“රතු” හා “සුදු” අතර දෝලනය වන දිමුත්

1362

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මේ දිනවල බංග්ලාදේශයේ දී එක්දින තරගාවලියකට සහභාගී වෙන අතර එහි දී ඔහු සහභාගී වූ පළමු තරගයේ දී ම නොදැවී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා පමණක් නොව තරගය ජයග්‍රහණය කරා ද රැගෙන යනවා.

පසුගියදාක ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙන කතාවක් ද පැවසූ දිමුත්ගේ මේ සූදානම නැවත වතාවක් එක්දින පිටියේ ද සක්‍රීය ක්‍රීඩකයෙක් වීමට ද?

දිමුත් පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආක්‍රමණය කරන්නේ 2006 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් වෙමින්. ඒ මෙරට දී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වෙමින්. එහි දී දිමුත් තරග 6කට ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 159ක් ලබා ගන්නවා.

ඉන් අනතුරුව දිමුත් ශ්‍රී ලංකා A කණ්ඩායම ද සමග එක් වෙමින් පෑ දක්ෂතා හේතුවෙන් 2011 වසරේ ජූලි 09 වැනිදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනා ගන්නවා. ඒ අනුව පිටියට පිවිසෙන දිමුත්ගේ මංගල තරගයේ මංගල ඉනිම පන්දු 7ක ලකුණු 4කට සීමා වෙනවා.

නමුත් ඊට දින 4කට පසුව ස්කොට්ලන්තය සමඟ පැවති ඔහුගේ දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 60ක් වාර්තා කිරීමට සමත් වෙනවා. ඒ සඳහා දිමුත් පන්දු 82ක් වැය කරන ලද අතර හතරේ පහර 3ක් ඊට ඇතුළත් කරනවා.

එතැන් සිට දිමුත්ට නැවතත් අර්ධ ශතක ඉනිමක් ගොඩ නැගීමට ඉනිම් 11ක් ගෙවා දැමීමට සිදු වෙනවා. එම නිමා වූ ඉනිම්වල දී ඔහු ලබා ගත් ලකුණු එකතුව 126ක්. එහි ඉනිමක සාමාන්‍ය 12.6ක්.

මෙම අසාර්ථක ඉනිම්වල දී දිමුත් අංක 3, 4, 5 සහ 9 වැනි ස්ථානවලින් ද පන්දුවට පහර දීමට පිටියට පිවිසෙනවා. නමුත් ඒ වෙද්දී ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වූයේ එක්දින තරග 17ක, ඉනිම් 13ක දී ලකුණු 190ක්. එහි සාමාන්‍ය 15.83ක්.

මේ සමඟින් ම දිමුත්ට එක්දින පිටියේ දීර්ඝ නිවාඩුවක් ලැබෙනවා. 2015 වසරේ මාර්තු 1 වැනි දින පැවති එංගලන්තය සමඟ තරගයෙන් පසුව දිමුත් නැවත එක්දින තරගයක් සඳහා කැඳවෙන්නේ වසර 4කට පසුව 2019 වසරේ මැයි 21 වැනිදා.

ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින නායකත්වයේ කබාය පැළදි 23 වැනියා ද වෙමිනුයි.

ස්කොට්ලන්තය සමඟ පැවති එම තරගයේ දී දිමුත් පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 77ක් ලබා ගන්නවා. එය දිමුත්ගේ එක්දින පිටියේ දෙවැනි අර්ධ ශතකය වන අතර එම අර්ධ ශතක 2 ම ස්කොට්ලන්තයට එරෙහිව වාර්තා වීම ද සුවිශේෂී වෙනවා.

අනතුරුව ඊට දින 9කට පසුව පැවති නවසීලන්තය සමඟ තරගයේ දී ද අර්ධ ශතක ඉනිමක් ගොඩ නැගීමට දිමුත් සමත් වෙනවා. එහි දී ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගන්නවා. පන්දුවාර 29.2කට සීමා වූ ශ්‍රී ලංකා ඉනිමේ දී දිමුත් ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිස අවසන් පිතිකරුත් දැවී යන තෙක් තම කඩුල්ල රැක ගැනීමට සමත් වෙනවා. දිමුත්ගේ එක්දින තරග දිවියේ එවන් ඉනිමක් ක්‍රීඩා කළ පළමු සහ එක ම අවස්ථාවත් එයයි.

එම තරගයෙන් පසුව ක්‍රීඩා කළ දෙවැනි තරගයේ දී දිමුත් තමන්ගේ එක්දින තරග පිටියේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට සමත් වෙනවා. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. The Oval පිටියේ දී පැවති එම තරගයේ දී දිමුත් පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 97ක් ලබා ගන්නවා.

ඉන් අනතුරුව දිමුත්ට නැවතත් අර්ධ ශතක ඉනිමක් ගොඩ නැගීමට හැකි වෙන්නේ තරග 7කට පසුවයි. බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ කොළඹ SSC පිටියේ දී පැවති මෙම තරගයේ දී දිමුත් පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා. එය ඔහු එක්දින තරග පිටියේ මෙරට දී වාර්තා කරන ලද පළමු සහ එක ම අර්ධ ශතකයයි.

