Semi Final දම්වැලක මුල් පුරුක “ගිහාන්”

99
Gihan Rupasinghe

එක ළඟ එක පැවැති තරගාවලි ත්‍රිත්වයක දී තම කණ්ඩායම් අවසන් පූර්ව වටය දක්වා රැගෙන ඒමට කෙනෙක් සමත් වෙන්නේ නම් ඒ ඉතා කලාතුරකින්. මෑත ඉතිහාසයේ ඒ විරල සිදුවීම වාර්තා කිරීමට ගිහාන් රූපසිංහ සමත් වෙනවා.

ඒ ඔහු පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කරන Moors ක්‍රීඩා සමාජය මේ වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන ලද ප්‍රධානත ම තරගාවලි 3ක දී අවසන් පූර්ව වටය දක්වා රැගෙන එමිනුයි. එහි ආසන්නත ම දක්ෂතාව වන්නේ මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට  Moors කණ්ඩායම සමත් වීමයි.

මෙම තරගාවලියේ පළමු වටය පසුගිය දා අවසන් වෙද්දී Moors ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 79.51ක් ලබා ගනිමින් A කාණ්ඩයෙන් පළමු අසුන වෙන් කර ගන්නවා. එය මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ප්‍රසාද ලකුණු ප්‍රමාණයයි.

“අභියෝගාත්මක තරග කිහිපයක් ම නිමා කරමිනුයි අපි මේ ගමන පැමිණියේ. ඒ ගමනේ දී ශතක 3ක් සහ අර්ධ ශතක 7ක් අපේ පිතිකරුවෝ රැස් කරනවා. ලකුණු 700 ඉක්ම වූ පිතිකරුවෙක්, ලකුණු 450ක් ඉක්ම වූ පිතිකරුවෝ දෙදෙනෙක් ද සහ ඒ වගේ ම කඩුලු 20කට වැඩියෙන් ලබා ගත් පන්දු යවන්නෝ දෙදෙනෙක් සහ කඩුලු 10ත් 15ත් අතර ලබා ගත් පන්දු යවන්නෝ දෙනෙක් ද අපි අතර සිටිනවා. ඒ දක්ෂතා මතිනුයි අපි මේ ගමන මේ දක්වා පැමිණ තිබෙන්නේ. මම විශ්වාස කරනවා මට මෙම තරගාවලියේ දීත් පෙර තරගාවලියන්වල දී වගේ ම මගේ ක්‍රීඩකයන් මනාව කළමණාකරණය කර ගැනීමට හැකි වූවා.“ ගිහාන් රූපසිංහ මේ වෙද්දී ක්‍රියාත්මක Major Club වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තම කණ්ඩායමේ ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දැක් වූයේ එලෙසිනුයි.

මෙම තරගාවලියට පෙර ගිහාන් රූපසිංහ විසින් පුහුණුකාරීත්වයේ කටයුතු කරනු ලබන Moors ක්‍රීඩා සමාජය අගෝස්තු මස දෙවැනි සතියේ දී නිමා වූ Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී  සහ පසුගිය ජුනි මාසයේ දී අවසන් සතියේ දී නිමා වූ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ද අවසන් පූර්ව වටය දක්වා රැගෙන ඒමට සමත් වුනා.

“ලොකු බලාපොරොත්තුවක් එක්ක මේ අවස්ථා 2 දි ම තරගවලට මුහුණ දුන්නේ. නමුත් අවාසනාවකට වගේ අපිට එතැනින් එහාට යන්න බැරි වුණා. නමුත් අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් දැක් වූ ඉහළ දක්ෂතා සම්බන්ධයෙන් පුහුණුකරුවෙක් ලෙසින් සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඔවුන් තව දුරටත් මා යටතේ සිටිමින් ඉදිරි තරගාවලිය සඳහා පුහුණුවීම් කටයුතුවල යෙදී සිටිනවා. ඔවුන්ටත් මේ කඩඉමෙන් එළියට යෑමේ දැඩි වුවමනාවක් තිබෙනවා. අපිට එය ඉදිරියේ දී සිදු කරන්න පුළුවන් වෙයි.”

මෙම තරගාවලි ත්‍රිත්වයට අමතර ව වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ Premier League සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ ශූරයන් වූ Teejay Lanka කණ්ඩායමේ පුහුණුකරු වූයේ ද ගිහාන් රූපසිංහ.

