ජපන් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලාංකිකයා

1142

ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ පසුගිය දා ජපානයේ කළ සංචාරයේ දී එරට ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ද හමුවෙනවා. ඒ සුපුන් තාරක නවරත්න.

“අපේ කණ්ඩායම් දෙකේ දක්ෂතා අතර ලොකු වෙනසක් තියෙනවා. ශ්‍රී ලංකාවෙන් සහභාගී වුනේ යොවුන් කණ්ඩායමක් වුනත්, අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. හැම තරගයක් ම අවසානයේ දී ඔවුන් තරගයට මුහුණ දීපු ආකාරය ගැන අපි අතර විශාල කතාබහකට ලක් වුනා. ඒ ලැබූ අත්දැකීම් අපි ඉදිරි තරගාවලියේ දී උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වෙනවා,” සුපුන් නවරත්න ThePapare.com සමඟ කතාබහට එක් වෙමින් පැවසුවා.

සුපුන් ජපාන ක්‍රිකට් සංචිත සමඟ එකතු වෙන්නේ 2015 වසරේ. ඒ වෙද්දී සුපුන් එරටට ගොස් වසරක් වත් ගෙවී නැහැ. එසේ කාලයක් තිස්සේ ඔවුන් සමඟ සිටි සුපුන්ට ජාත්‍යන්තර විස්සයි විස්ස මංගල වරම් හිමි වෙන්නේ 2022 වසරේ ඔක්තෝබරයේ දී. ඒ ඉන්දුනීසියා කණ්ඩායමේ ජපන් සංචාරයකට සහභාගී වූ අවස්ථාවේ දී. එතැන් සිට මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කර ඇති සුපුන් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 76ක්.

සුපුන් නිමා වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ තරග සංචාරයේ දී තරග 2ක ඉනිම් 2කට ක්‍රීඩා

කරමින් ලබා ගන්නේ ලකුණු 19ක් පමණයි. එය ජපන් පිතිකරු ලැයිස්තුවේ තෙවැනියට ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි දැක්වෙන්නේ.

“කණ්ඩායමක් ලෙස අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. විදෙස් කණ්ඩායමක් සමඟ අපට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මම විශ්වාස කරනවා මෙම සංචාරය ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව අලුත් ම මාවතකට යොමු කරන තරගාවලියක් වුනා කියලා.”

සුපුන්ට තිබෙන එම විශ්වාසය ජපන් ක්‍රිකට් ආයතනයට ද තිබෙනවා. 2024 ICC පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන නැගෙනහිර ආසියා ශාන්තිකර කලාපීය තරගාවලියට මේ වෙද්දී ජපාන කණ්ඩායම ද එක් ව තිබෙනවා. එම තරගාවලිය ජූලි 22 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඊට ජපානය සමඟ පැපුවා නිව්ගීනියාව, පිලිපීනය සහ Vanuatu යන රටවල් සහභාගී වීමට නියමිතයි.

“ජපන් ජාතික කණ්ඩායමට වඩා ගොඩක් ඉදිරියෙන් ශ්‍රී ලංකා 23න් පහළ කණ්ඩායම ඉන්නවා. ඒ ගැන විදේශයක ඉන්න ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලෙසින් ආඩම්බර වෙනවා වගේ ම අපේ රටේ කණ්ඩායමක් සමඟ අදහස් බෙදා හදාගන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා,” සුපුන් පවසනවා.

ජපානයට ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු සුපුන් හා හා පුරා කියා ක්‍රිකට් අත් පොත් තබන්නේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයෙන්. එහි වයස අවුරුදු 12න් පහළ කණ්ඩායමට එක් වෙන සුපුන් එම වයස් කාණ්ඩ තරගාවලිය නිමා කරන්නේ එතරම් ම දක්ෂතා දක්වමින් නොවේ. නමුත් වයස අවුරුදු 15න් පහළ තරගාවලියේ දී සුපුන් ජනාධිපති විද්‍යාලයීය කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා.

සුපුන් සිය පියා සමඟ

“මොන දේ වුනත් ඉගෙන ගැනීම අංක එකට කරන්න සිද්ධ වුනා. මේ නිසා සමහරක් දාට පුහුණුවීම් පවා මඟ හැරුණා. ඔය අතර තමයි මට තර්ස්ටන් එකට යන්න අවස්ථාව උදා වෙන්නේ.”

සුපුන්ගේ පියා කේ. එස්. නවරත්න මහතා විදුහල්පතිවරයෙක්. වර්තමානයේ ඔහු හෙට්ටියාවත්ත සාන්ත ජෝන්ස් විද්‍යාලයේ සේවය කරන්නේ. මව, ප්‍රියන්ති ජයතිලක මහත්මිය ජර්මන් නිවාඩු නිකේතන ආයතනයක පරිපාලන කටයුතුවලට සම්බන්ධ වී සිටිනවා.

