විස්සයි විස්ස ලෝක කුසලානයේ තීරණාත්මකම තරග 11

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

26411

ඔක්තෝබර් 16 වැනිදායින් ආරම්භ වීමට නියමිත 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වඩාත් තීරණාත්මක විය හැකි යැයි අනුමාන කළ හැකි තරග කිහිපයක් වෙතට අවධානය යොමු කරමු.

මූලික වටය

  1. ශ්‍රී ලංකාව සහ නැමීබියාව ඔක්තෝබර් 16, ඉරිදා – Geelong

පසුගිය වසරේ පැවැත්වූ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ද තම ප්‍රථම තරගය ලෙසින් දෙරට හමු වූ අතර, මෙවර ද තරගාවලියේ ආරම්භක තරගය ලෙසින් දෙරට අතර තරගය පැවැත්වෙනු ඇති.

පසුගිය වසරේ ලෝක කුසලානයේ දී දෙවැනි වටයට සුදුසුකම් ලබමින් ප්‍රදර්ශනය කළ දක්ෂතාවලින් අනතුරුව, එතැන් සිට මේ වසරේ දී තම කණ්ඩායම කොපමණ දුරක් පැමිණ ඇත්ද යන්න ලොවට පෙන්වීමේ ධනාත්මක බලාපොරොත්තුව සමඟින් නැමීබියා නායක Gerhard Erasmus විසින් කණ්ඩායම මෙහෙයවනු ඇත.

පසුගිය මාසයේ ආසියානු ශූරයින් ලෙස කිරුළු දැරූ ශ්‍රී ලංකා කණ්ඩායමට නැමීබියාවෙන් විශාල අභියෝගයක් එල්ල වීමට නියමිත බව දන්නවාට සැකයක් නැහැ.

මෙම ක්‍රීඩාංගණයේ මේ වන තෙක් ක්‍රීඩා කර ඇත්තේ එක් විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් පමණක් වන අතර එහි දී 2017 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වැදින.

එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර, එම තරගය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් මෙවර ශ්‍රී ලංකා සංචිතයේ සිටින්නේ කුසල් මෙන්ඩිස් පමණක් වීම ද විශේෂත්වයකි.

  1. බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය ඔක්තෝබර් 17, සඳුදා – Hobart

2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියේ ලද පරාජයේ මතකයන්ගෙන් ස්කොට්ලන්තය තවමත් පීඩා විඳින බවට සැකයක් නැත.

එම හමුවීමෙන් අනතුරුව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේ දී දෙරට එකිනෙකා මුණ ගැසෙන පළමු අවස්ථාව මෙය වනු ඇත. මෙම තරගයේ දී, සෝදා පාළුවට ලක්වී ඇති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ තම උපරිමයෙන් ක්‍රීඩා කරමින් උදෙව්ගකර තරගයක අසිරිය විඳ ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබා දීමට ස්කොට්ලන්තය උත්සාහ කරනු ඇති.

තරගය පැවැත්වෙන හෝබාර්ට් තණතීරූව ස්කොට්ලන්තය වඩාත් ප්‍රිය කරන ආකාරයේ එකක් වනු ඇති අතර, පසුගිය ලෝක කුසලාන තරගාවලියේ තමන්ගේ ප්‍රථම තරගය ලෙසින් බංගලාදේශය හමුවේ ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයත් මෙහි දී අමතක කළ නොහැක.

  1. නෙදර්ලන්තය සහ නැමීබියා ඔක්තෝබර් 18, අඟහරුවාදා – Geelong

පසුගිය වසරේ ලෝක කුසලානයේ දී එකිනෙකා හමු වූ තරගයේ දී ජය ලැබූ නැමීබියා කණ්ඩායමට මෙවරත් සුපිරි කණ්ඩායම් 12 අතර පිවිසීමේ වරම් හිමි කර ගත් යුතු නම් මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යාවශ්‍ය එකක් වනු ඇත.

එමෙන්ම ගිය වසරේ තම වගකීම් හොඳින් ඉටු කළ David Wiese සහ ඔවුන්ගේ ප්‍රධාන පිතිකරණ තුරුම්පු වන Erasmus සහ JJ Smitට මෙම තරගයේ දී වැඩි බරක් පැටවෙනු ඇත.

