අවශ්‍යම මොහොතේ දසුන්ගේ පිත්ත ක්‍රියාත්මක වෙයි!

ILT20 2023

337

ඊයේ (05) පැවැත්වුණු ILT20 තරගාවලියේ 29 වැනි තරගයෙන් MI Emirates කණ්ඩායම පරාජය කර කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Dubai Capitals කණ්ඩායම සමත් වුනා.

තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම ජයග්‍රහණය Dubai Capitals වෙත අත්‍යාවශ්‍ය වූ අතර, Dubai Capitals වෙනුවෙන් ක්‍රීඩා කරන අතිජාත මිතුරන් දෙදෙනකු වන දසුන් ශානක සහ Sikandar Razaගේ ප්‍රවේගකාරී පිතිකරණය කණ්ඩායමේ අවශ්‍යතාව ඉටු කළා.

පළමුවෙන් පන්දුවට පහර දුන් MI Emirates නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කළ අතර Emirates වෙනුවෙන් නායක Nicholas Pooran ලකුණු 43ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Capitals වෙනුවෙන් Jake Ball විසින් කඩුලු 3ක් සහ Adam Zampa විසින් කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි Dubai Capitals කණ්ඩායමේ මුල් කඩුලු තුනම ලකුණු 44ක දී දැවී ගිය අතර පසුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ Sikandar Raza පිටියේ එකතු වුනා.

ඔවුන් දෙදෙනා විසින් Capitals ජයග්‍රාහී ඉලක්කය වෙත පන්දුවාර 18 පන්දු 1කදී රැගෙන යාමට සමත් වුනේ පන්දු 70කින් ලකුණු 122ක නොබිඳිනු සබඳතාවක් පිහිටුවමිනුයි.

ඔවුන්ගේ මෙම ලකුණු 122ක සබඳතාව මෙතෙක් ILT20 තරගාවලියේ වාර්තා වූ සිව්වැනි හොඳම ලකුණු සම්බන්ධතාව වන අතර, තරගාවලියේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිහිට වූ හොඳම ලකුණු සම්බන්ධතාව බවට ද පත් වුනා.

ඒ වෙනුවෙන් දසුන් පන්දු 36කින් ලකුණු 58ක් එකතු කළ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර තුනක් අන්තර්ගත වුනා. එමෙන්ම එම ඉනිම නිසාවෙන් ම තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුනා.

දසුන් සමඟ අනෙක් අන්තයෙන් ශතක සම්බන්ධතාව පැවැත්වූ Raza විසින් පන්දු 36කින් ලකුණු 56ක් රැස් කළේ හයේ සහ හතරේ පහර 4 බැගින් සිය ඉනිමට අන්තර්ගත කර ගනිමිනුයි.

Capitals කණ්ඩායම ලද මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් දැනට ILT20 තරගාවලියේ ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත් වී ඇති අතර, අද පැවැත්වීමට නියමිත මූලික වටයේ අවසන් තරගය වන Sarjah warriors සහ Gulf Giants අතර පැවැත්වෙන තරගයෙන් ලැබෙන තීරණය අනුව Capitals මෙවර තරගාවලියේ Play – Off වටයට සුදුසුකම් ලබනවා ද, නැද්ද යන්න තීරණය වනු ඇත.

  • MI Emirates: 164/7 (20) – Nicholas Pooran 43; Jake Ball 3/37, Adam Zampa 2/24
  • Dubai Capitals: 166/3 (18.1) – දසුන් ශානක 58*, Sikandar Raza 56*; Zahir Khan 2/32

ILT20 තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<