ඩිල්ශාන් මධුශංකට ආබාධයක්!

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1269
Madushanka suffers injury scare while Asalanka

ඕස්ට්‍රේලියාවේ Geelong හී Kardinia Park ක්‍රීඩාංගණයේ දී විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු තරගය ලෙස නැමීබියාවට එරෙහිව තරග වැදීමට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පුහුණු සැසිය අතරතුර වේගපන්දු යවන ඩිල්ශාන් මධුශංක ආබාධ තත්වයකට ලක් වී ඇති බව වාර්තා වෙනවා.

මධුශංක සිය පළමු පන්දුවාරයේ පන්දු හතරක් පමණක් යැවීමෙන් අනතුරුව තම ඉණ ප්‍රදේශය වේදනාවෙන් යුතුව අල්ලා ගනිමින් පුහුණු සැසියෙන් ඉවත්ව ගොස් ඇති අතර, පිතිකරණ පුහුණුකරු වන නවීඩ් නවාස් ඒ පිළිබඳව පවසා ඇත්තේ තවමත් ආබාධ තත්වය පිළිබඳව නිශ්චිත යමක් පැවසිය නොහැකි බවයි.

20 හැවිරිදි මෙම වමත් වේගපන්දු යවන්නා පසුගිය ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැදගත් කාර්‍ය භාර්‍යයක් ඉටු කළ අතර, එහි දී ඔහු 25.83ක සාමාන්‍ය අගයක් රඳවා ගනිමින් කඩුලු 6ක් බිඳ හෙලීමට සමත් වුනා.

කෙසේ හෝ මධුශංක හෙට (16) තරගයට ක්‍රීඩා නොකළහොත් ඒ වෙනුවට, ලහිරු කුමාරට කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබීමට ඉඩ ඇත. නමුත් ඔහු මෙම වසරේ මාර්තු මාසයෙන් පසුව තවමත් එකදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට හෝ ක්‍රීඩා කර නොමැත.

පසුගිය ලෝක කුසලානයේ දී දුශ්මන්ත චමීර සහ ලහිරු කුමාර යුගලය තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූවත් එම තරගාවලියෙන් පසුව කුමාරට නැවත එවැනි දස්කම් ප්‍රදර්ශනය කළ නොහැකි විය.

පිතිකරණ අංශයෙන් චරිත් අසලංක බොහෝ දුරට හෙට තරගයට ක්‍රීඩා නොකිරීමට ඉඩ ඇති අතර, දනංජය ද සිල්වා සහ දනුශ්ක ගුණතිලක පිතිකරණ අනුපිළිවෙළේ තුන සහ හතර ස්ථාන වල ක්‍රීඩා කරනු ඇත.

පසුගිය වසරේ ලෝක කුසලානයේ බංග්ලාදේශයට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 80ත් සමඟින් තරග 8ක දී ලකුණු 230ක් රැස් කරමින් ඉහළ දස්කම් ප්‍රදර්ශනය කිරීමට සමත් වූ අසලංක මෙම වසරේ දී තරග 15ක් ක්‍රීඩා කරමින් ලබා ගැනීමට සමත් වී ඇත්තේ ලකුණු 235ක් පමණි.

ඔහුගේ අසාර්ථකත්වයත් සමඟින් ගියවර ලෝක කුසලාන කණ්ඩායමේ උප නායකයා ලෙස තරගාවලියට එක්වී, එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට වරම් නොලැබූ දනංජය ද සිල්වාට මෙවර කණ්ඩායමේ ඉඩ විවර වෙනු ඇත.

හෙට තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම: Kusal Mendis (wk), Pathum Nissanka, Dhananjaya de Silva, Danushka Gunathilake, Bhanuka Rajapaksa, Dasun Shanaka ©, Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Maheesh Theekshana, Lahiru Kumara

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලුම තොරතුරු ඔබ හා බෙදා ගැනීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<