IPL ඉතිහාසයේ ශ්‍රී ලාංකීය සලකුණු

IPL 2023

1572

2023 ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය අවසන් වෙන්නේ මෙරට නියෝජනය කළ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ නියෝජනය කළ Chennai Super Kings කණ්ඩායමට ජයග්‍රහණය අත්කර දෙමින්.

පසුගිය වසරේ දී තරගාවලියට එක් වූ අලුත් ම කණ්ඩායම වූ Gujarat Titans එවර එහි ශූරතාව ද දිනා ගනිමින් පෑ බලපරාක්‍රමය ඉතා සංයමයකින් යුතුව මෙවර පරාජය කිරීමට Chennai Super Kings සමත් වුනේ කිසිවෙකුත් නොසිතූ අවසානයක් තරගාවලියට එක් කරමින්.

එම ජයග්‍රහණය කරා පැමිණි ගමනේ දී මෙරට ක්‍රීඩකයන් දෙදෙනා සුවිශේෂීත්වයේ ලා සැලකීමට Chennai Super Kings පාලකයෝ කටයුතු කරනු ලැබීම විශේෂත්වයක්. විශේෂයෙන් ම කණ්ඩායමේ නායක MS Dhoni නිරන්තරයෙන් ම මේ ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටීම වඩාත් පැසසිය යුතුයි.

මතීෂ සහ මහීෂ් යන දෙදෙනා ම මෙවර සේ ම පසුගිය වසරේ දී ද නියෝජනය කරනු ලැබුවේ Chennai Super Kings කණ්ඩායමයි.

එමෙන් ම මෙවර පැවති මෙම තරගාවලියේ දී මෙරට නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයන් අතරින් වඩාත් කතාබහට ලක් වූ ක්‍රීඩකයන් දෙදෙනා වූයේ ද ඔවුනුයි. ඒ අතරිනුත් වඩාත් විශේෂත්වයක් සහිත ක්‍රීඩකයා වූයේ 20 හැවිරිදි වියේ පසුවෙන මතීෂ පතිරණයි.

මතීෂ පතිරණ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වන විට තරග 12කට ක්‍රීඩා කරමින් කඩුලු 19ක් ලබා සිටි අතර එය එම කණ්ඩායම වෙනුවෙන් පන්දු යවන්නෙක් විසින් තෙවැනියට පෑ දක්ෂතාවයි. එමෙන් ම මහීෂ් තීක්ෂණ එම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය හිමිකර ගෙන සිටිනවා. ඔහු තරග 12කට එක් වෙමින් කඩුලු 11ක් ලබා ගෙන තිබෙනවා.

දකුණතින් වේගපන්දු යවන මතීෂ පතිරණ නිමා වූ ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය තුළ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු 10 දෙනා අතරින් 9 වැනි ස්ථානයට පත්වීමට ද සමත් වූ අතර මෙවර තරගාවලියේ දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයන් අතරින් වඩාත් කතාබහට ලක් වූ ක්‍රීඩකයා ලෙසින් ද හැඳින්වෙනවා.

ලසිත් මාලිංගට සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ පතිරණ Chennai Super Kings කණ්ඩායමේ නායක MS Dhoniගේ මෙන් ම කණ්ඩායම් පරිපාලකයන්ගේ ද වඩාත් විශ්වාසවන්ත පන්දු යවන්නා බවට පත්වීම ද ඔහු ලද භාග්‍යයක්. ඒ නිසා ම ඔහු මේ වන විට ඉන්දියාවේ සුවිශේෂී පුද්ගලයෙක් බවට පත් ව සිටිනවා.

නිමා වූ වසරේ දී තම මංගල IPL තරගාවලියට සහභාගී වූ මතීෂ පතිරණ, මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට පෙර එම තරගාවලිය නියෝජනය කළ මෙරට පළමු ක්‍රීඩකයා බවට ද පත්වුනා. එමෙන් ම එම වසරේ දී ඔහු සහභාගී වූ පළමු තරගයේ දී තමන් විසින් යැවුණ පළමු පන්දුවේ දී ම කඩුල්ලක් දවා ගැනීමට සමත් වෙමින් කාගේත් කතාබහට ලක් වුනා.