“අම්මත් තාත්තත් කොතරම් කාර්ය බහුල වුනත් අපේ අධ්‍යාපන කටයුතු ගැන නිතර ම සෙවිල්ලෙන් සිටියා. ක්‍රිකට් පුහුණුවීම් කටයුතු මඟ හැරුනත්, අධ්‍යාපනය

කටයුතු මඟ හැරෙන්න බැහැ. මේ නිසා ක්‍රීඩාවත්, අධ්‍යාපනයත් සම සම ව ගෙනියන් සෑහෙන්න මහන්සි වෙන්න වුනා.”

ජනාධිපති විද්‍යාලයෙන් 2008 වසරේ දී තර්ස්ටන් විද්‍යාලයට පැමිණෙන සුපුන් එම වසරේ සිට ම විද්‍යාලයීය 19න් පහළ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා.

එහි උච්චත ම අවස්ථාව තමයි 2010 අවුරුද්ද. එම වසරේ පැවති තර්ස්ටන් – ඉසිපතන වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ දී උදාර මුණසිංහ සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 125ක සබඳතාවක් පිහිටුවනවා.

“වාර්ෂික මහා ක්‍රිකට් තරගයක දී පළමු කඩුල්ලේ සබඳතාව අපි දෙන්නට හිමි වුනා. ඒ වගේ ම එම තරගයේ දක්ෂතම පිතිකරු වගේ ම තරගයේ වීරයා සම්මානයත් මට හිමි වුනා. ඒ මතකය මට ගොඩක් වටිනවා.”

එම උත්තේජනයත් සමඟින් ඊළඟ වසරේ ද තර්ස්ටන් කණ්ඩායම සමඟ එක් වෙමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ සුපුන් ලකුණු 980ක් ලබා ගන්නවා. එය තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයෙක් එම තරග සමයේ දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

එම ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් සුපුන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව ලකුණු 120ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ එම වසරේ හොඳම ඉනිම බවට පත් වෙනවා. එමෙන් ම කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මහනුවර ධර්මපාල විද්‍යාලයට එරෙහිව ශතක වාර්තා කිරීමට ද ඔහු සමත් වෙනවා.

එමෙන් ම 2011 වසරේ පැවති Bata – The Sunday Times ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ශූරතාව රමිත් රඹුක්වැල්ල හිමි කර ගන්නා විට එහි අනුශූරතාව දිනා ගන්නේ සුපුන්.

“පාසලෙන් ඉවත් වෙද්දී ම මට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එක් වීමට අවස්ථාව උදා වෙනවා. ඒ වෙද්දී මම විදෙස් භාෂාවක් ලෙසින් ජපන් භාෂාව ඉගෙන ගනිමින් සිටි කාලය.

පාසල් කාලයට වඩා අධ්‍යාපනයත් ක්‍රීඩාවත් දෙක සම ව ගෙනියන්න හරි අමාරු කාලයක් උදා වුනේ. මගේ කැමැත්ත වුනේ දිගින් දිගට ම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්න. ඒ ගමන් පුළුවන් විදිහකට අධ්‍යාපනය කටයුතු කරන්න. නමුත් ගෙදරින් ඒකට කැමති වුනේ නැහැ. ඔවුන් කිව්වේ ක්‍රිකට් ඕන වෙලාවක ගහගන්න පුළුවන්. මුලින් ම අධ්‍යාපනය කටයුතු ඉවර කරල ඉන්න කියලයි.”

ඒ අනුව සුපුන් වසර 2ක ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් ජීවිතයට තිත තබමින් අධ්‍යාපනය වෙනුවෙන් වැඩි වැඩියෙන් නැඹුරු වෙනවා. ඒ අනුව ඔහු 2014 වසරේ දී ජපන් භාෂාව හැදෑරූ නිපුණයෙක් ලෙසින් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ජපානයට පිවිසෙනවා.

“මම ජපානයට ඇවිත් නීතිය හදාරන්න ගත්තා. ඒක විශාල අභියෝගයක්. ඒත් මම ලංකාවේ දී ඒ වෙනුවෙන් සුදුසුකම් සපුරා තිබූ නිසා ලොකු වාසියක් වුනා.”

සුපුන්ගේ අධ්‍යාපනය කටයුතු ඒ ආකාරයෙන් සිදු වූව ද, ක්‍රිකට් පිස්සුව නම් ඔහුගේ ඔළුවෙන් ගිහින් තිබුණේ නැහැ. අධ්‍යාපනය කටයුතු කරමින් සිටින අතර සුපුන් බැලුවේ කොහේට හරි ගිහිල්ලා ක්‍රිකට් ගහන්න.

“මම ජපානෙට එද්දී වගේ ම අදටත් මෙහේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත අය දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඇත්ත ම කිව්වොත් මෙහේ අයට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වැය කරන්න කාලයක් ලැබෙන්නෙ නැහැ. ඒත් මගේ හොයා බැලීම අඩුවක් වුනේ නැහැ.”

