එංගලන්ත පසුපෙළ ප්‍රහාරයෙන් පාකිස්තානය බිමට

පාකිස්තානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය - ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය

150
Image Credits - ICC

සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (8) මැන්චෙස්ටර් හිදී නිමා වූයේ එංගලන්තයට කඩුලු 3ක තියුණු ජයක් හිමිකර දෙමිනි.

ඒ අනුව තරගාවලිය ආරම්භයේ දී ම 1-0ක් ලෙස පෙරමුණ ගත් එංගලන්තය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන ලකුණු 266ක් දක්වා වර්ධනය කර ගත්තේ මෙම තරගයෙන් ලැබුණු ප්‍රසාද ලකුණු 40 ද සමඟිනි.

දඬුවමට පසු ක්‍රිකට් පිටියට එනතෙක් ශකීබ් නොඉවසිල්ලෙන්

අගෝස්තු 5 වැනිදා ආරම්භ වූ මෙම තරගය දින 4ක් තුල අවසන් වූ අතර එංගලන්තය පළමු ඉනිම තුල අසාර්ථකත්වයට පත්ව නැවතත් නැගී සිටිමින් පාකිස්තානය පසුපස හඹා ගොස් ලබා ගත් ජයග්‍රහණයක් ලෙස මෙම තරග ජයග්‍රහණය හැඳින්විය හැකිය. එහි දී ක්‍රිස් වෝක්ස්, ජෝස් බට්ලර් සහ ස්ටුවර් බ්‍රෝඩ් කැපී පෙනෙන දස්කම් දක්වමින් එංගලන්ත ජයග්‍රහණය සඳහා සහය විය.

එසේම එංගලන්තය සිව්වැනි ඉනිම තුල ලකුණු 277ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන මොහොතේ ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 117ක් තුල බිඳ වැටුණු නමුත් ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන් පාකිස්තාන පන්දු යවන්නන් හට දැඩි අභියෝගයක් ලබා දෙමින් තරගය ජයග්‍රහණය වෙත රැගෙන ගියේය. එය එතෙක් මෙතෙක් එංගලන්ත ක්‍රිකට් ඉතිහාසය තුල කඩුලු 5ක් බිඳ වැටි තිබිය දී හඹා ගොස් ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ අවස්ථා අතර දෙවන තැනට පත් විය.

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශාන් මසූඩ් සහ බාබර් අසාම් (ලකුණු 69) පාකිස්තානු මුල් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත් විය. මසූඩ් 4 පහර 18ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 156ක් ලබා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමිනි. අවසානයේ පාකිස්තානය ලකුණු 326ක් ලබාගෙන සාර්ථක පළමු ඉනිමක් අවසන් කරන ලදි. පන්දු යැවීමේ දී ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 54කට කඩුලු 3ක් දවා ගත්තේය.

කෝලි හා බොලිවුඩ් නිළියක් අත්අඩංගුවට?

සත්කාරක එංගලන්තය පාකිස්තානය ලබා ගත් පළමු ඉනිමට පිළිතුරු ලෙස සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 219ක් වන අතර ඒ නිසාවෙන් ලකුණු 107ක හොඳ පළමු ඉනිමේ වාසියක් ලබා ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායමට හැකි විය. 

ඔලී පෝප් ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වෙමින් ලකුණු 62ක් ලබා ගත්තේ 4 පහර 8ක් එල්ල කරමිනි. පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක යසීර් ශා ලකුණු 66ක් තුල කඩුලු 4ක් දවාලමින් එංගලන්ත මුල් ඉනිම සුන් කළේය. ජොස් බට්ලර් ලකුණු 38යි.

ලකුණු 107ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි එංගලන්ත පන්දු යවන්නෝ සිය නිජ බිමේ වාසිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් නැවතත් සාර්ථක ලෙස තරගයට අවතීර්ණ වූයේ ලකුණු 101ක් තුල පාකිස්තානු පළමු කඩුලු 5 බිඳ හෙළමිනි. 

කෙසේ නමුත් පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ යසීර් ශා 4 පහර 5ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 33ක් ලබාගෙන පාකිස්තානු දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නම ගිය පාකිස්තානු පිතිකරුවන් අභිබවා ඉදිරියට එමිනි. අවසානයේ පාකිස්තානු දෙවන ඉනිම ලකුණු 169කට සීමා වුන නමුත් පළමු ඉනිම තුල ලබා ගත් ලකුණු 107 වාසිය ද එක්කාසු කළ පසුව ලකුණු 277ක දැවැන්ත ඉලක්කයක් එංගලන්තයට භාර විය.

එම ලකුණු ප්‍රමාණය හඹා ගිය දෙවන ඉනිමේ අඩිතාලම පළමු ඉනිම තුල මෙන් අසාර්ථක නොවීමට වගබලා ගැනීමට හැකි වූයේ එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් වූ ඩොමිනික් සිබ්ලි සහ නායක ජෝ රූට් පමණි. අනතුරුව ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 117කට කඩුලු 5ක් වන තැනට ඇඳ දැමීමට යසීර් ශා ඇතුළු පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ. කෙසේ නමුත් සිය සටන අත්නොහැර තරගයේ අවසානය දක්වා සටන් කළ වෝක්ස් බට්ලර් සමඟින් එක්වෙමින් 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 139ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් පාකිස්තාන පන්දු යවන්නට දැඩි පීඩනයක් ලබා දුන්නේ තරගයේ තියුණු බව වැඩි කරමිනි.

සිම්බාබ්වේ – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය අතහැර දමයි

4 පහර 7ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 75ක් ලබා සිටි බට්ලර් දැවී යාමෙන් පසුව නැවතත් තරගය ඉතාමත් උණුසුම් තැනකට පැමිණි අතර ඒ මොහොතේ දී කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් නැවත වතාවක් උරෙනුර ගැටෙමින් දස්කම් දැක්වූ නමුත් අවසානයේ එංගලන්තයට ජය හිමි වූයේ වෝක්ස් පසුපෙළ පිතිකරුවන් සමඟ දියත් කළ උපායශීලී පිතිකරණ රටාව නිසාවෙනි. එහි දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් වෝක්ස් 4 පහර 10ක් සමඟ නොදැවී ලකුණු 85*ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි.

  • පාකිස්තානු පළමු ඉනිම – 326 (109.3): ශාන් මසූඩ් 156, බාබර් අසාම් 69, ශදාබ් ඛාන් 45, ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/54.
  • එංගලන්ත පළමු ඉනිම – 219 (70.3): ඔලී පෝප් 62, ජොස් බට්ලර් 38, යසීර් ශා 4/66.
  • පාකිස්තානු දෙවන ඉනිම – 169 (46.4): යසීර් ශා 33, ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/37.
  • එංගලන්ත දෙවන ඉනිම – 277/7 (82.2): ක්‍රිස් වෝක්ස් 84*, ජොස් බට්ලර් 75, ජෝ රූට් 42, යසීර් ශා 4/99.

තරගයේ වීරයා – ක්‍රිස් වෝක්ස් (එංගලන්තය)

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ තරගයක් වන මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරග තුනක් ඇතුළත් අතර එහි දෙවන තරගය අගෝස්තු 13 වැනිදා සවුත් හැම්ටන් හිදී පැවැත්වේ. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<