මතීෂ පතිරණ එසේ ඉන්දීය ක්‍රිකට් පිටිය ආක්‍රමණය කරද්දී, මහීෂ් තීක්ෂණ IPL තරගාවලිය සමඟ එක් වෙන්නේ ප්‍රබල ශ්‍රී ලාංකීය විරෝධතාවක් සමඟයි.  ඔහු පළමු වරට Chennai Super Kings සමඟ එක් වෙද්දී ඉන්දීය දේශපාලනඥයන්ගේ ප්‍රබල විරෝධතාවක් මතු වෙනවා. ඒ යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ මහීෂ්, මෙරට පැවති යුද්ධයේ දී ද්‍රවිඩයන්ට එරෙහිව කටයුතු කළා යැයි පවසමින්.

ඒ කෙසේ වෙතත් මේ වෙද්දී ඒ සියලු චෝදනාවන් අභිබවා ඔවුන්ගේ දක්ෂතා මතින් ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පමණක් නොවේ පාලකයන් ද ග්‍රහණයට ගැනීමට මතීෂ සහ මහීෂ් සමත් ව තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා විසින් Chennai Super Kings වෙනුවෙන් පෑ දක්ෂතා හේතුවෙන්.

Chennai Super Kings කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ දක්ෂතා

Player Country Mat Inns Overs M Runs Wkts Best
1 Tushar Deshpande ඉන්දියාව 16 16 56.5 0 564 21 3/45
2 Ravindra Jadeja ඉන්දියාව 16 16 57.0 0 431 20 3/20
3 මතීෂ පතිරණ ශ්‍රී ලංකාව 12 12 46.2 0 371 19 3/15
4 Deepak Chahar ඉන්දියාව 10 10 34.0 0 297 13 3/22
5 මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකාව 13 13 49.0 1 392 11 2/23

මෙම ලැයිස්තුව අනුව කණ්ඩායම වෙනුවෙන් පළමු ස්ථානය ලද පන්දු යවන්නා වන්නේ මෙතෙක් ඉන්දීය ජාතික කණ්ඩායමේ අසුනක් වෙනුවෙන් සුදුසුකම් ලබා නොගත් ක්‍රීඩකයෙක්. ඔහු 32 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් වේගපන්දු යවන Tushar Deshpande.

මෙතෙක් විස්සයි විස්ස පිටියේ තරග 59කට ක්‍රීඩා කරමින් කඩුලු 83ක් ලබා සිටින Tushar Deshpande මේ දක්වා පළමු පෙළ, List A සහ විස්සයි විස්ස තරග රටා ත්‍රිත්වයේ දී කඩුලු 198ක් ලබා ගෙන දක්ෂතා දක්වමින් සිටින ක්‍රීඩකයෙක්.

පසුගිය වසරේ දී ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෝ 5 දෙනෙක් ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ ද, මෙවර එය 4ක් දක්වා පහළ බසිනවා. ඒ අතරින් වඩාත් විශිෂ්ට ම ක්‍රීඩකයා බවට පත් වූයේ Royal Challengers Bangalore සමඟ එක් වූ වනිඳු හසරංග.

නමුත් ඔහුට මෙවර තරගාවලිය එතරම් ම හිතකර වූයේ නැහැ. ආබාධිත තත්ත්වයක් හේතුවෙන් තරගාවලිය අතර මග දී නිමා කරන ඔහු ඒ දක්වා සහභාගී වූ තරග 8ක ඉනිම් 5ක දී ලබා ගන්නේ ලකුණු 33ක් පමණයි.

එම තරගවල දී පන්දුවාර 29ක් යවන ඔහු ලකුණු 258ක් ලබා දෙමින් ලබා ගන්නේ කඩුලු 9ක් පමණයි.

ඊට අමතර ව Punjab Kings නියෝජනය කළ භානුක රාජපක්ෂ ද මේ අතර වෙනවා. ඔහු ද තරගාවලිය අතරතුර දී ආබාධිත බවට පත් වෙද්දී තරග 4ක ඉනිම් 4ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 71ක් ලබා ගන්නවා.