පසුගිය වසරේ සිදු වූ දෙය නැවත නොවන්නට නම් නෙදර්ලන්ත ක්‍රීඩකයින් Geelong හීදී තම උපරිමය ලබා දිය යුතුව ඇත.

  1. අයර්ලන්තය සහ ස්කොට්ලන්තය – ඔක්තෝබර් 19, බදාදා – Hobart

මෙහි දී යුරෝපාකරය නියෝජනය කරමින් පැමිණෙන, එකිනෙකා හොඳින් දන්නා හඳුනන කණ්ඩායම් දෙකක් මුණ ගැසෙන තීරණාත්මක තරගයක් ඔබට දැක බලා ගත හැකි වනු ඇත.

මින් පෙර දෙරට අතර ක්‍රීඩා කළ තරග 13ක් අතරින් 7-3 ක් (තීරණයක් රහිත 2, සම 1) ලෙස අයර්ලන්තය ඉදිරියෙන් පසුවන අතර, ඔවුන් මෙම තරගාවලියට පැමිණෙන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහිව තම මව් රටේ දී හොඳින් තරග වැදීමෙන් ද අනතුරුවයි.

එමෙන්ම ගියවර තරගාවලියේ මුල් වටයෙන්ම එළියට විසි වූ අයර්ලන්තය විසින් මෙවර නැවතත් වරක් එම වරද වීමට ඉඩ ලබා නොදෙනු ඇත.

  1. ස්කොට්ලන්තය v සිම්බාබ්වේ ඔක්තෝබර් 21, සිකුරාදා – Hobart

ICC විසින් පනවා තිබූ තහනම නිසාවෙන් ගිය වසරේ ලෝක කුසලානයට සහභාගී වීමේ වරම් අහිමි වී ගිය සිම්බාබ්වේ කණ්ඩායම සහ ගිය වසරේ දී මෙන් මෙවරත් මූලික වටයෙන් ඉදිරියට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන ස්කොට්ලන්තය අතරත් තීරණාත්මක තරගයක් පැවැත්වෙනු ඇත.

Dave Houghtonගේ නව පුහුණුකාරීත්වය යටතේ තරගාවලියට පිවිසෙන සිම්බාබ්වේ කණ්ඩායමේ අවම බලාපොරොත්තුව සුපිරි කණ්ඩායම් 12 අතරට තේරී පත් වීම බවට සැකයක් නැත.

එමෙන්ම ස්කොට්ලන්තයට එරෙහිව 2021 වසරේ පැවති විස්සයි විස්ස තරගාවලිය සහ ඊට පෙර 2016 ලෝක කුසලානයේ දී පැවති තරගයේ ජයග්‍රහණයත් හිමි කරගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

සුපිරි කණ්ඩායම් 12 තරග වටය

  1. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය – ඔක්තෝබර් 22, සෙනසුරාදා – Sydney

2021 ලෝක කුසලාන අවසාන මහා තරගය නැවත සිහි කැඳවන මෙම තරගය දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගන්නා බව සැකයෙන් තොරවම පැවසිය හැක.

තම මව්බිමේ දී නවසීලන්තය හමුවේ තරගයක් පරාජය වී නොමැති ඕස්ට්‍රේලියානුවන් මෙවර මුහුණ දෙන ප්‍රබලතම ගැටලුව වනු ඇත්තේ තම පිතිකරණ ලැයිස්තුව සකසා ගත යුතු ආකාරයයි.

තරගාවලියේ පළමු තරගය එම ගැටලුවට නිසි විසඳුම් ලබා දෙනු ඇති අතර, නවක ප්‍රහාරාත්මක පිතිකරු Tim David මෙවර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුව බවට පත් වනු ඇත.

  1. ඉන්දියාව සහ පාකිස්තානය ඔක්තෝබර් 23, ඉරිදා – Melbourne

පසුගිය පෙබරවාරියේ මෙම තරගයට නියමිත ටිකට් පත් අලවි කිරීම ආරම්භ වී විනාඩි පහක් ඇතුළත එම සියලුම ටිකට් පත් විකිණී අවසන් විය.

ක්‍රීඩා පිටියේ සිට තරගය නරඹන 100,000කට ආසන්න ප්‍රේක්ෂකයින්ට ඊර්ෂ්‍යා කරමින් තවත් බිලියන සංඛ්‍යාත පිරිසක් මෙම තරගය ඩිජිටල් මාධ්‍ය ඔස්සේ නරඹනු ඇත.

