ඔමේෂ් – ලොහාන් – රවිඳු සහ දනාල් දක්ෂතා දක්වයි

60
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය අද (29) ආරම්භ වූ අතර එහි දී ලොහාන් ද සොයිසා, ඔමේෂ් මෙන්ඩිස්, රවිඳු රසාන්ත සහ දනාල් හේමානන්ද දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වුනා.

ඒ අතුරින් Moors කණ්ඩායමේ ලොහාන් ද සොයිසා, ඔමේෂ් මෙන්ඩිස් සහ Colts කණ්ඩායමේ රවිඳු රසාන්ත පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වද්දී Ace Capital කණ්ඩායමේ දනාල් හේමානන්ද පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දැක් වූවා.

පළමු අවසන් පූර්ව තරගය

Moors SC සහ Ragama CC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

Moors SC කණ්ඩායම

ඔමේෂ් මෙන්ඩිස් (නායක), රවිශාන් ද සිල්වා, ලොහාන් ද සොයිසා, විශාර ප්‍රනාන්දු (කඩුලු රකින්නා), යෙසිත් රූපසිංහ, තරිඳු දිලංක, රොහාන් සංජය, හරිඳු ජයසේකර, ගරුක සංකේත්, හිවින් කෙනුල සහ චාමික හීනටිගල.

Ragama CC කණ්ඩායම

දුලාජ් බණ්ඩාර (නායක), ගවිරු සෙන්හස් (කඩුලු රකින්නා), සහිල් ඩයස්, චමත් ගෝමස්, රුසඳ ගමගේ, ලකිඳු සචින්, අශාන් ප්‍රනාන්දු, කවීෂ දුලංජන, දසිත් ගුණතිලක, උවින් පෙරේරා සහ උවිඳු පෙරේරා.

කාසියේ වාසිය දිනා ගත් Moors කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන් වර්ෂාව හේතුවෙන් තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 260ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලොහාන් ද සොයිසා. ඔහු පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කළ නායක ඔමේෂ් මෙන්ඩිස් පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 173ක දී ලකුණු 137ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට පසු කඩුල්ලේ දී පන්දු 79ක දී ලකුණු 45ක සබඳතාවක් එක් කිරීමට ලොහාන් ද සොයිසා සහ විශාර ප්‍රනාන්දු සමත් වුනා.

විශාර ප්‍රනාන්දු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

ඊට අමතර ව තරගය නතර කරන විට තරිඳ දිලංක පන්දු 42කට මුහුණ දෙමින් නොදැවි ලකුණු 25ක් ද සහ රොහාන් සංජය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් වූ එම නොදැවුණ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43ක දී ලකුණු 35ක සබඳතාවක් එක් කර තිබුණා.

කඩුලු දවා ගැනීමේ දී දසිත් ගුණතිලක ලකුණු 73කට කඩුලු 3ක් දවා ගත් අතර කවීෂ දුලංජන සහ චමත් ගෝමස් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Moors SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 260 (60.0) ඔමේෂ් මෙන්ඩිස් 75, ලොහාන් ද සොයිසා 76, විශාර ප්‍රනාන්දු 35, තරිඳු දිලංක නොදැවී 25, රොහාන් සංජය නොදැවී 18, දසිත් ගුණතිලක 3/73

Colts CC සහ Ace Capital CC අතර තරගය කටුනායක,  NCC ක්‍රීඩාංගණයේ දී.

Colts CC කණ්ඩායම

රවිඳු රසාන්ත (නායක), ශලින් ද මැල්, ශෙරන් ෆොන්සේකා, සුඛිත මනෝජ් (කඩුලු රකින්නා), දුනිත් වෙල්ලාලගේ, හිරුණ ගාල්ලගේ, ගිත්මින් කොළඹගේ, යසිරු රොද්‍රිගෝ, ප්‍රවීන් මනීෂ, අනුරාධ රණසිංහ සහ ක්‍රිෂ්ණ ශ්‍රීරාම්

Ace Capital CC කණ්ඩායම

වනුජ සහන් (නායක), හිරාන් ජයසුන්දර (කඩුලු රකින්නා), තරිඳු අමරසිංහ, සකුණ ලියනගේ, කවිඳු අමන්ත, තීරක රණතුංග, දනාල් හේමානන්ද, රවිඳු රත්නායක, සසංක නිර්මාල්, දුමිඳ සෙව්මිණ සහ මෙලන් හංසක.

කාසියේ වාසිය දිනා ගත් Ace Capital නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තරගය වර්ෂාව හේතුවෙන් පළමු දිනයට නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක රවිඳු රසාන්ත යි. ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා.

Colts ඉනිමේ කඩුලු 2ක් දැවී ලකුණු 24ක් තිබිය දී පිටියට පිවිසි රවිඳු රසාන්ත අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසි සුකිත මනෝජ් සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 152ක දී ලකුණු 96ක සබඳතාවක් ගොඩ නැගීම කැපී පෙණුනා.

සුකිත මනෝජ් පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුනු 44ක් ලබා ගත්තා. ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ ද පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

දිනය අවසන් වන විට යසිරු රොද්‍රිගෝ පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද සහ අනුරාධ රණසිංහ පන්දු 12කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියා.

පන්දු යැවීමේ දී වමතින් දඟ පන්දු යැවී දනාල් හේමානන්ද ලකුණු 48කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colts CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 215 (61.3) සුකිත මනෝජ් 44, රවිඳු රසාන්ත 56, දුනිත් වෙල්ලාලගේ 45, යසිරු රොද්‍රිගෝ නොදැවී 16, දනාල් හේමානන්ද 4/48, මෙලන් හංසක 2/30

මෙම තරග ද්විත්වය හෙට (30) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<