ඒ සියලු දක්ෂතා අභිබවා යවමින් මතීෂ සහ මහීෂ් මෙරටින් ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් අතරින් වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වෙනවා.

මෙතෙක් පැවැති IPL තරග ඉතිහාසයේ අවසන් මහා තරග නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා ඔවුන්ගේ දක්ෂතා

වසර ක්‍රීඩකයන් හා දක්ෂතා කණ්ඩායම ප්‍රතිවාදීන් ප්‍රතිඵලය
2008 මුත්තයියා මුරලිදරන් 2/39 Chennai Super Kings Rajasthan Royals Royals කණ්ඩායමට කඩුලු 3ක ජයක්
චාමර කපුගෙදර

8 (12)

2010 මුත්තයියා මුරලිදරන්

1/17

Chennai Super Kings Mumbai Indians Super Kings කණ්ඩායමට ලකුණු 22ක ජයක්
2013 ලසිත් මාලිංග

0 (2) – 2/22

Mumbai Indians Chennai Super Kings Mumbai කණ්ඩායමට ලකුණු 23ක ජයක්
2015 ලසිත් මාලිංග

2/25

Mumbai Indians Chennai Super Kings Mumbai කණ්ඩායමට ලකුණු 41ක ජයක්
2017 ලසිත් මාලිංග

0/21

Mumbai Indians Rising Pune Supergiant Mumbai කණ්ඩායමට ලකුණක ජයක්
2019 ලසිත් මාලිංග

1/49

Mumbai Indians Chennai Super Kings Mumbai කණ්ඩායමට ලකුණක ජයක්
2023 මතීෂ පතිරණ 2/44 Chennai Super Kings Gujarat Titans Chennai Super Kings කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5ක ජයක්.
මහීෂ් තීක්ෂණ 0/36

මේ දක්වා පැවති IPL තරගාවලිවල දී අවසන් මහා තරග සඳහා සහභාගී වීමේ වරම් ලබා සිටින්නේ ක්‍රීඩකයන් 5 දෙනෙක් පමණයි. ඒ අතරින් ලසිත් මාලිංග අවස්ථා 4ක දී අවසන් මහා තරග 4කට සහභාගී වී ඇති අතර එම තරග 4 දී ම ඔවුන් ජයග්‍රාහකයන් බවට පත්වීමට සමත් වෙනවා.

අවසන් මහා තරගයට සහභාගී වූ ක්‍රීඩකයන් අතරින් මෙතෙක් පරාජය වී ඇත්තේ මංගල IPL තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගී වූ මුත්තයියා මුරලිදරන් සහ චාමර කපුගෙදර පමණයි.

මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයන් අතරින් පන්දු යවන්නන් අතරින් එක් තරගාවලියක දී වැඩිම කඩුලු ලබා සිටින මෙරට ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංග. ඔහු 2022 වසරේ දී Royal Challengers Bangalore නියෝජනය කරමින් තරග 16ක දී කඩුලු 26ක් ලබා ගනිමින් එකී දක්ෂතාව දක්වනවා.

කෙසේ වෙතත් වේගපන්දු යවන්නෙක් ලෙසින් එක් තරගාවලියක දී දවාගෙන ඇති වැඩිම කඩුලු ප්‍රමාණය දවා ගැනීමේ වාර්තාව සතු කර ගැනීමට මතීෂ පතිරණ මෙවර සමත් වෙනවා. ඔහු නිමා වූ තරගාවලියේ දී කඩුලු 19ක් දවා ගනිමින් ඊට හිමිකම් කියනවා. ඊට පෙර එම වාර්තාව සතු වූයේ ලසිත් මාලිංග වෙතයි. ඔහු  2019 වසරේ දී තරග 12ක දී කඩුලු 16ක් දවා ගනිමින් එකී වාර්තාවට හිමිකම් කීවා.

මෙවර IPL තරගාවලියේ ශ්‍රී ලංකා දක්ෂතා ගැන ඔබේ අදහස මොකද්ද? පහළින් Comment කරන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<