නැවතත් කල්ගිය සුපිරි 8

733

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ දෙවැනි සතියේ තරග පැවැත්වීමට නියමිතව තිබු දිනයන්, මීට දින කිහිපයකට ඉහතදි කල් දැමූ අතර නැවත වරක් එම සතියේ තරග, දින නියමයකින් තොරව කල් දැමීමට ඊයේ (09) දිනයේදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් තීරණය කල අැත.

පසුගිය ලිපි: ඩිලාන් උදයංගට වසරක තරග තහනමක් පැනවෙන ලකුණු

සුපිරි අට දෙනාගේ දෙවැනි සතියේ තරග පැවැත්වීමට තීරණය කර තිබුනේ සැප්තැම්බර් 11 වැනිදා වුවද, 12 වැනිදා පැවැත්වෙන ඊද් උත්සවය වෙනුවෙන් සිදුකරන අාගමික කටයුතු නිසාවෙන් තරග දිනය කල් දැමීමට, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලැබුනු විශාල ඉල්ලීම් ප්‍රමාණයකට පිළිතුරු වශයෙන් සැප්තැම්බර් 08 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ එම තරගය සැප්තැම්බර් 14වැනි බ්‍රහස්පතින්දා දක්වා කල් දැමු බවයි.

කෙසේ නමුත් ඔවුන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ,

“සැප්තැම්බර් 13 සහ 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුනු සුපිරි අට දෙනාගේ තරග, නොවැලැක්විය හැකි හේතුවක් නිසා දින නියමයකින් තොරව කල් දැමූ කාරුණිකව නිවේදනය කරන බවයි.”

ඉදිරියේදි පැවැත්වෙන පාපන්දු තරග කිහිපයකම තරග කාල සටහන් අතිභිහිත වීම (එකමත එක වැටීම) නිසාවෙන් ශ්‍රී ලංකා පාපන්දු සමාජයන් සහ ප්‍රේක්ෂකයින් දැඩි ව්‍යාකූල තත්වයකට අැඳ දමීමට මෙම තරග කල් දැමීමේ තීරණ හේතුවක් වී අැත.

පාපන්දු සම්මේලනයේ විශ්වාසවන්ත තොරතුරු මුලාශ්‍ර වලට අනුව ජාතික කණ්ඩායමේ පුහුණුවීම් සතියේ දිනයන් හි සිදුවීමත්, සුපිරි 8 දෙනාගේ තරගත් සතියේ දිනයන් වලදීම පැවැත්වීමත් හේතුවෙන් පුහුණුවීම් වලට සිදුවන බාධාව නිසා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සහ කළමනාකරණ නිලදාරීන් විසින් දැක්වූ අප්‍රසාදය මෙම තරග කල් දැමීමට හේතුව වී අැති බවයි.

මෙහිදි මතුවන ගැටළුවක් නම් තරග කල් දැමීමකට ප්‍රථම, තරග කමිටුව විසින් ජාතික කණ්ඩායමේ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කොට මෙම තරග කාල සටහන් සැකසුවේ නැත්තේ කුමන හේතුවක් නිසාවෙන් ද යන්නයි.

තවද සුපිරි අට දෙනාගේ වටයේ තරග කල් ගිය ප්‍රථම අවස්ථාවද මෙය නොවන්නේය. සුපිරි 8 දෙනාගේ වටයේ අාරම්භක දිනයන්ද මෙලෙස කල් දැමීමට තීරණය කලේ තරග පැවැත්වීමට නියමිතව තිබුනු තුරග තරග පිටිය අදාල දිනයට වෙන්කර නොගැනීම නිසාවෙනි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, අනෙක් පාර්ශවයන් සමඟ සිදුකරන මෙවැනි වූ දුර්වල සන්නිවේදනයන් සහ දුර්වල කළමනාකරණයන් මඟින් සම්මේලනය ගැන වැරදි චිත්‍රයක් සමාජයට ප්‍රකාශ වන අතර නියමාකාර සන්නිවේදන රටාවක් සහ උචිත ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමෙන් සම්මේලනයේ මෙවැන් “නොවැලැක්විය හැකි තත්ත්වයන්” අවම කර ගැනීමට හැකි වනු අැත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට