ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ යුද හමුදාව පරාජය කරමින් ශූරතාවයට

Major Club Limited Over Tournament 2022

283

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ 2022 වසරේ ශූරතාව දිනා ගැනීමට Tamil Union ක්‍රීඩකයෝ සමත් වුනා.

අද (02) කොළඹ 7, SSC ක්‍රීඩා පිටියේ දී පැවති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූ Sri Lanka Army කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයග්‍රහණයක් ලැබූ ඔවුන් පිට පිට දෙවැනි වරටත් මෙම ශූරතාව දිනා ගන්නට සමත් වුනා.

  • Sri Lanka Army SC කණ්ඩායම: අශාන් රන්දික, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් එදිරිසිංහ, හිමාෂ ලියනගේ, සුමින්ද ලක්ෂාන්, අසේල ගුණරත්න, තිසර පෙරේරා (නායක), මහේෂ් කුමාර, මහීෂ් තීක්ෂණ, අසංක මනෝජ්, රශ්මික සිරිවර්ධන
  • Tamil Union කණ්ඩායම: ඩිල්රුවන් පෙරේරා, රොන් චන්ද්‍රගුප්ත, සදීර සමරවික්‍රම, නවෝද් පරණවිතාන, ධනංජය ද සිල්වා (නායක), රවිඳු ප්‍රනාන්දු, ඉසුරු උදාන, සංතුශ් ගුණතිලක, දිලුම් සුධීර, ප්‍රමෝද් මධුශාන්, ශිරාන් ප්‍රනාන්දු

කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසිය ද, ඔවුන්ට සිතූ සේ තම දක්ෂතා දැක්වීමට හැකි වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 13ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට යැවීමට Tamil Union පන්දු යවන්නෝ සමත් වුනා.

ඒ වෙද්දී අශාන් රන්දික (0), සීක්කුගේ ප්‍රසන්න (7) සහ හිමාෂ ලියනගේ (7) තම කඩුලු අහිමි කරගෙන සිටියා. අනතුරුව ලක්ෂාන් එදිරිසිංහ ද ලකුණු 17කට දැවී ගියා. ඒ වෙද්දී යුද හමුදා ලකුණු පුවරුව ලකුණු 45ක් ව තිබුණා.

නාය යන යුද හමුදා ඉනිමේ යම් පිබිදීමක් දකින්නට ලැබුණේ 5 වැනි කඩුල්ලේ දී. ඊට එක් වූයේ සුමින්ද ලක්ෂාන් සහ අසේල ගුණරත්න. ඔවුන් දෙදෙනා එම කඩුල්ලට ලකුණු 38ක් එක් කළ අතර එය නිමා වූයේ සුමින්දගේ දැවී යෑමත් සමඟින්. සුමින්ද පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

අනතුරුව 6 වැනි කඩුල්ලට එක් වූ නායක තිසර පෙරේරා පන්දු 6කට පමණක් මුහුණ දෙමින් ලකුණු නොලබා ම දැවී ගියා. එතැන් සිට අසේල සමඟ එක් වූ මහේෂ් කුමාර යුද හමුදා ඉනිම ගොඩ ගැනීමට ලකුණු 74ක සබඳතාවක් ගොඩ නැගුවා.

එම සබඳතාව නිමා වූයේ අසේලගේ දැවී යෑමත් සමඟින්. අසේල පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 59ක් ලබා ගත්තා. මහේෂ් කුමාර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 57ක්. ඔහු තම ඉනිමට පන්දු 78ක් වැය කළ අතර ඊට හතරේ පහර 3ක් සහ හයේ පහරක් එක් කළා.

අනෙක් පිතිකිරුවන් අතරින් මහීෂ් තීක්ෂණ ලකුණු 15ක්, අසංක මනෝජ් (0) සහ ඉනිම අවසන් වන විට රශ්මික සිරිවර්ධන ලකුණු නොලබා නොදැවී පිටියේ රැඳී සිටියා.