ඉන්දියානු කණ්ඩායමට තරගයට පෙර යම් අභිප්‍රේරණයක් අවශ්‍ය වේ නම්, පසුගිය වසරේ පකිස්තානයට එරෙහිව ලැබූ කඩුලු දහයක පරාජය මතක් කර දීම පමණක් ප්‍රමාණවත් වනු ඇත.

එම තරගයේ වාඩුව ගැනීමට නම් ඉන්දියාව කළ යුත්තේ Power Play පන්දුවාර කිහිපය තුල පාකිස්තාන මුල් කඩුලු දෙක දවා ගනිමින්, ඔවුන්ගේ දුර්වල මැදපෙළ නිරාවරණය කර ගැනීම පමණක්ම වනු ඇත.

  1. දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය ඔක්තෝබර් 27, බ්‍රහස්පතින්දා – Sydney

ගිය වසරේ දී දකුණු අප්‍රිකාව ඉදිරියේ ලකුණු 84කට දැවී යමින් අමතක නොවන පරාජයක් උරුම කර ගත් බංග්ලාදේශය තවමත් දකුණු අප්‍රිකාව ඉදිරියේ විස්සයි විස්ස තරගයක් ජය ගැනීමට අපොහොසත්ව ඇත.

එම වාසිය ද සහිතව මෙම තරගයෙන් ජය ලබා මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට තේරී පත් වීමේ පහසු අවස්ථාව තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකානුවන් සැලසුම් සකසණු ඇත.

  1. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ඔක්තෝබර් 30, ඉරිදා – Perth

මෙම තරගයේ ජය ලබන කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට පිවිසීමේ වැඩි ඉඩකඩක් පවතින නිසාම දෙරටටම මෙය ඉතාම වැදගත් තරගයක් වනු ඇත.

මේ දිනවල මෙම රටවල් දෙක අතර විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වෙන අතර, එහි දී ඉන්දීය කණ්ඩායම පැවැත්වූ තරග දෙකෙහිම ජයග්‍රහණ ලබා ඇති නමුත් Perth තණතීරුව අප්‍රිකානුවන් වඩාත් ප්‍රිය කරන අන්දමේ ක්‍රීඩා පිටියක් වනු ඇත.

දකුණු අප්‍රිකාව, ඉන්දීය කණ්ඩායම මුණ ගැසීමෙන් අනතුරුව පාකිස්තානය සමඟ ද තීරණාත්මක තරගයක් ක්‍රීඩා කරනු ඇත.

  1. ඇෆ්ගනිස්තානය සහ Group A ජයග්‍රාහකයානොවැම්බර් 1, අඟහරුවාදා – Brisbane

මෙම තරගයේ එක් කණ්ඩායමක් තවමත් ස්ථිරව කිව නොහැකි වුවත්, කුමන කණ්ඩායම සමඟ ඇෆ්ගනිස්තානයට ක්‍රීඩා කිරීමට සිදු වුනත්, එම කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 අතර තරගවල ජයග්‍රහණයක් අපේක්ෂාවෙන්ම පැමිණෙන තරගය මෙය වනු ඇත.

A කාණ්ඩයේ මුල් ස්ථානය හිමි කර ගැනීමේ වැඩි ඉඩක් සහිත ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට මුහුණ දුනහොත් එය වඩාත් තියුණු තරගයක් බවට පත් වීමට ඉඩ ඇත. පසුගිය ආසියානු කුසාලනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට සමත් වූ එකම කණ්ඩායම වන්නේ ඇෆ්ගනිස්තානයයි.

  1. එංගලන්තය සහ නවසීලන්තය නොවැම්බර් 1, අඟහරුවාදා – Brisbane

මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරන ඕස්ට්‍රේලියාව පසුගිය වසරේ නතර කළ තැනින් ඉදිරියට යයි නම්, නවසීලන්තය සහ එංගලන්තය අතර මෙම තරගය අර්ධ අවසන් පූර්ව තරගයක ස්වභාවයක් ගනු ඇත.

පසුගිය වසරේ දී ද මෙම කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසෙන්නේ අවසන් පූර්ව වටයේ දී වූ අතර එහි දී කඩුලු පහක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වන්නේ නවසීලන්තයයි.

එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය හා සබැඳි සියලුම තතු විත්ති ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC Cricket වෙබ් පිටුව ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<