Sri Lanka Cricket,

“ඇත්තට ම ඒ ජයග්‍රහණය ලොකු ශක්තියක්. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ බොහෝ ක්‍රීඩකයන් මෙම තරගාවලිය නියෝජනය කළා. ඒ නිසා කණ්ඩායම් අතර විශාල තරගයත් තිබුණා. අපිට පුහුණුවීම්වලට ලොකු කාලයක් තිබුණෙ නැහැ. නමුත් මා යටතේ පුහුණුවීම් ලැබූ ක්‍රීඩකයන් සමඟ අපිට එම තරගාවලියේ ශූරයන් වීමට හැකි වුණා. ඒ විතරක් නෙමේ එම තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා වගේ ම තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානය ද මගේ කණ්ඩායමට හිමි කර ගැනීමට අපිට හැකි වුනා.”

ගිහාන් රූපසිංහ මේ දක්ෂතා දක්වන්නේ තවමත් නිමා නොවූ එක් වසරක් තුළ දී යි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් 2024 වසරට සංවිධානය කරන ලද ක්‍රීඩා සමාජ ප්‍රධානත ම තරගාවලි ත්‍රිත්වයක අවසන් පූර්ව තරග දක්වාත් සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 2024 වසරට සංවිධානය කළ ප්‍රධානත ම තරගාවලියේ ශූරතාව දක්වාත් තම කණ්ඩායම් රැගෙන ඒමට ඔහු සමත් වෙනවා.

“මේ සම්බන්ධයෙන් නිහතමානී සතුටක් තිබෙනවා. නමුත් සියලුම දේට වඩා මට වඩාත් වැදගත් වෙන්නේ එළැඹෙන Major Clubs තුන් දින පළමු පෙළ තරගාවලිය. එතැන දී මගේ පළමු අභියෝගය මගේ කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතරට අරගෙන යෑම. ඒ වෙනුවෙන් මම හැකි සෑම ප්‍රයත්නයත් ම යෙදී සිටිනවා. මගේ ක්‍රීඩකයන් ද ඒ සඳහා හොඳ සුදානමකින් සිටින්නේ.” ගිහාන් රූපසිංහ පවසනවා.

එය එසේ වූ කළ එක් කැලැන්ඩර් වසරක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ලද ප්‍රධානත ම තරගාවලි 4 දී ම තම කණ්ඩායම් අවසන් පූර්ව තරග දක්වා රැගෙන යෑමට සමත් වෙමින් ඒ විරල අවස්ථාවට තවත් පියවරක් එක් කිරීමට ගිහාන් රූපසිංහ සමත් වෙනවා.

ගිහාන් රූපසිංහ, ක්‍රිකට් පිටියේ අකුරු කියවන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්. වයස අවුරුදු 13න් පහළ සංදියේ සිට ම ක්‍රිකට් පිත්තටත් පන්දුවටත් හුරු වූ ගිහාන් ට ඊට වඩා දෙයක් තිබුණේ ම නැති තරම්.

මේ බැව් දැන සිටි ගිහාන් ගේ නිවැසියන්ගෙන් ද ඔහුට ඒ සම්බන්ධයෙන් වාරණයක් කිසිදු අවස්ථාවක පැන නැගුණේ නැහැ. එබැවින් ම ඔහු හැකි සෑම විට ම ක්‍රිකට් පුහුණුවීම්වල නිතර වූ අතර ඒ මඟින් තම දක්ෂතා දවසින් දවස ප්‍රගුණ කර ගැනීමට ද සමත් වුනා.

ඒ අනුව ඔහු සෑම වයස් කාණ්ඩයක දී ම නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරන්නට සමත් වෙනවා. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයට ලක් වෙමින් නාලන්දා ක්‍රිකට් ඉතිහාසය වර්ණවත් කිරීමට දායකත්වය දැක් වූ ගිහාන් පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් නියෝජනය කරන්නේ 2002 වසරේ දී මෙරට දී පැවැති වයස අවුරුදු 17න් පශළ ආසියානු පාසල් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙමින්.

අනතුරු ව ඔහු 2004 වසරේ දී වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයට ද එක් ව සිටීමට සමත් වෙනවා. ඔහුගේ ඊළඟ පිම්ම වන්නේ 2005 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් පාකිස්තාන තරග සංචාරයට එක් වීමයි.

ගිහාන් රූපසිංහ ගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂී ම අවස්ථාව උදා වෙන්නේ ඊට පසු වසරේදීයි. 2006 වසරේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ Observer – Bata වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ උළෙලේ දී හොඳම පාසල් ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානය හිමි වෙන්නේ ගිහාන් රූපසිංහ ට. එම වසරේ දී නාලන්දා විද්‍යාලයිය වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ කණ්ඩායම මෙහෙයවමින් මෙම දක්ෂතා දැක් වීමට හැකි වීම කැපී පෙණෙනවා.