ජපානයට ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ අර්ධ සාමාජිකත්වය පිරිනැමෙන්නේ 2005 වසරේ දී. තවමත් ඔවුන් සිටින්නේ එම තත්ත්වයේ. එරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන්නේ ද ක්‍රීඩා සමාජ කිහිපයක් පමණයි.

“මට Tokyo Max ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙන්න අවස්ථාව උදා වෙනවා. සම්බන්ධ වූ පළමු අවුරුද්දේ ම සහභාගී වූ තරග 5ට ශතක 4ක් ගහන්න පුළුවන් වුනා. එදා සිට අද දක්වා ම මම ක්‍රීඩාවේ නිරත වෙන්නේ එම කණ්ඩායමත් සමඟ. දැනට එම කණ්ඩායමේ වගේ ම ජපාන බටහිර ප්‍රාන්ත කණ්ඩායමේ ද නායකත්වයේ කටයුතු කරනවා. මේ කාලය තුළ මෙරට පළමු පෙළ තරගාවලිවල තරගයේ වීරයා, තරගාවලියේ වැඩිම වටිනාකමක් සහිත ක්‍රීඩකයා වගේ සම්මාන අවස්ථා කිහිපයක දී ම දිනා තිබෙනවා.”

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව තවමත් පවතින්නේ ආරම්භක අවධියේ සේ ම බවයි සුපුන් පවසන්නේ. බොහෝ විට පුහුණුවීම් පවා සිදු කෙරෙන්නේ සති අන්තයේ නිවාඩු දිනවල දී පමණක්ලු.

“රජයෙන් පවා මේ ගැන ලොකු සෙවීමක් කරන්නේ නැහැ. ක්‍රීඩාංගණ පවතින නගර සභා මගින් තමයි ක්‍රිකට් පාලනය වෙන්නේ. ළඟ දී පාර්ලිමේන්තුවේ ක්‍රිකට් වෙනුවෙන් කමිටුවක් පත් කළා. ඔවුන්ගේ මැදිහත් වීමෙන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම වුනත් මේ රට ට ආවේ. අපේ රටේ වගේ ක්‍රිකට් සංස්කෘතියක් මේ රටේ කවදා බිහි වේවි ද කියල හිතා ගන්නවත් බැහැ.”

සුපුන් ජාතික කණ්ඩායම සමඟ එක් වී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුනත්, තම අධ්‍යාපන කටයුතු ද අමතක කළේ නැහැ. ඔහු මේ වන විට ජපානයේ නීති උපාධිධාරියෙක්. තව දුරටත් නීතිය හදාරමින් සිටින සුපුන්ගේ බලාපොරොත්තුව එරට අධිකරණයේ විනිසුරු මඩුල්ල හා එක් වීමයි.

සුපුන්ගේ අධ්‍යාපනය කටයුතුවලට වගේ ම ක්‍රිකට් ජීවිතයට ද ආශීර්වාද කරන්නන් අතර අම්මාත් තාත්තත් පළමු වෙන් ම සිටින බවයි සුපුන් පවසන්නේ. එමෙන් ම මල්ලිලා දෙදෙනා ද මේ වෙනුවෙන් අවධානයෙන් පසු වෙන බවත් ඔහු පවසනවා. වැඩිමල් සහෝදරයා නඳුන් නවරත්න ද ජපානයේ ම උසස් අධ්‍යාපනය හදාරන අතර බාල සහෝදරයා පසන් නවරත්න ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන බවයි ඔහු පැවසුවේ.

“ඒ අයගෙත් ආශීර්වාදය ඇතිව පුළුවන් කාලයක් ක්‍රීඩාවේ නිරත වීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර ප්‍රමුඛ බලාපොරොත්තුව 2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය.”

සුපුන්ගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ජපානයේ පිහිටි MI International ආයතනය අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් ව සිටිනවා. එහි හිමිකරු වන්නේ තවත් ශ්‍රී ලාංකිකයෙක් වන ඉසුරු ජයසේකර මහතා. ඔහුට ද ස්තුති කිරීමට සුපුන් අමතක කළේ නැහැ.

“ගොඩක් දෙනෙක් ජපානයට එන්න සිහින දකිනවා. ඔවුන්ට මෙරට සිටින කෙනෙක් ලෙස මම කියන්නේ අතරමං නොවී මෙහේ ඉන්න නම් මුලින් ම හොඳින් භාෂාව ඉගෙන ගන්න

කියලා. භාෂාව ඉගෙන ගත්තා නම් ජපානයට එන්න කිසිම අපහසුවක් නැහැ. මෙරට අධ්‍යාපනය අංක 1. ඊට පස්සෙ තමයි අනෙක් හැමදේම,” සුපුන් නවරත්න ThePapare.com සමඟ පැවසුවා.

ජපාන ක්‍රිකට් කණ්ඩායම හා එක් ව සිටින සුපුන් තාරක නවරත්නට ක්‍රීඩාවේත් අධ්‍යාපනයේත් තවත් දිගු ගමනක් යෑමට ThePapare.com උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<