුදනු ලැබූවා. අසීරු ඉලක්කයක් කරා යන ගමනේ දී ඔහුගේ ශතක ඉනිම වඩාත් ප්‍රශංසනීය වූවා. පන්දු 246කින් සමන්විත ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වූ අතර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 139ක්.

ඔහුගේ මෙම සම්මාන ලැබූ ඉනිමේ දී අශාන් ප්‍රියංජන් එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 219ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූවා. එය මෙවර තරගාවලියේ 6 වැනි කඩුල්ල සඳහා වන හොඳම සබඳතා අතර දෙවැනි ස්ථානයට පත් වුනා.

එම දැවැන්ත සබඳතාවත් සමඟින් චමිඳු CCC වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දිනා ගත්තා. චමිඳු තරග 12ක ඉනිම් 14ක දී ලකුණු 674ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 67.40ක්. ඊට අවසන් තරගයේ දී ලබා ගත් ශතකයට අමතර ව පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 102ක් සහ කෝල්ට්ස්, කැන්ඩි කස්ටම්ස් සහ පොලිස් කණ්ඩායම්වලට එරෙහිව ලබා ගත් අර්ධ ශතක 3ක් ද ඇතුළත්.

එම තරගයත් සමඟින් චමිඳු මේ දක්වා පළමු පෙළ තරග 15කට ක්‍රීඩා කරමින් ඉනිම් 20ක දී ලකුණු 823ක් ලබා සිටිනවා. ඊට මෙවර එක් කළ ශතක 2 සහ තවත් අර්ධ ශතක 4ක් ඇතුළත්. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 58.78ක්.

රමේෂ් මෙන්ඩිස්

මූවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එහි නායකත්වයේ වගකීම ද කරට ගනිමින් කටයුතු කළ 27 හැවිරිදි වියේ පසුවෙන රමේෂ් මෙන්ඩිස් මෙවර තරගාවලියේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන් ම කියැවෙන ක්‍රීඩකයායි.

දකුණත් පිතිකරුවෙක් ලෙසින් මැදපෙළින් පිටියට පිවිසි රමේෂ් තරග 10ක ඉනිම් 14ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 818ක් වෙද්දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 43ක්.

පිතිකරුවෙක් ලෙස සාමාන්‍ය 53.33ක් රඳවා ගෙන සිටි රමේෂ් SSC කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 119ක්, BRC කණ්ඩායමට එරෙහිව ලකුණු 119ක් සහ කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව ලකුණු 134ක් මෙන් ම තවත් අර්ධ ශතක 4කින් ඔහුගේ පිතිකරු දක්ෂතා හැඩ වෙනවා.

මෙම දක්ෂතාත් සමඟින් ඔහු මෙවර තරගාවලියේ අවසන් තරගය ආරම්භ වීමට පෙර වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලැයිස්තුවේ 5 වැනි ස්ථානය ලබා ගැනීමට ද සමත් ව සිටියා.

දකුණතින් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් රමේෂ් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 43ක්. ඒ අතර කළුතර නාගරික සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායම්වලට එරෙහිව කඩුලු 5ක් බැගින් දවා ගැනීමට සමත් වෙන ඔහු CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 65කට කඩුලු 6ක් දවා ගනිමින් එය තමන්ගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් කර ගත්තා.

නායකයෙක් ලෙස සිය වගකීම් ඕනෑවටත් වඩා ඉටු කළ රමේෂ් තම කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා රැගෙන එනවා. ඔවුන් ලබා සිටි ප්‍රසාද ලකුණු ප්‍රමාණය 119.315ක්. එම ගමනේ දී ලංකන් කණ්ඩායමට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 104ක ජයක්, පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 193ක ජයක්, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 108ක ජයක් සහ BRC කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක් දක්වා තම කණ්ඩායම් රැගෙන යෑමට ද ඔහු සමත් වුනා.

මෙවර තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන සබඳතාවේ වාර්තාවට හිමිකම් කීමට ද රමේෂ් සමත් වෙනවා. ඒ පසිඳු සූරියබණ්ඩාර සමග එක් වෙමින් කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව සිව්වැනි කඩුල්ලට ලබා වාර්තා කරන ලද ලකුණු 305යි.

මෙවර තරගාවලිය අතරතුර දී රමේෂ්, පළමු පෙළ ලකුණු 3500 සීමාව සහ කඩුලු 150 සීමාව පසු කිරීමට ද සමත් වෙනවා. මේ වෙද්දී ඔහුගේ පළමු පෙළ තරග 65ක දක්ෂතා සටහන් වෙන්නේ ලකුණු 3527ක් සහ කඩුලු 172ක් ලෙසයි.

ප්‍රභාත් ජයසූරිය

SSC කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් ජයසූරිය මෙවර තරගාවලිය නිමා කරන්නේ වැඩිම කඩුලුලාභි ලැයිස්තුවේ පළමුවැනියා වෙමින්. ඔහු තරග 11ක ඉනිම් 19ක දී පන්දු යවමින් ලබා සිටින කඩුලු ප්‍රමාණය 67ක්.

වමතින් දඟපන්දු යවන 31 වියැති ප්‍රභාත් තම කඩුලු සංග්‍රාමයේ දී හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ පොලිස් කණ්ඩායමට එරෙහිවයි. ඔවුන්ගේ පළමු ඉනිමේ කඩුලු 7ක් ලකුණු 40කට දවා ගැනීමට ප්‍රභාත් සමත් වෙනවා.

ඉන් නතර නොවන ඔහු දෙවැනි ඉනිමේ ද ලකුණු 36කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 76කට කඩුලු 11ක් දවා ගන්නවා. එම දක්ෂතාව ඔහුගේ වාර්තා ගොන්නට එකතු වෙන්නේ මෙවර තරගාවලියේ තරගයක හොඳම දක්ෂතාව ලෙසයි.

ඊට අමතර කළුතර නාගරික සමාජයට එරෙහිව ලකුණු 107කට කඩුලු 8ක්, BRC කණ්ඩායමට එරෙහිව ලකුණු 181කට කඩුලු 11ක්, මූවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 203කට කඩුලු 8ක් සහ රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 173කට කඩුලු 11ක් ලෙසින් තරග නිමා කරමින් දක්ෂතා දැක්වූවා.

මෙම කඩුලු දඩයමත් සමඟින් ප්‍රභාත් මෙවර තරගාවලියේ දී තම පළමු පෙළ 300 වැනි කඩුල්ල ද දවා ගැනීමට සමත් වෙනවා. මේ දක්වා පළමු පෙළ තරග 76කට සහභාගී වී ඇති ප්‍රභාත් ලබා සිටින කඩුලු සංඛ්‍යාව 330ක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<