“මම මගේ පාසල් ක්‍රිකට් ජීවිතය ඉතා හොඳින් අවසන් කළා කියන සතුට අදටත් මගේ ජීවිතය තුළ තියෙනවා. පුහුණුකරුවෙක් වීමේ මූලික අඩිතාලම වැටෙන්නේ ද මේ පාසල් ක්‍රිකට් ජිවිතය තුළින්. මේ බීජය වැඩෙන්න, ඒ කාලයේ මගේ පුහුණුකරුවන්ගෙන් ලත් අභාශය අතිශය වැදගත් වුනා. මේ තත්ත්වය කොතරම් ද කියනවා නම් සමහර අවස්ථා තිබුණා එක් එක් පුහුණුකරුවන් අනුව හැසිරෙමින් මම ම මට පුහුණුකරගත්. ඒක හරි නිර්මාණශීලී වැඩක් වගේ ම මගේ පුහුණුකාරී ජීවිතයට හොඳ අඩිතාලමකුත් වුනා.”  ගිහාන් රූපසිංහ තම පාසල් අවධිය සේ ම ඒ මතින් ලියැවුණ වර්ථමාන හැඩ ගැන්වීමත් සිහිපත් කළා.

පාසල් අවධියේ ම ක්‍රීඩා සමාජය ක්‍රිකට් වෙනුවෙන් එක් වූ ගිහාන් Tamil Union, Port Authority, CCC, Moors, Kalutara TC සහ Baduraliya යන කණ්ඩායම් හා එක් ව පළමු පෙළ තරග පිටියට ද එක් වුනා.

ක්‍රීඩා සමාජ පිටියේ දී පෑ දක්ෂතා හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා එක් වීමට අවස්ථාවක් ද උදා වෙනවා. ඒ 2009 වසරේ සැප්තැම්බර් මස 2 වැනිදා නවසීලන්තයට එරෙහි ව ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගනිමිනුයි. මෙරට විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ 30 වැනි ක්‍රීඩකයා ලෙසින් භෞතීස්ම ලැබූ ගිහාන් රූපසිංහ ඔහුගේ එම තරග නියෝජනය එම තරගාවලියේ තරග 2කට පමණක් සීමා වෙනවා.

Sri Lanka Cricket

ජනසතු සේවා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායමේ නායක ගිහාන් රූපසිංහ එම කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා වෙතින් ලබා ගත් අවස්ථාව.

“මම අවස්ථා ගණනාවක දී ම ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කරද්දී ම පුහුණුකරුවෙක් ලෙසින් ද කටයුතු කරමින් කණ්ඩායම් මෙහෙයවා තිබෙනවා. එහෙම කටයුතු කරද්දී සාර්ථක වූ අවස්ථා ද තිබෙනවා. ඒක බොහොම කලාතුරකින් ක්‍රීඩකයෙක්ට ලැබෙන අවස්ථාවක්. මම ඒ භාග්‍ය අත්විද තිබෙනවා.” ගිහාන් රූපසිංහ පවසනවා.

දේශීය පිටියේ ප්‍රවේගවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වඩාත් කතා බහට ලක් වූ ගිහාන් රූපසිංහ, 2021 වසරේ දී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Colombo Stars කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් වෙනවා. ඊට අමතර ව නිමා වූ 2023 වසරේ දී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Galle Titans කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ ද ගිහාන් රූපසිංහ.

එමෙන් ම කළුතර සිරිකුරුස විද්‍යාලයේ පුහුණු උපදේශක ලෙසින් ද ගිහාන් රූපසිංහ වර්ථමානයේ කටයුතු කරනවා.

“මේ සියලු දේ මතින් ලත් අත්දැකීම් සමඟිනුයි මම මගේ පුහුණුවීම් සැලසුම් කරන්නේ. සාම්ප්‍රදායක දේ මත ම කටයුතු නොකරමින් වඩාත් අභියෝගාත්මක ලෙසින් සිතන ක්‍රීඩකයෙක් බිහි කිරීමයි මගේ එක ම අභිප්‍රාය.” ගිහාන් රූපසිංහ අවසන් වශයෙන් ThePapare.com සමඟ පැවැසුවා.

ඔහුගේ අනාගත සැලසුම් සාර්ථක වේවායි ThePapare.com වෙතින් සුබ පැතුම්!

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<