වසර 10ක් එක්දින ජාත්‍යන්තර පිටියේ රැඳී සිටි දිමුත් එක්දින තරග 34කට සහභාගී වෙමින් ඉනිම් 30ක දී අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 767ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය ලෙසින් දැක්වෙන්නේ 27.39ක්.

එම තරග අතරින් තරග 17කට නායකත්වය දෙන දිමුත් ඉන් තරග 10ක් ජයග්‍රහණය කරා මෙහෙයවන අතර තරග 7ක දී පරාජයට පත් වෙනවා.

මෙරට ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ක්‍රිකට් නායකයන් 17 දෙනෙක් අතරින් අඩුම එක්දින තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ නායකයන් අතරින් දිමුත් පසු වෙන්නේ දෙවැනි ස්ථානයේ. එහි පළමු ස්ථානය ටෙස්ට් තරග 4ක නායකත්වය දැරූ බන්දුල වර්ණපුර සතු වෙනවා. ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග 12කට පමණයි. දිමුත් ක්‍රීඩා කරන ලද එක්දින තරග ප්‍රමාණය 34ක්.

මේ අනුව බලන කල දිමුත්ට එක්දින ක්‍රීඩකයෙක් ලෙසින් තම දක්ෂතා දැක්වීමට ප්‍රමාණවත් තරම් අවස්ථාවක් ලැබී නොමැති බවයි බැලූ බැල්මට ම පෙනෙන්නේ. දිමුත්ගේ එක්දින තරග ලැයිස්තුවේ අවසන් තරගය ලෙසින් දැක්වෙන්නේ 2021 වසරේ මාර්තු 14 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති තරගයයි.

ඒ වෙද්දී ඔහුගේ අවසන් ඉනිම් 5 දක්ෂතාව අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 129ක්. එහි සාමාන්‍ය 25.8ක්.

ටෙස්ට් සහ එක්දින තරග රටා ද්විත්වයේ තරග 120ක පළපුරුද්දකින් හෙබි දිමුත්ට මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට එක් වීමට ආරාධනා ලැබී නැහැ.

කෙසේ වෙතත් දිමුත් List A කාණ්ඩයේ තරග 150ක ඉනිම් 142කට ක්‍රීඩා කරමින් ලබා සිටින ලකුණු ප්‍රමාණය 4496ක්. ඊට ශතක 6ක් සහ අර්ධ ශතක 28ක් ඇතුළත් වෙන අතර එහි තරගයක සාමාන්‍ය 34.58ක් වෙනවා. ඊට අමතරව සහභාගී වී ඇති ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග ප්‍රමාණය 34ක්. ඉන් ඉනිම් 33ක දී පිටියට පිවිසෙන දිමුත් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 543ක් වාර්තා කිරීමට සමත් වෙනවා.

මේ ගණනය කිරීම් අනුව දිමුත්ට එක්දින හෝ විස්සයි විස්ස පිටියේ ද රැඳී සිටීමට අවශ්‍ය තරම් දක්ෂතා සපුරා තිබෙන බවට සාක්ෂි තිබේ. නමුත් දිමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය කිරීමත් සමඟින් දේශීය පිටියේ දී ද දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.

ආසන්නත ම කාලයේ දී නිමා වූ ක්‍රීඩා සමාජ තුන් දින පළමු පෙළ තරගාවලිය, එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තරගාවලි ත්‍රිත්වයට ම දිමුත් සහභාගී වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම තරගාවලිය වන සුපර් ලීග් සිව්දින සහ එක්දින තරගාවලියේ ද දිමුත් දකින්නට ලැබෙන්නේ නැහැ. ඇතැම් විට ඊට හේතු වන්නට ඇත්තේ ද මේ ටෙස්ට් පමණක් යන වර්ගීකරණය කිරීම විය හැකි.

නමුත් අනෙකුත් තරග ද්විත්වයේ ද ක්‍රීඩා කරන්නේ නම් දිමුත්ට මේ තරමින් නිදහසේ සිටිය නොහැකියි. ඔහුට තම දක්ෂතා සක්‍රිය මට්ටමේ පවත්වා ගෙන යෑමට නම් වසරේ වැඩි දින ගණනක් ක්‍රීඩාංගණවල රැඳී සිටීමට සිදු වෙනු ඇත. වෘත්තීය ක්‍රීඩකයෙක්ට ගැළපෙන්නේ එවැන්නකි.

දිමුත් නුදුරු දිනයක දී වැඩි වශයෙන් එක්දින පිටියේ දී දකින්නට ලැබේවි යැයි ලියුම්කරුගේ විශ්වාසයයි. ඊට කදිම ආරම්භයක් මේ මස අග දී ආරම්භ වන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස තරගාවලියෙන් ගත හැකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<