ගෙවුනු දවස අගෝස්තු 13 – ශ්‍රී ලංකාව පූර්ණ පරාජයක් අභියස

173
ගෙවුනු දවස අගෝස්තු 13 – ශ්‍රී ලංකාව පූර්ණ පරාජයක් අභියස

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් 

ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් අඳුරට

කලකට පෙර සමස්ත ලෝකයම පුදුම කළ වික්‍රමාන්විත ජයග්‍රහණ සහ වාර්තා රැසකට හිමිකම් කියූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට නැවත ගොඩගත නොහැකි ආකාරයේ දරුණු අගාධයකට ඇද වැටී තිබේ. ඊයේ (13) දෙවැනි දිනයට ක්‍රියාත්මක වූ ඉන්දු – ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගය ද තවදුරටත් කියාපෑවේ මෙම සරල සත්‍යයයි.

ශ්‍රී ලංකාවට මෙම තරගයත් ආරක්ෂා කර ගැනීම ඉතාමත් අපහසු වාතාවරණයක් ඇතිවී තිබෙන බැවින් ඉන්දියානුවන්ට ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ දී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් හිමිවීමට වැඩි ඉඩකඩක් ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව 2014 වසර නිමාවීමෙන් පසු මේ යන ගමනේ වෙනසක් සිදු නොවුනහොත් ශ්‍රී ලංකාව තවදුරටත් අපකීර්තියට පත් කරමින් විදෙස් රටවල් තවත් මේ ආකාරයේම පහසු ජයග්‍රහණය ලබා ගන්නා අයුරු ප්‍රේක්ෂකයින්ට කලකිරීමෙන් යුතුව බලා සිටීමට සිදු වනු ඇත.

සම්පූර්ණ වාර්තාව: දෙවැනි දිනය ගෙවෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් අඳුරෙන් අඳුරට!


වොලිබෝල්

ශ්‍රී ලංකා කාන්තාවෝ ප්‍රථම ජය වාර්තා කරති

පිලිපීනයේ දී පැවැත්වෙන 19 වන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ G කාණ්ඩය යටතේ, තරගාවලියේ 9-12 ස්ථාන තීරණය කිරීම සඳහා පැවැත්වෙන තරග වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමත් හොං කොං කණ්ඩායමත් අතර පැවති තරගය තරග වට 3-2ක් ලෙස ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලියේ පළමු වටයේ දී  C කාණ්ඩයෙන් තරග කළ අතර එහි දී ඔවුන් සහභාගී වූ තරග 3ම පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාව තරගාවලියේ 9-12 ස්ථාන තීරණය කිරීම සඳහා පැවැත්වෙන තරග වටය කරා යොමු කරනු ලැබීය.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය වාර්තා කරයි

දිනයක අවසානය