යුද හමුදා ඉනිම පාලනය කිරීමට Tamil Union පන්දු යවන්නෝ 8 දෙනෙක් උත්සාහ කළ අතර එහි දී වඩාත් සාර්ථක වූයේ සංතුශ් ගුණතිලක සහ ඉසුරු උදාන. ඊට අමතරව ශිරාන් ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුවන්ත, ඩිල්රුවන් පෙරේරා, සහ නවෝද පරණවිතාන කඩුල්ල බැගින් ලබා ගත්තා.

ලකුණු 199ක හඹා යන ඉනිමකට පිවිසි Tamil Union ක්‍රීඩකයෝ තම පළමු කඩුල්ලේ සිටම ප්‍රතිවාදීන් භීතියකට පත් කිරීමේ ක්‍රියාන්විතයක නිතර වූවා. ඉනිම ආරම්භ කළ ඩිල්රුවන් පෙරේරා සහ රොන් චන්ද්‍රගුප්ත පළමු කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 41ක් එක් කළා.

රොන් පන්දු 21ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13කට දැවී ගිය පසු පිටියට පිවිසියේ සදීර සමරවික්‍රම. ඩිල්රුවන් සහ සදීර පන්දුවට පහර දෙමින් සිටි 15 වැනි පන්දුවාරයේ දී වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරුණ අතර ඒ වෙද්දී Tamil Union ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 67ක් ලෙසින්.

ඊට පසුව නැවත තරගය ආරම්භ වූයේ පන්දුවාර 42ක තරගයක් ලෙසින්. තරගය ආරම්භ වී පන්දු 20ක දී ඩිල්රුවන් අසාර්ථක ලකුණකට දුවද්දී දැවී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා.

අනතුරුව සදීරට එක් වූයේ යොවුන් ක්‍රීඩක නවෝද පරණවිතාන. ඔවුන් දෙදෙනා එක් ව Tamil Union ඉනිම ජයග්‍රාහී මාවතට ගෙන යද්දී, නැවත වතාවක් වර්ෂාවෙන් තරගයට බාධා වූවා. ඒ වෙද්දී Tamil Union ඉනිම පන්දුවාර 29.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 141ක් ලබා සිටියා.

වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වූයේ පන්දුවාර 37ක දී ලකුණු 153ක ඉලක්කයක් Tamil Union කණ්ඩායමට ලබා දෙමින්. ඉලක්කයත් සමඟින් නැවත පිටියට පිවිසි සදීර සහ නවෝද්ට තෙවැනි කඩුල්ලේ සබඳතාව පවත්වා ගෙන යෑමට හැකි වූයේ තවත් පන්දු 5කට පමණයි.

Tamil Union ඉනිම ලකුණු 147ක් ව පවතිද්දී නවෝද් දැවී යන විට පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා. නවක පිතිකරු ලෙසින් පිටියට පිවිසි නායක ධනංජය ද සිල්වා සමඟ එක් ව සදීර තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තීරණය වූ පන්දුවාර ප්‍රමාණයෙන් තවත් පන්දු 34ක් ඉතිරිව තිබිය දී.

ඒ වෙද්දී සධීර පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා සිටි අතර ධනංජය පන්දු 3කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 4ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී අසංක මනෝජ් ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත් අතර පන්දු යවනු ලැබූ තවත් පන්දු යවන්නෝ 6 දෙනෙක්ට කිසිදු කඩුල්ලක් හිමි වූයේ නැහැ.

යුද හමුදාසියලුම දෙනා දැවී 198 (50) සුමින්ද ලක්ෂාන් 28, අසේල ගුණරත්න 59, මහේෂ් කුමාර 57, සංතුශ් ගුණතිලක 3/14, ඉසුරු උදාන 3/31

Tamil Union – කඩුලු 3ක් දැවී 153 (31.2) දිල්රුවන් පෙරේරා 37, සදීර සමරවික්‍රම නොදැවී 58, නවෝද පරණවිතාන 32, අසංක මනෝජ් 2/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<