Moors සහ Ace Capital අවසන් මහා තරගයට

Major Club U23 Tournament

50
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Moors ක්‍රීඩා සමාජය සහ Ace Capital ක්‍රිකට් සමාජය අද (30) සමත් වුනා.

කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී නිමා වූ Moors ක්‍රීඩා සමාජය සහ Ragama ක්‍රිකට් සමාජය අතර තරගය විසඳුමකින් තොරව අවසන් වූව ද ප්‍රසාද ලකුණු මත ඉදිරියෙන් සිටි Moors ක්‍රීඩකයෝ ඉදිරියට පැමිණි අතර කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී පැවැති Colts ක්‍රිකට් සමාජය සහ Ace Capital ක්‍රිකට් සමාජය අතර තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කළ Ace Capital ක්‍රීඩකයෝ අනෙක් අන්තයෙන් අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරග ද්විත්වයේ අද දවසේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට Ace Capital කණ්ඩායමේ නායක වනුජ සහන් සමත් වුනා. ඔහු ශතකයක් වාර්තා කළ අතර ඊට අමතර ව එම කණ්ඩායමේ ම තීරක රණතුංග,  Ragama කණ්ඩායමේ ගවිරු සෙන්හස් සහ සාහිල් ඩයස් අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පළමු අවසන් පූර්ව තරගය

Moors SC සහ Ragama CC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් Moors කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන් වර්ෂාව හේතුවෙන් තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 260ක් ලබා සිටි අතර අද ඔවුන් තම ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 314ක් ලබා ගත්තා.

තරගය පළමු දිනයට නතර කරන විට තරිඳු දිලංක නොදැවි ලකුණු 25ක් ලබා සිටි අතර අද ඔහුට කිසිදු ලකුණක් ලබා නොගනිමින් පිටියෙන් ඉවත් වීමට සිදු වුනා. එසේ වූවත් පෙර දිනයේ දී නොදැවී ලකුණු 18ක් ද ලබා රොහාන් සංජය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

ඊට අමතර ව හරිඳු ජයසේකර පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දසිත් ගුණතිලක ලකුණු 85කට කඩුලු 4ක් දවා ගත් අතර උවින් පෙරේරා සහ කවීෂ දුලංජන කඩුලු 2ක් බැගින් ද චමත් ගෝමස් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Ragama ක්‍රීඩකයෝ වර්ෂාව හේතුවෙන් තරගය 2 වැනි දිනයටත් නතර කරද්දී ලබා සිටියේ කඩුලු 4ක් දැවී ලකුණු 118ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ගවිරු සෙන්හස් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ද සහ සාහිල් ඩයස් පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද රැස් කළා.

ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 118ක දී ලකුණු 88ක සබඳතාවක් එක් කිරීමට සමත් වූවා.

කඩුලු දවා ගැනීමේ දී යෙසිත් රූපසිංහ ලකුණු 08කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වුනා. ඊට අමතර ව හිවින් කෙනුල ද කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (78.5) ඔමේෂ් මෙන්ඩිස් 75, ලොහාන් ද සොයිසා 76, විශාර ප්‍රනාන්දු 35, තරිඳු දිලංක 25, රොහාන් සංජය 30, හරිඳු ජයසේකර 25, උවින් පීරිස් 2/21, දසිත් ගුණතිලක 4/85, කවීෂ දුලංජන 2/44

Ragama CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 118 (35.2) ගවිරු සෙන්හස් 53, සාහිල් ඩයස් නොදැවී 50, යෙසිත් රූපසිංහ 3/08

තරගයේ විසඳුමක් නෑ.

Colts CC සහ Ace Capital CC අතර තරගය කටුනායක,  NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් Ace Capital නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තරගය වර්ෂාව හේතුවෙන් පළමු දිනයට නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිම තවත් ලකුණු 11ක් පමණක් එක් වෙද්දී අවසන් වූවා.

අද දවසේ දී පන්දු 19කට පමණක් සීමා වූ ඔවුන්ගේ ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 226ක් බවට පත් වෙද්දී පෙර දිනයේ දී කඩුලුලාභීන් අතර පෙරමුණ ගෙන සිටි වමතින් වේග පන්දු යැවූ දනාල් හේමානන්ද Colts ඉනිම අවසන් වන විට ලකුණු 56කට කඩුලු 5ක් දවා ගත්තා.

ඊට අමතර ව මෙලන් හංසක සහ වනුජ සහන් කඩුලු 2ක් බැගින් ද රවිඳු රත්නායක කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Ace Capital කණ්ඩායම ආරම්භක කඩුල්ලේ දී ම හොඳ ආරම්භයක් ලබා ගනිමින් තරගයට අවතීර්ණ වුනා. ඉනිම ආරම්භ කළ හිරාන් ජයසුන්දර සහ තරිඳු අමරසිංහ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 118කදී ලකුණු 63ක සබඳතාවක් එක් කළා.

එහි දී තරිඳු අමරසිංහ පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා. ඊට පසු කඩුල්ලට දැවී ගිය හිරාන් ජයසුන්දර පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

Ace Capital ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක වනුජ සහන්. ඔහු පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 115ක් ලබා ගත්තා.

ඔහු තීරක රණතුංග සමඟින් 4 වැනි කඩුල්ලට පන්දු 155කට මුහුණ දෙමින් ලකුණු 162ක සබඳතාවක් එක් කරමින් ප්‍රතිවාදීන් වෙහෙසට පත් කළා. එහි දී තීරක රණතුංග පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 66කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ක්‍රිශ්ණ ශ්‍රීරාම් සහ ප්‍රවීන් මනීෂ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (64.4) සුකිත මනෝජ් 44, රවිඳු රසාන්ත 56, දුනිත් වෙල්ලාලගේ 45, දනාල් හේමානන්ද 5/56, වනුජ සහන් 2/38, මෙලන් හංසක 2/30

Ace Capital CC – කඩුලු 4ක් දැවී 253 (52.0) හිරාන් ජයසුන්දර 43, තරිඳු අමරසිංහ 28, වනුජ සහන් නොදැවී 115, තීරක රණතුංග 57, දුනිත් වෙල්ලාලගේ 2/66

තරගයේ විසඳුමක් නෑ.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<