Rahman සහ Rashid ඇෆ්ගනිස්තානයට සුපිරි ජයක් ගෙනේ

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

278
ICC Via Getty

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයේ තරගයක් අද (25) Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ඇෆ්ගනිස්තානය සහ ස්කොට්ලන්තය අතරයි. එහි දී ලකුණු 130කින් ස්කොට්ලන්තය පරාජය කරන්නට ඇෆ්ගනිස්තානය සමත් වුනා.

මෙම තරගයේ වැදගත් සාධකයක් වූ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායක Mohammad Nabi පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

  • ඇෆ්ගනිස්තානය: Hazratullah Zazai, Mohammad Shahzad (wk), Rahmanullah Gurbaz, Asghar Afghan, Najibullah Zadran, Mohammad Nabi (c), Gulbadin Naib, Rashid Khan, Karim Janat, Naveen-ul-Haq, Mujeeb Ur Rahman
  • ස්කොට්ලන්තය: George Munsey, Kyle Coetzer (c), Matthew Cross (wk), Richie Berrington, Calum MacLeod, Michael Leask, Chris Greaves, Mark Watt, Josh Davey, Safyaan Sharif, Bradley Wheal

නායකයාගේ තීරණය නිවැරදි බව තහවුරු කරමින් ඇෆ්ගනිස්තාන ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 54ක වේගවත් සම්බන්ධතාවක් පිහිටුවීමට Hazratullah Zazai සහ Mohammad Shahzad හට හැකි වුනා.

Shahzad පන්දු 15ක දී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 22ක් රැස්කිරීමට සමත් වූ අතර Hazratullah Zazai පන්දු 30ක දී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමඟින් ලකුණු 44ක් රැස්කළා.

ඉන්පසු පිටියට පිවිසි Rahmanullah Gurbaz ලබා ගත් වේගවත් ලකුණු 46 සහ අර්ධ ශතකයක් ලබා ගනිමින් Najibullah Zadran වාර්තා කළ අගනා ලකුණු 59 නිසාවෙන් ඇෆ්ගනිස්තාන ඉනිම පන්දුවාර 20 අවසානයේ ලකුණු 190ක් ලෙස සටහන් වුනා.

පන්දු යැවීමේ දී ස්කොට්ලන්තය වෙනුවෙන් Safyaan Shari කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර Mark Watt සහ Josh Davey අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 190ක අභියෝගාත්මක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ආරම්භ පිතිකරු Kyle Coetzer ලකුණු 10 ලබා සිටිය දී Mujeeb Ur Rahmanගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 28ක් වන විටයි.

එම පන්දුවාරයේම නැවතත් ක්‍රියාත්මක වූ Mujeeb Ur Rahman ස්කොට්ලන්ත පිතිකරුවන් වන Richie Berrington සහ Calum MacLeod ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කළේ ස්කොට්ලන්ත ලකුණු පුවරුව 30/3ක් බවට පත්කරමිනුයි.

ඇෆ්ගනිස්තානය දඟපන්දු යවන්නන් ඉදිරියේ අසරණ වූ ස්කොට්ලන්තයට පන්දුවාර 10.2ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 60ක් පමණයි. ස්කොට්ලන්තය වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූ George Munsey ලකුණු 25ක් රැස්කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Mujeeb Ur Rahman ලකුණු 20කට කඩුලු පහක් දවා ගැනීමට සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් Rashid Khan ලකුණු 9කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 130ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින් සිය කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ඇෆ්ගනිස්තානයට හැකි වුනේ +6.500ක ඉහළ දල ලකුණු වේගයක් රඳවා ගනිමිනුයි.

ලකුණු සාරාංශය,

  • ඇෆ්ගනිස්තානය – 190/4 (20): Najibullah Zadran 59, Rahmanullah Gurbaz 46, Hazratullah Zazai 44, Safyaan Shari 2/33, Mark Watt 1/23.
  • ස්කොට්ලන්තය – 60/10 (10.2): George Munsey 25, Mujeeb Ur Rahman 20/5, Rashid Khan 4/9.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<