2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී

374

2022 අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර LPL තරගාවලිය, 2022 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබේ.

තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම තරගාවලිය මගින් ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ, තරගාවලියේ හිමිකම් දරන IPG Sports සමාගම කටයුතු කර ඇත.

IPG Sports සමාගම මගින් සංවිධානය කරනු ලබන LPL තරගාවලිය ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමේ වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකි. 2022 LPL තරගාවලිය ඔස්සේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලාංකිකයන් තුළ සතුට හා සුභවාදී හැඟීම් ඇති කර වීමටත් IPG Sports සමාගම බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් IPG Sports සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන් මහතා පැවසුවේ, මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රසිද්ධිය සහ, එමගින් රටේ ආර්ථිකයට ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් වැඩිකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

“මුලින් සැලසුම් කළ පරිදි තරගාවලිය පැවැත්වීමෙන් එම ඉලක්ක ළඟා කර ගැනීමට අපහසු විය හැකි බව අපට පෙනී ගියා. දෙසැම්බර් මාසය වන විට රටේ තත්ත්වය තවදුරටත් ස්ථාවර වේවි කියා අප සිතනවා. එවිට විදෙස් ක්‍රීඩකයන්ට තම පවුල්වල අයත් සමඟ මෙරටට පැමිණීමට  හැකි වේවි. එමෙන්ම විදෙස් ක්‍රීඩාලෝලීන්ටත් කිසිදු ගැටලුවකින් තොරව තරග නැරඹීමට පැමිණීමට හැකියාව ලැබේවි.

මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම, කාර්ය සම්පාදනය අතින් ගත් විට විශාල අභියෝගයක්. ප්‍රේක්ෂකයන්ට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට මෙය සංවිධානය කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. ඒ නිසා දැනට පවතින හොඳම විසඳුම වන්නේ, තරගාවලිය දෙසැම්බර් මාසය තෙක් කල්දැමීමයි.

එමෙන්ම වර්තමානයේ රට තුළ පවතින අභියෝග සැලකිල්ලට ගත් විට, ඇතැම් අයට තරගාවලියේ සතුට නිසි පරිදි අත්විඳීමට නොහැකි වීමට ඉඩ ඇති බව අප දන්නවා. මේ සියල්ල නිසා, දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන්ට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට, දෙසැම්බර් මසයේදී මෙම තරගාවලිය පැවැත්වීමට අප තීරණය කළා”, අනිල් මොහාන් මහතා වැඩිදුරටත් පැවසී ය.

තරගාවලිය 2022 අගෝස්තු 01 දින සිට 2022 අගෝස්තු 21 දින දක්වා පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ අතර, එහි කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ කටයුතු 2022 ජූලි 05 දින අවසන් විය.

වනිඳු හසරංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ද, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, අසිෆ් අලි, ඩ්වේන් ප්‍රිටෝරියස්, එවින් ලුවිස්, සහ ඩෙවෝල්ඩ් බ්‍රෙවිස් වැනි විදේශීය ක්‍රීඩකයන් ද ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් තරු රැසක් මෙම තරගාවලියට එක්වී සිටිති.

අපට පාලනය කළ නොහැකි සාධක නිසා තරගාවලිය කල්තැබීමට සිදු වුවත්, වඩාත් යහපත් තත්ත්වයන් යටතේ දෙසැම්බර් මාසයේ දී මෙය වඩාත් සාර්ථක ලෙස පැවැත්වීමට අපට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා. මෙමගින් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ට වඩාත් හොඳින් දක්ෂතා දැක්වීමටත්, ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම උපරිමයෙන් විඳ ගැනීමටත් අවස්ථාව ලැබේවි”, LPL 2022 තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසී ය.

තරගාවලිය පැවැත්වෙන නව දිනයන් සහ එහි සජීවී විකාශනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේ දී දැනුම් දෙනු ඇත. පවතින තත්ත්වය අවබෝධ කරගෙන කාරුණිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් IPG Sports සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරගාවලියේ අනුග්‍රාහකයන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට සිය ස්තූතිය පළකර සිටී.

මාධ්‍ය නිවේදනයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<