යුද හමුදාව සහ ටැමිල් යූනියන් අවසන් මහා තරගයට සීරුවෙන්

අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2022

158

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් කණ්ඩායම අතර හෙට (2) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ටැමිල් යූනියන් කණ්ඩායම ගියවර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය රැකගැනීමේ අරමුණින් මේ තරගයට අවතීර්ණ වන අතර පසුගියදා නිමාවුණු විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය දිනාගත් යුද හමුදා කණ්ඩායම සිය ශූරතාවයන් අතරට පළමු සීමිත පන්දුවාර ශූරතාවය (එක්දින) එක් කරගැනීමේ අරමුණ ඇතිව මේ තරගය සඳහා අවතීර්ණ වෙනවා.

ටැමිල් යූනියන් සහ යුද හමුදාව පිළිවෙළින් කොළඹ ක්‍රිකට් සමාජය ලකුණු 16කින් සහ Ace කැපිටල් කණ්ඩායම ලකුණු 123කින් පරාජය කරමින් මේ අවසන් මහා තරගයට සුදුසකම් ලබාගැනීමට සමත්ව තිබෙනවා.

ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබන ටැමිල් යූනියන් කණ්ඩායම මෙවර තරගවාරය තුල ක්‍රීඩා කළ තරග 12න් 10ක් ජයගැනීමට සමත්ව තිබෙනවා.

වමතින් පිතිකරණයේ නිරත වන නවෝද් පරණවිතාන ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභින් අතර ඉදිරියෙන්ම සිටින අතර වමතින් දඟපන්දු යවන දිලුම් සුධීර (කඩුලු 32) ටැමිල් යූනියන් වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා වෙනවා.

ටැමිල් යූනියන් සංචිතය – ධනංජය ද සිල්වා (නායකයා), සදීර සමරවික්‍රම, සිතර හපුහින්න, රොන් චන්ද්‍රගුප්ත, රවිඳු ප්‍රනාන්දු, නවෝද් පරණවිතාන, ඉසුරු උදාන, දිල්රුවන් පෙරේරා, දිලුම් සුධීර, සන්තුෂ් ගුණතිලක, කවිඳු පතිරත්න, කමේෂ් නිර්මාල්

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම මෙවර තරගාවලිය තුල තරග 12න් 11ක ජය ලබාගැනීමට සමත් වුනා.

යුද හමුදා මුල් පෙළ පිතිකරු ලක්ෂාන් එදිරිසිංහ තරග 13ක් තුල ලකුණු 466ක් ලබාගෙන යුද හමුදාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් අතර ඉදිරියෙන්ම සිටින අතර දකුණතින් පා දඟපන්දු යවන සුමින්ද ලක්ෂාන් (කඩුලු 30) ඔවුන්ගේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නා වෙනවා.

යුද හමුදා ක්‍රීඩා සමාජය – තිසර පෙරේරා (නායකයා), දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න, මහීෂ් තීක්ෂණ, ලක්ෂාන් එදිරිසිංහ, ශෙහාන් ප්‍රනාන්දු, හිමාෂ ලියනගේ, අසේල ගුණරත්න, සුමින්ද ලක්ෂාන්, අසංක මනෝජ්, ගයාන් බණ්ඩාර, රශ්මික සිරිවර්ධන.

මේ සුපිරි සහ තීරණාත්මක අවසන් මහා තරගය හෙට (2) උදෑසන 9.30 සිට ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1, ThePapare.com වෙබ් අඩවිය, ඩයලොග් Viu app සහ ශ්‍රී ලංකා ක්‍රිකට් Youtube චැනලය හරහා සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<